2026-oscar-nominated-films-announced

ලොව පුරා සිනමා ලෝලීන්ගේ ඉහළම අවධානය දිනාගත් 98 වැනි ඔස්කාර් සම්මාන උළෙල සඳහා නිර්දේශිත නාමයන් ජනවාරි 22 වැනිදා හොලිවුඩයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. පසුගිය වසරේ තිරගත වූ විශිෂ්ටතම චිත්‍රපට ඇගයීමට ලක් කෙරෙන මෙම සම්මාන රාත්‍රිය 2026 මාර්තු 15 වැනි දින හොලිවුඩයේ ඩොල්බි රඟහලේදී පැවැත්වීමට නියමිත අතර මෙවර උළෙල මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන කොනන් ඕ'බ්‍රයන් විසිනි.

නිර්දේශ ප්‍රකාශයට පත් කර ඇතත් ජයග්‍රාහකයින් තෝරා ගැනීමේ අවසන් ඡන්ද විමසීම් ක්‍රියාවලිය තවමත් අවසන් වී නොමැති බැවින් ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න මාර්තු 15 වැනිදා දක්වා රහසක්ව පවතී.




මෙවර ඔස්කාර් නිර්දේශ අතර කැපී පෙනෙනම සිදුවීම ලෙස ඉතිහාස ගත වන්නේ රයන් කූග්ලර් අධ්‍යක්ෂණය කළ 'සිනර්ස්' (Sinners) චිත්‍රපටයයි. මයිකල් බී. ජෝර්ඩන් ද්විත්ව චරිත නිරූපණය කරන මෙම වැම්පයර් තේමාව රැගත් චිත්‍රපටය නිර්දේශ 16ක් ලබා ගනිමින් ඔස්කාර් ඉතිහාසයේ තනි චිත්‍රපටයක් ලබාගත් වැඩිම නිර්දේශ සංඛ්‍යාව ලෙස නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබේ. මීට පෙර මෙම වාර්තාවට සමව හිමිකම් කියනු ලැබුවේ නිර්දේශ 14 බැගින් ලබාගත් 'ඕල් අබවුට් ඊව්' (1950), 'ටයිටැනික්' (1997) සහ 'ලා ලා ලෑන්ඩ්' (2016) යන චිත්‍රපට ත්‍රිත්වයයි. පෝල් තෝමස් ඇන්ඩර්සන්ගේ 'වන් බැට්ල් ආෆ්ටර් අනදර්' (One Battle After Another) චිත්‍රපටය නිර්දේශ 13ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර, 'මාර්ටි සුප්‍රීම්' (Marty Supreme), 'ෆ්‍රැන්කන්ස්ටයින්' (Frankenstein) සහ 'සෙන්ටිමෙන්ටල් වැලියු' (Sentimental Value) යන චිත්‍රපට නිර්දේශ 9 බැගින් ද, 'හැම්නෙට්' (Hamnet) චිත්‍රපටය නිර්දේශ 8ක් ද ලබා ගැනීමට සමත් වී ඇත.

වසරේ හොඳම චිත්‍රපටය සඳහා මෙවර දැඩි තරගයක් නිර්මාණය වී ඇති අතර ඒ සඳහා 'බුගෝනියා' (Bugonia), බ්‍රැඩ් පිට් රඟන 'එෆ් වන්' (F1), 'ෆ්‍රැන්කන්ස්ටයින්', 'හැම්නෙට්', 'මාර්ටි සුප්‍රීම්', 'වන් බැට්ල් ආෆ්ටර් අනදර්', 'ද සීක්‍රට් ඒජන්ට්' (The Secret Agent), 'සෙන්ටිමෙන්ටල් වැලියු', 'සිනර්ස්' සහ 'ට්‍රේන් ඩ්‍රීම්ස්' (Train Dreams) යන චිත්‍රපට දහය නිර්දේශ වී තිබේ. හොඳම අධ්‍යක්ෂණය සඳහා පෝල් තෝමස් ඇන්ඩර්සන්, රයන් කූග්ලර්, ජොෂ් සැෆ්ඩි, ජෝකිම් ට්‍රයර් සහ ක්ලෝයි ෂාඕ යන නිර්මාණකරුවන් පස්දෙනා නිර්දේශ නාම අතරට එක්ව සිටිති.




රංගන අංශය දෙස අවධානය යොමු කිරීමේදී හොඳම නළුවා සම්මානය සඳහා 'මාර්ටි සුප්‍රීම්' හි රඟන ටිමොති චැලමෙට්, 'වන් බැට්ල් ආෆ්ටර් අනදර්' හි ලියනාඩෝ ඩිකැප්‍රියෝ, 'බ්ලූ මූන්' හි ඊතන් හෝක්, 'සිනර්ස්' හි මයිකල් බී. ජෝර්ඩන් සහ 'ද සීක්‍රට් ඒජන්ට්' හි වැග්නර් මෞරා නිර්දේශ වී ඇත. හොඳම නිළිය කාණ්ඩය සඳහා ජෙසී බක්ලි (හැම්නෙට්), රෝස් බර්න් (ඉෆ් අයි හැඩ් ලෙග්ස් අයිඩ් කික් යූ), කේට් හඩ්සන් (සෝන්ග් සන්ග් බ්ලූ), රෙනාටේ රයින්ස්වේ (සෙන්ටිමෙන්ටල් වැලියු) සහ එමර් ස්ටෝන් (බුගෝනියා) යන රංගන ශිල්පිනියන් නිර්දේශ නාම අතරට එක්ව සිටිති. මීට අමතරව හොඳම සහාය නළුවා ලෙස බෙනීෂියෝ ඩෙල් ටෝරෝ, ජේකබ් එලෝඩි, ඩෙල්රෝයි ලින්ඩෝ, ෂෝන් පෙන් සහ ස්ටෙලන් ස්කාස්ගාර්ඩ් ද, හොඳම සහාය නිළිය ලෙස එල් ෆැනිං, ඉන්ගා ඉබ්ස්ඩොටර් ලිලියාස්, ඇමී මැඩිගන්, වුන්මි මොසාකු සහ ටෙයානා ටේලර් ද නිර්දේශ වී ඇති බව ඇකඩමිය නිවේදනය කර ඇත.

තාක්ෂණික සහ අනෙකුත් අංශයන්හිදී ද ප්‍රධාන පෙළේ චිත්‍රපටවල ආධිපත්‍යය දක්නට ලැබෙන අතර හොඳම ජාත්‍යන්තර චිත්‍රපටය සඳහා 'ඉට් වෝස් ජස්ට් ඇන් ඇක්සිඩන්ට්', 'සිරාත්', සහ 'ද වොයිස් ඔෆ් හින්ද් රජබ්' වැනි නිර්මාණ නිර්දේශ වී තිබේ. හොඳම ඇනිමේෂන් චිත්‍රපටය සඳහා 'සූටෝපියා 2' (Zootopia 2) ඇතුළු චිත්‍රපට පහක් තරග වදී. හොඳම මුල් තිර රචනය, හොඳම අනුවර්තිත තිර රචනය, සංස්කරණය, ඡායාරූපකරණය, දෘශ්‍ය ප්‍රයෝග සහ හොඳම ගීතය වැනි අංශ රැසක් සඳහා ද මෙම ප්‍රධාන චිත්‍රපට නිර්දේශ වී ඇති අතර සිනමා ලෝකයේ උච්චතම සම්මානය හිමිකර ගන්නා ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න ලබන මාර්තු මාසයේදී ලොවට අනාවරණය වනු ඇත.
සම්පූර්ණ නිරේදේශිත නාම ලැයිස්තුව බලන්න මෙතැනින් click here

gossiplanka image 1