constable-arrested-after-four-years-for-exposing-himself-to-two-female-students-while-waiting-for-them

පාණදුර ප්‍රදේශයේ පිහිටි බාලිකා පාසලක අධ්‍යාපනය ලබන සිසුවියන් දෙදෙනෙකුට මඟ රැක සිට නිරුවත පෙන්වා ලිංගික අතවර කිරීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල් රියදුරෙකු වසර හතරකට පසුව අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් සැපයුම් කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරනු ලබන මෙම සැකකරු පාණදුර දකුණ මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.




සිද්ධිය වී ඇත්තේ 2022 වර්ෂයේ ජනවාරි මස 10 වැනි දින වන අතර, එදින උදෑසන අදාළ සිසුවියන් දෙදෙනා පාසල් යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම අතවරය සිදු කර පලා ගොස් තිබුණි. මේ සම්බන්ධයෙන් ආරම්භ කළ මූලික විමර්ශනවලදී අපරාධය සඳහා යොදාගත් මෝටර් රථය ශ්‍රී ලංකා පොලීසිය විසින් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගණකාධිකාරිනිය වෙත නිකුත් කර තිබූ රථයක් බවට අංක තහඩු ඔස්සේ හඳුනාගෙන තිබේ.

එම මූලික තොරතුරු මත පදනම්ව, අදාළ මෝටර් රථයේ නිත්‍ය රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා සිද්ධිය වූ දිනවලදීම සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි. එහෙත් එම සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම සිදු කළ විද්‍යාත්මක විමර්ශන හා සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ, අත්අඩංගුවට ගත් රියදුරු එම අපරාධය සිදුවන වේලාවේදී ඔහුගේ පෞද්ගලික යතුරුපැදියෙන් හොරණ මාර්ගයේ ගමන් කරමින් සිට ඇති බවයි.




අනතුරුව සැකකරුගේ සහ ඔහුගේ මිතුරෙකු වන වර්තමාන සැකකාර කොස්තාපල්වරයාගේ ජංගම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී, අපරාධය සිදුවන අවස්ථාවේ මෙම දෙවන සැකකරු පාණදුර නගර සීමාවේ සිට ඇති බවට තහවුරු වී ඇත. පොලිස් විමර්ශන සටහන් අධ්‍යක්ෂ නීති කොට්ඨාසය හරහා නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් පසුව, මුලින් අත්අඩංගුවට ගත් නිලධාරියා නඩුවෙන් මුදා හැර සැබෑ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති උපදෙස් ලැබී තිබේ.

නීතිපති උපදෙස් මත ක්‍රියාත්මක වූ පාණදුර පොලිසිය සැකකාර පොලිස් කොස්තාපල්වරයා පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ද සිල්වා සහ පාණදුර දකුණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරේ.