සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (23) උදෑසන 8.00 සිට දිවයින පුරා රෝහල් ආවරණය වන පරිදි සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරි පැය 48 ක කාලයක් පුරාවට ක්‍රියාත්මක වන බව එම සංගමය නිවේදනය කර ඇත.
කෙසේ වෙතත්, රෝගී ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමේ අරමුණින් මාතෘ හා ළමා රෝහල්, වකුගඩු රෝහල් මෙන්ම පිළිකා රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන අතර එම රෝහල්වල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇත.නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කර ගැනීම සහ වෛද්‍යවරුන් මුහුණ දෙන වෘත්තීය ගැටලු විසඳීම සම්බන්ධයෙන් මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවලදී ලබාදුන් එකඟතාවයන් ක්‍රියාවට නැංවීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මෙම දැඩි තීරණය ගැනීමට සිදුවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. ලබාදුන් පොරොන්දු කඩ කිරීම හේතුවෙන් මෙලෙස වෘත්තීය අරගලයකට අවතීර්ණ වීමට වෛද්‍යවරුන් පෙළඹී ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර, මෙම වෛද්‍ය වැඩ වර්ජනය හුදෙක් වෘත්තීය ඉල්ලීම් මත පමණක් නොව දේශපාලන අරමුණක් මත සිදුවන්නක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මත පලවෙමින් තිබේ. විශේෂයෙන්ම මෙම වර්ජනය පසුපස විපක්ෂයේ දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බවටත්, ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ සැලැස්මක් මෙතුළින් ක්‍රියාත්මක වන බවටත් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
වාර්තා වන තොරතුරුවලට අනුව, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහාය ද හිමිව තිබේ. එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ළඟදීම බඳවාගත් සාමාජිකයෙකු වන වෛද්‍ය චමල් සංජීව මහතා විසින් මෙම වැඩ වර්ජනය සාර්ථක කර ගැනීම සඳහා සහාය ලබා දෙන ලෙස වෛද්‍යවරුන්ගෙන් වට්ස් ඇප් ඔස්සේ ඉල්ලීම් කර ඇති බවට සමාජ මාධ්‍ය තුළ තොරතුරු හුවමාරුවන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
