tavi-who-won-gold-medals-in-table-tennis-returns-home

ලොව වයස අවුරුදු 11න් පහළ කාණ්ඩයේ අංක එකේ ස්ථානයේ පසුවන ශ්‍රී ලාංකික මේස පන්දු ක්‍රීඩක ටාවි සමරවීර, බහරේනයේ සහ කටාර් රාජ්‍යයේ පැවති ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ තරගාවලි දෙකකින් රන් පදක්කම් දෙකක් දිනා ගනිමින් අද (26) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.




ඔහු පළමුව, බහරේනයේ  14 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ වයස අවුරුදු 11න් පහළ අංශයෙන් රන් පදක්කම දිනා ගත්තේය. අනතුරුව,  19 වැනිදා සිට 25 වැනිදා දක්වා කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේදී ද වයස අවුරුදු 11න් පහළ කාණ්ඩයේම ප්‍රථම ස්ථානයට පත්වෙමින් තවත් රන් පදක්කමක් සිය සතු කර ගැනීමට ටාවි සමරවීර සමත් විය.

දැනට 10 හැවිරිදි වියේ පසුවන ටාවි සමරවීර, කොළඹ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දක්ෂ ශිෂ්‍යයෙකි. ඔහුගේ පියා වන හසිත සමරවීර මහතා ඔහුගේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.




මෙම විශිෂ්ට ජයග්‍රහණ රැගෙන ටාවි සමරවීර සහ ඔහුගේ පියා වන පුහුණුකරු හසිත සමරවීර මහතා, 26 වැනිදා අලුයම 03.55ට ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් (SalamAir) ගුවන් සේවයට අයත් ඕ.වී.- 437 (OV-437) දරණ ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණියහ. එහිදී ගුවන්තොටුපොළ නිලධාරීන් විසින් ඔවුන්ට උණුසුම් සහ උසස් පිළිගැනීමක් ලබා දුන් අතර, ටාවි සමරවීරගේ මව, සහෝදරයා, ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ හිටපු සභාපති දයා සමරවීර මහතා ඇතුළු පවුලේ සමීපතම ඥාතීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

tavi-who-won-gold-medals-in-table-tennis-returns-home