4-petitions-against-abolition-of-mps-pension-rights

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය අහෝසි කිරීම අරමුණු කරගනිමින් රජය විසින් ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වන විට පෙත්සම් හතරක් ගොනු කර තිබේ.




මේ පිළිබඳව අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ තවත් පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇති බවයි.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ආචාර්ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය 7 වනදා මෙම පනත් කෙටුම්පත සභාගත කරන ලද අතර, ඊට එරෙහිව යම් පාර්ශවයකට අධිකරණය හමුවට යාමට අවශ්‍ය නම් ඒ සඳහා එදින සිට දින 14ක කාලයක් ලබා දී තිබුණි.




යෝජිත පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය ලබන මස අග භාගයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් හිටපු මන්ත්‍රීවරුන් 512 දෙනෙකුට හිමිව තිබූ විශ්‍රාම වැටුප් අයිතිය අහෝසි වී යනු ඇත.