bangladeshs-textile-industry-is-in-dire-straits-a-million-jobs-at-risk

බංග්ලාදේශයේ රෙදිපිළි කර්මාන්තය මේ වන විට බරපතල අර්බුදයකට මුහුණ දී සිටින අතර, ජනවාරි මස අවසානය වන විට නූල් ආනයනය සඳහා ලබා දී ඇති බදු සහන ඉවත් නොකළහොත් පෙබරවාරි 1 වැනිදා සිට රට පුරා මෝල් වසා දමන බවට එරට රෙදිපිළි මෝල් හිමියන් රජයට අනතුරු අඟවා තිබේ. ඉන්දියාවෙන් පැමිණෙන අඩු මිල නූල් දේශීය වෙළෙඳපොළ ආක්‍රමණය කිරීම හේතුවෙන් කෝටි 12,000 කට අධික වටිනාකමකින් යුත් දේශීය නූල් තොග විකිණීමට නොහැකිව ගබඩා වී ඇති බව මෝල් හිමියන් පවසන අතර, ඔවුන් පෙන්වා දෙන්නේ ආනයනික නූල් මත බදු රහිත පහසුකම ඉවත් කිරීමට වාණිජ අමාත්‍යාංශය ජාතික ආදායම් මණ්ඩලයට නිර්දේශ කර ඇති බවයි.




බංග්ලාදේශ රෙදිපිළි මෝල් හිමියන්ගේ සංගමය (BTMA) පවසන පරිදි ඉන්දියාවෙන් ආනයනය කරන ලාභ නූල් හේතුවෙන් දේශීය කර්මාන්තය විනාශ වෙමින් පවතින අතර, මේ වන විටත් කර්මාන්තශාලා 50 කට වැඩි ප්‍රමාණයක් වැසී ගොස් ඇති බැවින් දහස් ගණනක් සේවකයින්ට රැකියා අහිමි වී ඇත. මෙම තත්ත්වය හමුවේ මූල්‍ය පීඩනය ඉහළ යාම නිසා ණය පියවා ගැනීමට පවා මෝල් හිමියන් දැඩි අරගලයක නිරත වන අතර, කර්මාන්තශාලා වැසී යාමෙන් තවත් සේවකයින් ලක්ෂ 10 කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව ඔවුහු පෙන්වා දෙති.

මීට අමතරව පසුගිය මාස කිහිපය තුළ ගෑස් හිඟය, අක්‍රමවත් සැපයුම සහ බලශක්ති මිල ඉහළ යාම හේතුවෙන් රෙදිපිළි අංශයට ඩොලර් බිලියන 2 ක පමණ පාඩුවක් සිදුව ඇති අතර, බොහෝ මෝල්වල නිෂ්පාදන ධාරිතාව සියයට 50 දක්වා පහත වැටී තිබේ. මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා බදු රහිත නූල් ආනයනය වහාම නතර කිරීම, සහනදායී මිලට ගෑස් ලබා දීම, බැංකු ණය පොලී අනුපාත අඩු කිරීම සහ අර්බුද කාලසීමාවේදී බදු සහන ලබා දීම යන ඉල්ලීම් මෝල් හිමියන් විසින් රජය වෙත ඉදිරිපත් කර ඇත.




අපනයනය දිරිගැන්වීම සඳහා 1980 දශකයේ සිට ක්‍රියාත්මක 'බොන්ඩ් වෙයාර්හවුස්' (Bonded Warehouse) ක්‍රමය යටතේ ඇඟලුම් කර්මාන්තශාලා සඳහා තීරු බදු රහිතව අමුද්‍රව්‍ය ආනයනය කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර, 2025 වසරේදී පමණක් බංග්ලාදේශය ඩොලර් බිලියන 2 ක් වටිනා නූල් කිලෝග්‍රෑම් කෝටි 70 ක් පමණ ආනයනය කර ඇත. රජයේ දත්තවලට අනුව එරටට ආනයනය කරන ලද නූල්වලින් සියයට 78 ක්ම පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන නමුත්, දේශීය නූල් නිෂ්පාදකයින් මෙම ආනයනයට විරුද්ධ වුවද ඇඟලුම් අපනයනකරුවන් පවසන්නේ දේශීය නූල්වලට වඩා ඉන්දියානු නූල් මිලෙන් අඩු සහ ගුණාත්මක බවින් ඉහළ බවයි.

ටොමී හිල්ෆිගර් (Tommy Hilfiger), කැල්වින් ක්ලයින් (Calvin Klein) සහ එච් ඇන්ඩ් එම් (H&M) වැනි ලොව ප්‍රසිද්ධ සන්නාමයන් බංග්ලාදේශයේ නිපදවන ඇඟලුම් මිලදී ගන්නා අතර, එම ජාත්‍යන්තර ගැනුම්කරුවන් ද ඉන්දියානු නූල්වල ගුණාත්මකභාවය සහ ස්ථාවරත්වය කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇත. බදු රහිත ආනයන නතර කළහොත් ඇඟලුම් නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ලෝක වෙළෙඳපොළ තුළ බංග්ලාදේශයට ඇති තරගකාරිත්වය අහිමි වනු ඇතැයි ඇඟලුම් අපනයනකරුවන් අනතුරු අඟවයි.



චීනයට පසුව ලොව දෙවන විශාලතම ඇඟලුම් අපනයනකරුවා වන බංග්ලාදේශයට මෙම කර්මාන්තය මගින් රටේ විදෙස් විනිමය ආදායමෙන් සියයට 84 ක් හිමි වන අතර, කාන්තාවන් බහුතරයක් ඇතුළුව මිලියන ගණනක පිරිසක් මෙමගින් සෘජු හා වක්‍ර රැකියා අවස්ථා ලබා ගනී. ඇමරිකානු වෙළෙඳපොළ තුළ බංග්ලාදේශය සියයට 9 ක කොටසක් හිමි කරගෙන සිටින අතර, වත්මන් අර්බුදය හේතුවෙන් ඇඟලුම් ඇණවුම් බංග්ලාදේශයෙන් ඉවත්ව ඉන්දියාව වැනි රටවල් වෙත ගලා යාමේ ඉඩකඩක් ද නිර්මාණය වී තිබේ.