there-is-no-doubt-that-the-wife-killed-her-husband-with-a-saree-at-the-ganemulla-home

ගනේමුල්ල, වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් සම්බන්ධයෙන් රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. සාරි පොටකින් ගෙල සිරකර මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවට සැක කෙරෙන නමුත්, පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති හෙයින් සිද්ධිය තවමත් අබිරහසක්ව පවතී.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ සුසන්ත ධර්මික නමැති 60 හැවිරිදි තිදරු පියෙකි. මොහුගේ සිරුර ඔහුගේ නිවසේ උඩුමහලේ කාමරයක තිබී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.




පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇති තොරතුරුවලට අනුව මියගිය ව්‍යාපාරිකයා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූ අයෙකි. වසර 33ක පමණ කාලයක් විවාහ ජීවිතය ගත කර ඇති මොහුට පුතෙකු සහ දියණියක සිටින අතර, පුතා රැකියාවක නිරත වන බවත් දියණිය සිය දරුවන් දෙදෙනා ද සමඟ මහගෙදර පදිංචිව සිටින බවත් අනාවරණය වී ඇත. මියගිය පුද්ගලයා නිතර බීමතින් පැමිණ සිය බිරිඳ සමඟ ආරවුල් ඇති කර ගනිමින් ඇයට පහර දෙන බවට සාක්ෂි ලැබී තිබේ. සිද්ධිය වූ දිනයේ ද මොහු බීමතින් නිවසට පැමිණ බිරිඳ සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති අතර, එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ දියණිය පමණක් බවත් පුතා රැකියාවට ගොස් සිටි බවත් සඳහන් වේ.

සැමියා සහ බිරිඳ අතර හටගත් මෙම ආරවුල උඩුමහල දක්වා වර්ධනය වී ඇති බවත්, පියා බීමතින් පැමිණ මව සමඟ කෑකෝ ගැසීම සාමාන්‍ය සිදුවීමක් බැවින් පහත මාලයේ සිටි දියණිය ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කර නැති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත. මඳ වේලාවකට පසු මව පහත මාලයට පැමිණ වෙනදා පරිදිම ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන ගොස් තිබේ. රාත්‍රී කාලයේදී දියණියගේ දරුවන් නිවසට පැමිණ සීයා පිළිබඳව විමසූ විට ඔහු උඩුමහලේ සිටින බව මව දන්වා ඇත. එක් කුඩා මිණිබිරියක් උඩුමහලට ගොස් සීයා අවදි කිරීමට උත්සාහ කළද ඔහු ප්‍රතිචාරයක් නොදැක්වූ බැවින් ඒ බව නැවත මවට පවසා ඇත.




පසුව ව්‍යාපාරිකයාගේ දියණිය වහා උඩුමහලට ගොස් පියා පරීක්ෂා කර ඇති අතර, එහිදී ඔහුගේ මුවින් සෙම ගලා ගොස් ඇති අයුරු දැක ඇය බියට පත්ව කෑගසා තිබේ. ඇයගේ කෑගැසීමත් සමඟ අසල්වාසීන් රැස්ව ඇති අතර රැකියාවට ගොස් සිටි පුතාට ද මේ බව දැනුම් දී ඇත. අනතුරුව 1990 සුවසැරිය ගිලන් රථ සේවාව කැඳවා පරීක්ෂා කිරීමේදී එහි වෛද්‍ය නිලධාරීන් තහවුරු කර ඇත්තේ නිවෙස් හිමියා ඒ වන විටත් මියගොස් ඇති බවයි. මෙම අවස්ථාවේදී මියගිය අයගේ බිරිඳගේ හැසිරීමේ දක්නට ලැබුණු යම් වෙනස්කම් හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ඇය පිළිබඳව සැකයක් මතු වී තිබේ.

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංකගේ උපදෙස් සහ රාගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශය විසින් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී, බීමතින් පැමිණි සැමියා සමඟ ඇති වූ ගැටුමක් දුරදිග යෑමෙන් පසු සාරි පොටකින් ගෙල සිරකර මෙම ඝාතනය සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. ඝාතනයට යොදාගත් බවට සැක කරන සාරි කොටස පුළුස්සා දමා තිබියදී සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වී ඇති අතර, එම කොටස් නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන තිබේ.



සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියාගේ දරුවන් දෙදෙනාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, සැකකාර බිරිඳ අත්අඩංගුවට ගෙන වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. මරණයට හේතුව සම්බන්ධයෙන් වැලිසර වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර, මරණයට නිශ්චිත හේතුව වෛද්‍ය වාර්තා ලැබීමෙන් පසු තීරණය කිරීමට නියමිතය. එතෙක් මෙම මරණය අබිරහසක් ලෙස පවතින බවත්, ඉදිරි විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කරන බවත් රාගම පොලිසිය පවසයි.