පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ධුරයේ කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (27) විශේෂ ප්‍රකාශයක් සිදු කළා. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මෙම සිද්ධියට අදාළව විමර්ශන පැවැත්වීම සඳහා ඒක පුද්ගල කමිටුවක් පත් කිරීමට මීට පෙර තීරණය කර තිබූ බවත්, එම තීරණය ගැනීමේදී විපක්ෂ නායකවරයා නියෝජනය කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද ඊට සම්බන්ධ වූ බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළා. ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම ඒක පුද්ගල විමර්ශන කමිටුව 2025 වසරේ අගෝස්තු මස 19 වැනිදා නිල වශයෙන් පත් කර තිබෙනවා.
අදාළ විමර්ශන කමිටුව වෙත පැවරී තිබූ ප්‍රධාන විෂය පථය වූයේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් තනතුර සඳහා චමින්ද කුලරත්න මහතා තෝරා ගැනීම, ඔහුගේ සුදුසුකම් පරීක්ෂා කිරීම සහ එම තනතුරේ ඔහු ස්ථිර කර ඇති ආකාරය පිළිබඳව සොයා බැලීමයි. මෙම මූලික විමර්ශන වාර්තාව 2026 ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තු කමිටුව වෙත භාර දී ඇති අතර එහි නිර්දේශ දෙකක් ඇතුළත් කර තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
විමර්ශන වාර්තාවට අනුව කුලරත්න මහතාට එරෙහිව ප්‍රධාන චෝදනා කිහිපයක් එල්ල වී තිබෙනවා. සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ධුරය ලබා ගැනීම, එම තනතුරේ සේවය ස්ථිර කරවා ගැනීම මෙන්ම තමාට හිමිකම් නොමැති වැටුප් ප්‍රසාද දීමනා ලබා ගැනීම හරහා රජයේ රෙගුලාසි උල්ලංඝනය කරමින් අයතා වාසි ලබා ගැනීම සහ මූල්‍ය අලාභයක් සිදු කිරීම ඒ අතර වන බව අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම සොයා ගැනීම් මත පදනම්ව ජී.කේ.ඒ.සී.කේ. කුලරත්න මහතාගේ වැඩ තහනම් කර ඔහුට එරෙහිව විනය පියවර ගන්නා ලෙස කමිටුව නිර්දේශ කර තිබෙනවා. මීට අමතරව, මෙම පත්වීම් සහ ස්ථිර කිරීම්වලට අදාළව ඇතැම් නිලධාරීන් ක්‍රියා කර ඇති ආකාරය 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ දූෂණය යන වරදට ගැනෙන බැවින්, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වා සුදුසු පියවර ගන්නා ලෙස දන්වමින් කරුණු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමටද පියවර ගෙන තිබෙනවා.
විමර්ශන කමිටුවේ පළමු නිර්දේශයට අනුව දැනටමත් ඔහුගේ වැඩ තහනම් කර විනය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අල්ලස් කොමිසමටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. මෙම විමර්ශන කමිටුව පත් කිරීමේ සිට වාර්තාව මත පදනම්ව වැඩ තහනම් කිරීම දක්වා වූ ක්‍රියාවලියේදී විපක්ෂයේ නියෝජනයද පැවති බව සිහිපත් කළ අමාත්‍යවරයා, අදාළ වාර්තාවේ අන්තර්ගතයට එරෙහිව ඕනෑම පාර්ශවයකට අධිකරණයේ පිහිට පැතීමේ අයිතිය පවතින බවද අවධාරණය කළා.