a-suspicious-vehicle-was-found-abandoned-on-the-southern-expressway

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක සහ බෙලිඅත්ත අතර කිලෝමීටර 140 කණුව ආසන්නයේ දොරගුළු දමා අත්හැර ගොස් තිබූ සැකකටයුතු සුඛෝභෝගී මෝටර් රථයක් තිහගොඩ පොලීසිය විසින් සොයාගෙන තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලද තොරතුරකට අනුව ඊයේ (25) රාත්‍රියේ මෙම රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒ පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලදී අංක තහඩු වංචාවක් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇත.




පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම මෝටර් රථයේ සඳහන් ලියාපදිංචි අංකයම සහිත තවත් මෝටර් රථයක් රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු සතුව පවතින බවයි. එලෙස අංක තහඩු සමාන වුවද, අධිවේගී මාර්ගයේ තිබී හමු වූ රථය මෙරුන් පැහැයෙන් යුක්ත වන අතර රත්නපුරයේ ඇති රථය සුදු පැහැති එකක් බවත්, රථ දෙකෙහි එන්ජින් අංකවල පැහැදිලි පරස්පරතාවක් පවතින බවත් පොලීසිය තහවුරු කරගෙන තිබේ.

සොයාගත් මෝටර් රථයේ දොරගුළු විවෘත කර සිදුකළ සෝදිසි කිරීමේදී, එය දොඩංගොඩ පිවිසුමෙන් ඇතුළු වී මත්තල දෙසට ධාවනය වූ බව සනාථ කරන ගමන් ටිකට්පතක් හමු වී ඇත. ඊට අමතරව කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විද්‍යාලයකට අයත් සහතික පත්‍රයක් සහ දිනපොතක් ද රථය තුළ තිබී ඇති අතර, එම දිනපොතේ තිබී පොතුහැර ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් හැඳුනුම්පත් ඡායා පිටපතක් ද සොයාගෙන තිබේ.




අදාළ හැඳුනුම්පතේ සඳහන් ලිපිනය පිළිබඳව පොතුහැර පොලීසිය මාර්ගයෙන් කළ විමසීමේදී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා ඊයේ පෙරවරුවේ නිවසින් පිටව ගොස් ඇති බවයි. මෙම මෝටර් රථ දෙකෙන් නීත්‍යානුකූල රථය කුමක්ද යන්න සහ මෙම ජාවාරමේ ස්වභාවය නිශ්චිතව හඳුනාගැනීම සඳහා අදාළ මෝටර් රථය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට තිහගොඩ පොලීසිය මේ වන විට පියවර ගෙන ඇත.

a-suspicious-vehicle-was-found-abandoned-on-the-southern-expressway