a-police-officer-was-stabbed-to-death-while-on-duty

අම්බලන්තොට නගරයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යට කර පළායාම හේතුවෙන් එක් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා තිබේ. මෙම සිදුවීම අද අලුයම 2.45ට පමණ සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.




රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකටයුතු මෝටර් රථය නතර කරන ලෙසට සංඥා කර තිබුණද, රියදුරු පොලිස් අණ නොතකා ඉදිරියට ධාවනය කරමින් නිලධාරීන් දෙදෙනා හප්පා අනතුර සිදුකර ඇත. අනතුරින් පසු මෙම සුදු පැහැති මෝටර් රථය හම්බන්තොට දෙසට පළාගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. එය තංගල්ල දෙස සිට කතරගම දෙසට ධාවනය වූ වාහනයක් බවට හඳුනාගෙන තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොලිස් කොස්තාපල් සරත් නමැති නිලධාරියා බවට හඳුනාගෙන තිබේ. ඔහු බරපතළ තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පොලිස් කොස්තාපල්වරයෙකු සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙකු රෝහල් ගත කර තිබේ. සිවිල් ආරක්ෂක නිලධාරියා අම්බලන්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.




මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර, අනතුරට හේතු වූ මෝටර් රථය හෝ එහි සිටි සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

news-2026-01-01-043742

news-2026-01-01-043742