හොරණ සහ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක නිරත වෙමින් දේපළ කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සිදු කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු හොරණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුට එරෙහිව ලැබී තිබූ පැමිණිලි ගණනාවක් පදනම් කරගනිමින් දීර්ඝ ලෙස සිදු කළ විමර්ශනවලින් අනතුරුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත්තේ.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ හොරණ, දික්වෙනගම, මුණගම ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි පුද්ගලයෙකි. කාන්තාවකට පිහියක් පෙන්වා මුදල් කොල්ලකෑම, හොරණ බක්කුල මහා සෑය අසලදී තරුණ යුවළකට බිය ගන්වා මුදල් පැහැර ගැනීම මෙන්ම දිහේනපුර ප්‍රදේශයේ නිවසක් බිඳ දේපළ සොරකම් කිරීම ඇතුළු සොරකම් දසයකට අදාළව ඔහුට චෝදනා එල්ල වී ඇති බව පොලීසිය පවසයි.
පොලිස් බුද්ධි අංශයේ කොස්තාපල් කුමාරසිරි (90986) මහතාට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු හොරණ බටුවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 800ක ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, මෙම සැකකරු දීර්ඝ කාලයක සිට හොරණ ඇතුළු අවට ප්‍රදේශ රැසක මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත වූ අයෙකු බවයි. ඔහු සිදු කළ බව කියන වෙනත් අපරාධ සම්බන්ධයෙන් ද පොලීසිය මේ වන විට වැඩිදුර විමර්ශන පවත්වයි. අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.