news-2026-01-16-153432

දෝහා කටාර් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණෙන ගුවන් යානයක් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් පවතින බවට ලැබුණු තොරතුරක් මත සිදු කළ විශේෂ විමර්ශනයකදී, එම යානය තුළින් කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හෝ සැකකටයුතු පුද්ගලයෙකු හමු නොවූ බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි. අදාළ ගුවන් යානය තුළ සාමාන්‍ය මගීන් ලෙස වෙස් වලාගත් පුද්ගලයන් සිව් දෙනෙකු ගමන් කරන බවත්, ඔවුන් බෝම්බ පුපුරවා ගනිමින් සිය දිවි හානි කර ගැනීමට සැලසුම් කර ඇති බවත් සඳහන් කරමින් බලධාරීන් වෙත විද්‍යුත් තැපැල් (E-mail) පණිවිඩයක් ලැබී තිබුණි. මෙම අනතුරු ඇඟවීමේ පණිවිඩයත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ සහ ගුවන් තොටුපළ බලධාරීන් අදාළ ගුවන් යානය දැඩි සෝදිසියකට ලක් කිරීමට පියවර ගෙන ඇත. මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙම පරීක්ෂාවන් සිදු කර ඇති අතර, එහිදී තර්ජනයක් විය හැකි කිසිදු සැකකටයුතු යමක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ, ලද තොරතුර මත පදනම්ව ඉතා සූක්ෂම ලෙස පරීක්ෂණ පැවැත්වූ බවත්, එවැනි කිසිදු අනතුරුදායක තත්ත්වයක් ගුවන් යානය තුළ නොතිබූ බවත්ය. කෙසේ වෙතත්, ගුවන් තොටුපළ සහ මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු උපරිම ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.