news-2026-01-04-141306
2026 අධ්‍යයන වර්ෂය සඳහා වන පාසල් කාලසටහන සහ මෙහෙයුම් මාර්ගෝපදේශ ඇතුළත් නිල නිවේදනය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මෑත කාලීනව රටේ විවිධ පළාත්වල ඇති වූ ආපදා තත්ත්වය සහ එමඟින් පාසල් යටිතල පහසුකම්වලට මෙන්ම ප්‍රවාහන පද්ධතිවලට සිදුවූ හානි සැලකිල්ලට ගනිමින්, එම පද්ධති යථා තත්ත්වයට පත් වන තුරු පාසල් වේලාව දීර්ඝ නොකිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ අනුව රජයේ පාසල්, රජයේ අනුමත පුද්ගලික පාසල් සහ පිරිවෙන්වල 2026 වර්ෂයේ පළමු පාසල් වාරය ජනවාරි මස 05 වන දින ආරම්භ වීමට නියමිත අතර 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් වේලාව පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වා නොවෙනස්ව පවතිනු ඇත.


එසේම 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා දෛනික කාලසටහන මිනිත්තු 45ක කාල පරිච්ඡේද හතකින් (Periods 7) සමන්විත වන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ 2026 වර්ෂයේදී 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කෙරෙන අතර, 6 ශ්‍රේණියේ සිසුන් සඳහා නව විෂය මාලාව යටතේ විධිමත් අධ්‍යයන කටයුතු ජනවාරි 21 වන දින ආරම්භ වනු ඇත. 1 ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සඳහා සිසුන් හඳුනාගැනීමේ සහ දිශානති වැඩසටහන් (Orientation) ජනවාරි 05 වන දින ආරම්භ වන අතර, ඔවුන්ගේ විධිමත් අධ්‍යයන කටයුතු ජනවාරි 29 වන දින ඇරඹීමට නියමිතය. මෙම සිසුන් සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත් (Activity books) සහ 6 ශ්‍රේණියේ සිසුන් සඳහා නව ඉගෙනුම් මොඩියුල (Learning modules) අදාළ දිනවලට පෙර ලබා දීමට කටයුතු කර ඇති බවත්, අනෙකුත් සියලුම ශ්‍රේණි සඳහා පෙළපොත් දැනටමත් බෙදා හැර අවසන් බවත් අමාත්‍යාංශය තහවුරු කරයි.




මේ අතර 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි වී ඇති කොටස 2026 ජනවාරි මස 12 වන දින සිට ජනවාරි 20 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම සියලු කරුණු සහ මාර්ගෝපදේශ ඇතුළත් සවිස්තරාත්මක චක්‍රලේඛයක් 2026 ජනවාරි මස 02 වන දින නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.