දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරනු ලබන නාගරීක මන්ත්‍රීණි යාළිනි රාජේන්ද්‍රන් මහත්මියගේ දෙහිවල, ග්‍රෙගරි පාරේ පිහිටි නිවසට ඇතුළු වූ කොල්ලකරුවෙකු විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප්‍රහාරයකින් මන්ත්‍රීවරිය ඇතුළු පවුලේ සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ඊයේ (03) දහවල් 2.30 ට පමණ මංකොල්ලකෑමේ අරමුණින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බව කියන පුද්ගලයෙකු මන්ත්‍රීවරියගේ නිවසට රිංගා ඇති අතර, එම අවස්ථාවේදී නිවැසියන් කලබලයට පත්වීමත් සමඟ සැකකරු විසින් මෙම සාහසික පහරදීම සිදු කර ඇත.
මෙහිදී සැකකරු විසින් එල්ල කළ පිහි පහරකින් මන්ත්‍රීවරියගේ දකුණු අත කපා තුවාල සිදු කර ඇති අතර, එම අවස්ථාවේදී එයට මැදිහත් වූ මන්ත්‍රීවරියගේ පුතාට ද සැකකරු විසින් තියුණු ආයුධයෙන් පහර දී තුවාල සිදු කර ඇති බව පොලීසිය පවසයි.
පසුව පලා යාමට උත්සාහ කළ සැකකරු අල්ලා ගැනීමට මන්ත්‍රීවරියගේ පියා උත්සාහ දරා ඇති අතර, එහිදී ක්‍රියාත්මක වූ සැකකරු නිවසේ තිබූ පිත්තල මල් පෝච්චියක් ගෙන පියාගේ හිසට පහර දීම නිසා ඔහු බරපතල තුවාල ලබා ඇත.
නිවැසියන්ගේ කෑගැසීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ අසල්වාසීන් එම ස්ථානයට පැමිණ සැකකරු අල්ලාගෙන දෙහිවල පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇති අතර, පහරදීමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරිය, ඇයගේ පියා සහ පුත්‍රයා ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.