27-year-old-inmate-dies-after-falling-into-well-while-bathing-at-galle-prison

ගාල්ල බන්ධනාගාරයේ ළිඳට වැටී මියගිය රැඳවියාගේ මරණය සුෂුම්නාවට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.




 කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය යූ.සී.පී. පෙරේරා මහතා විසින් මෙම පරීක්ෂණය පවත්වන ලදි. මියගොස් ඇත්තේ අක්මීමණ, ගොනාමුල්ල පදිංචි 27 හැවිරිදි සමරවීර ගමගේ මිථිල මාධව නම් රැඳවියාය.

අත්අඩංගුවට පත් මොහු මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අක්මීමණ පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අයෙකි. සිද්ධිය සිදුවූ දින (15) උදෑසන ඔහු බන්ධනාගාරය තුළ පිහිටි ළිඳේ නාමින් සිටියදී ළිඳට වැටී ඇත. අනතුරුව ඔහුව ළිඳෙන් ගොඩට ගෙන ප්‍රථමයෙන් බන්ධනාගාර රෝහලටත්, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලටත් මාරු කර යවන ලදී. කෙසේවෙතත්, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු 18 වන දින මියගොස් තිබේ.




අනතුරුව ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් පේමරත්න තිරාණගම මහතා බන්ධනාගාරය වෙත ගොස් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව මෘතදේහය මියගිය අයගේ මවට භාර දෙන ලෙසට නියෝග කරන ලදි.

මෙම සිද්ධියට අදාළ වැඩිදුර සාක්ෂි විමසීම පෙබරවාරි මස 09 වන දිනට කල් තබා තිබේ. ගාල්ල පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දහනායක මහතා සහ සැරයන් කරුණාරත්න (59024) මහතා විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.