ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එහි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව (PDD) වසා දැමීමට තීරණය කර ඇති අතර, ඊට සමගාමීව එම දෙපාර්තමේන්තුව යටතේ පැවති 'LankaSecure' අංශය ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව (PSD) වෙත අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.
2024 වසරේ දෙසැම්බර් මාසයේදී, 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතට අනුකූලව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් ස්ථාපිත කරන ලදී.
අලුතින් පිහිටුවන ලද මෙම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය 2025 වසරේ දෙසැම්බර් මාසය වන විට පූර්ණ ලෙස ක්‍රියාත්මක තත්ත්වයට පත් වූ අතර, මීට පෙර මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද ණය කළමනාකරණ කටයුතුවල පූර්ණ වගකීම එම කාර්යාලය වෙත පවරා දී ඇත.
ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණ රාමුව තුළ ආයතනික වගකීම වඩාත් ශක්තිමත් කිරීම මෙන්ම, එහි කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම වගකීම් හුවමාරුව සහ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කර තිබේ.
කෙසේ වෙතත්, රාජ්‍ය ණය කළමනාකරණ පනත සහ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අදාළ විධිවිධානවලට යටත්ව, 2026 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ සුරැකුම්පත් සඳහා වන ලැයිස්තුගත නොකළ සුරැකුම්පත් පියවීමේ පද්ධතිය සහ මධ්‍යම තැන්පතු ක්‍රමය ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව යටතේ අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා ඇත.
මෙම පද්ධති ක්‍රියාත්මක කිරීමේ වගකීම, රජයේ සුරැකුම්පත් රෙජිස්ට්‍රාර්වරයා ලෙස පත් කර ඇති ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා යටතේ සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.