11000-staff-will-lose-their-jobs-after-closing-schools-with-fewer-than-50-students

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ, සිසුන් 50ට අඩු පාසල් වසා දැමීමේ වැඩපිළිවෙළ යටතේ ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් 11,000ක් පමණ අඩු කිරීම බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, මෙරට සිසුන් 50ට අඩු පාසල් 1,506ක් වසා දැමීමට සැලසුම් කර ඇති අතර, එම පාසල්වල සිසුන් 48,000ක් පමණත්, ගුරුවරුන් 9,882ක් පමණත්, විදුහල්පතිවරුන් සහ වැඩබලන විදුහල්පතිවරුන් 1,506ක් පමණත් සේවය කරන බවය.




මෙම තොරතුරු අනාවරණය කරමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කළ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා එහිදී තවදුරටත් අදහස් දැක්වීය.

වසා දැමීමට නියමිත පාසල් අතර උතුරු මැද පළාතේ පාසල් 159ක් ඇතුළත් වන බවත්, ඒ අතුරින් පාසල් 08ක් මේ වන විටත් වසා දමා ඇති බවත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. පසුගියදා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව සාකච්ඡා කළ අවස්ථාවේදී, මෙම වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළ බවද ඔහු හෙළි කළේය.




අලුතින් නිකුත් කර ඇති 34/2025 චක්‍රලේඛනයේ අට වැනි වගන්තිය මගින් ළමයින් 50ට අඩු පාසල් වසා දැමිය යුතු බවට සෘජුවම දක්වා ඇති බව හෙතෙම සඳහන් කළේය. එහි පළමු පියවරක් ලෙස, 2026 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීම සිදු නොකරන ලෙස මේ වන විටත් පාසල් 500කට පමණ දැනුම් දී ඇති බව වාර්තා වන අතර, එමගින් ලබන වර්ෂය වන විට එම පාසල් "ස්වාභාවික මරණයකට" පත් වනු ඇතැයිද ඔහු පැහැදිලි කළේය. මේ තුළින් ආණ්ඩුවේ අරමුණ සාර්ථක වන බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය, මෙම ක්‍රියාවලියට දැඩි විරෝධය පළ කරන බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව, සියලුම දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනය නොමිලේ ලබාදීම සහ ඔවුන් සුරක්ෂිත කිරීම යන කරුණු සම්බන්ධයෙන් රටක් ලෙස ශ්‍රී ලංකාව එකඟ වී සිටියි. කෙසේ වෙතත්, ආණ්ඩුවේ මෙම ක්‍රියා පිළිවෙත මගින් එම එකඟතාවලින් සම්පූර්ණයෙන්ම බැහැර වන බවට ප්‍රනාන්දු මහතා චෝදනා කරයි. විශේෂයෙන්ම, මෙම පාසල් වසා දැමීම තුළින් ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ට අධ්‍යාපනය අහිමි වීමේ අවස්ථාව පුළුල් වන බවද ඔහු පෙන්වා දෙයි.