100-electric-buses-from-china-to-sri-lanka

පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් චීන රජය විසින් ශ්‍රී ලංකාවට විදුලියෙන් ක්‍රියා කරන සුඛෝපභෝගී බස් රථ 100ක් ලබා දීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් මහතා ප්‍රකාශ කළේය. තානාපතිවරයා මේ බව අනාවරණය කළේ ඊයේ (22) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.




ලබා දෙනු ලබන එක් බස් රථයක වටිනාකම ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහසක් පමණ වන බවත්, ඒවා මූලික වශයෙන් කොළඹ, මහනුවර සහ ගාල්ල යන ප්‍රදේශවල ධාවනය සඳහා යෙදවීමට අපේක්ෂා කරන බවත් තානාපතිවරයා සඳහන් කළේය. වර්තමානයේ චීනය තුළ විදුලි වාහන භාවිතය බහුලව සිදුවන බැවින්, ශ්‍රී ලංකාව තුළ ද විදුලි වාහන ප්‍රචලිත කිරීම සඳහා උපරිම සහාය ලබා දෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් හමුවූ තානාපතිවරයා, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක්වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත නගා සිටුවීමට චීනය පූර්ණ සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥා දුන්නේය. වත්මන් රජය සමඟ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරන බව පෙන්වා දුන් ඒ මහතා, ශ්‍රී ලංකාවට විපතක් වන ඕනෑම අවස්ථාවක චීනය ඒ වෙනුවෙන් පෙනී සිටින බව ද අවධාරණය කළේය.




නුවරඑළිය, මහනුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ආපදාවට ලක්වූ මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට අනුව, ඒ පිළිබඳ සොයා බැලීමට විශේෂඥයන් හය දෙනෙකු මේ වන විට දිවයිනට පැමිණ සිටින බව තානාපතිවරයා හෙළි කළේය. ලොව මාර්ග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ විශේෂඥ දැනුමක් සහ නවීන තාක්ෂණයක් සතු රටක් ලෙස එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා චීනයේ සහාය ලබා දෙන බව ද ඔහු පැවසීය.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ද චීන රජයේ විශේෂ අවධානය යොමු වී ඇති අතර, මෙම වසරේ පාසල් දරුවන්ගේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය සුදු රෙදි මීටර් කෝටි එකහමාරක් ලබා දී ඇති බව තානාපතිවරයා සිහිපත් කළේය. මීට අමතරව පාසල් 500ක් සඳහා ස්මාර්ට් පන්ති කාමර 900ක් ලබා දී ඇති බවත්, ඉදිරියට ද අධ්‍යාපනය, ආර්ථිකය සහ ව්‍යාපාර නගා සිටුවීම සඳහා අඛණ්ඩව සහාය ලබා දෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

100-electric-buses-from-china-to-sri-lanka

100-electric-buses-from-china-to-sri-lanka