එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 19ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, එහිදී තරගයේ වීරයා සම්මානය දිනාගත් දුනිත් වෙල්ලාලගේ එම සම්මානය සිය අභාවප්‍රාප්ත පියා වෙනුවෙන් පුද කරමින් ඉතා සංවේදී අදහස් දැක්වීමක් සිදු කළේය.
ආසියානු කුසලාන තරගාවලිය අතරතුරදී සිය පියා හදිසියේ අභාවප්‍රාප්ත වීමත් සමඟ තමන්ට දැඩි මානසික පීඩනයක් එල්ල වූ බවත්, පියා කොතැනක හෝ සිට තමා දෙස බලා සිටින බව විශ්වාස කරන බවත් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුනිත් පවසා සිටියේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයේදී ක්‍රියාත්මක වූ දුනිත් වෙල්ලාලගේ, නොදැවී ලකුණු 92ක් ලබා ශතකයක් අභියස සිටි කුසල් මෙන්ඩිස් අනෙක් අන්තයේ සිටියදී පවා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම වෙනුවෙන් සිය වගකීම නොපිරිහෙලා ඉටු කළේය.
පන්දු 12ක් තුළ නොදැවී ලකුණු 25ක් රැස් කළ දුනිත්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර තුනක් ඇතුළත් වූ අතර, ඔහුගේ මෙම වේගවත් ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 271ක අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට හැකියාව ලැබුණි.
පිතිකරණයෙන් මෙන්ම පන්දු යැවීමෙන් ද දස්කම් දැක්වූ ඔහු ලකුණු 41කට කඩුලු 2ක් දවා ගනිමින් තරගයේ පාලනය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට සමත් වූ අතර, මෙම තුන් ඉරියව් දස්කම් හේතුවෙන් තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.
පකිස්තාන එක්දින තරගාවලිය සඳහා නම් කළ සංචිතයෙන් ඉවත් කර තිබියදී නැවතත් කණ්ඩායමට පැමිණ මෙලෙස දස්කම් දැක්වීම විශේෂත්වයක් වූ අතර, පසුගිය මාස කිහිපය තමන්ට ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් වූ බවත් එම කාලය තුළ දඟ පන්දු යැවීමේ පුහුණුකරු සචිත් පතිරණ තමන්ට විශාල ශක්තියක් වූ බවත් දුනිත් කෘතවේදීව සිහිපත් කළේය.
තමන්ගේ පිතිකරණ අංශයේ දියුණුව වෙනුවෙන් ඛෙත්තාරාම උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් වන ධම්මික සුදර්ශන සහ තමර අබේරත්න මහත්වරුන් ලබාදුන් සහයෝගය ඔහු විශේෂයෙන් අගය කළ අතර එම පුහුණුවීම් තම සාර්ථකත්වයට දැඩිව බලපෑ බව සඳහන් කළේය.
කණ්ඩායමට නැවත කැඳවූ ජෙෆ්රි වැන්ඩර්සේ ද ලකුණු 39කට කඩුලු 2ක් දවා ගනිමින් සිය උපරිම දායකත්වය ලබා දුන් අතර, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් දුනිත් වෙල්ලාලගේ වැනි ක්‍රීඩකයින්ගේ මෙම නැගී සිටීම ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ ලකුණක් වනු ඇත.
