youth-team-star-akshu-fernando-passes-away-after-7-years-in-coma

2010 වසරේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකු වූ අක්ෂු ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 34 වන වියේ පසු වූ ඒ මහතා දීර්ඝ කාලයක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස දිවි ගමනට සමු දී ඇත.




මීට වසර කිහිපයකට පෙර එනම් 2018 වසරේ දෙසැම්බර් මස 28 වන දින ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී සිදුවූ අවාසනාවන්ත අනතුරකට මොහු මුහුණ දුන්නේය. වෙරළ තීරයේ පැවති ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් සැසියකින් අනතුරුව නැවත පැමිණෙමින් සිටියදී සිදුවූ මෙම බිහිසුණු අනතුර හේතුවෙන් ඔහු බරපතල තුවාල ලැබීය.

එතැන් පටන් වසර හතකට ආසන්න කාලයක් කෝමා (Coma) තත්ත්වයෙන් පසු වූ අක්ෂු ප්‍රනාන්දු ඊයේ (30) දින සිය අවසන් සුසුම් හෙළන ලදී. එකල අතිශය දක්ෂතා පිරි තරුණ ක්‍රීඩකයෙකු ලෙස සැලකූ මොහුගේ ක්‍රිකට් දිවිය මෙම හදිසි අනතුරත් සමඟ අවාසනාවන්ත ලෙස අතරමග නතර විය.




2010 වසරේ නවසීලන්තයේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා එක් වූ ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රබල සාමාජිකයෙකු ලෙස අක්ෂු ප්‍රනාන්දු කටයුතු කළේය. පසුකාලීනව ජාතික කණ්ඩායම නියෝජනය කළ භානුක රාජපක්ෂ, ධනුෂ්ක ගුණතිලක සහ කිත්රුවන් විතානගේ වැනි ක්‍රීඩකයින් ඔහුගේ සමකාලීන කණ්ඩායම් සාමාජිකයෝ වූහ. රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් දේශීය පිටියේ දස්කම් දැක්වූ ඔහු එකල බලාපොරොත්තු සහගත ක්‍රීඩකයෙකු ලෙස අවධානය දිනා සිටියේය.

ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ මහතා ද මෙම ශෝකජනක පුවත තහවුරු කරමින් සිය කණගාටුව පළ කර තිබේ. අක්ෂු ප්‍රනාන්දු යනු ඉතා උද්‍යෝගිමත්, මිත්‍රශීලී සහ මහත්මා ගතිගුණවලින් හෙබි අපූරු තරුණයෙකු බවත්, ඔහු දන්නා හඳුනන සැමට මෙය කණගාටුදායක දිනයක් බවත් අබේසිංහ මහතා සඳහන් කර ඇත.

news-2025-12-31-091144