former-australian-cricketer-damien-martin-hospitalized-in-coma

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි මැද පෙළ පිතිකරුවෙකු වන ඩේමියන් මාටින් මෙනින්ජයිටිස් (Meningitis) රෝගී තත්ත්වයක් හේතුවෙන් කෝමා (Coma) තත්ත්වයට පත් කර රෝහල් ගත කර තිබේ. 54 හැවිරිදි වියේ පසුවන ඔහු පසුගිය බොක්සිං දිනයේදී (දෙසැම්බර් 26) හදිසියේ රෝගාතුර වී ඇති අතර, මේ වන විට ක්වීන්ස්ලන්තයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

මොළය සහ කොඳු ඇට පෙළ ආවරණය කරන පටලවල ඇතිවන බැක්ටීරියා ආසාදනයක් වන මෙම රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ආරම්භ කර ඇත.




මාටින්ගේ පවුලේ හිතවතුන් වෙනුවෙන් අදහස් දක්වමින් ඔහුගේ සමීපතම මිතුරෙකු සහ හිටපු කණ්ඩායම් සගයෙකු වන ඇඩම් ගිල්ක්‍රිස්ට් තහවුරු කළේ මාටින්ට මේ වන විට රෝහල තුළ හැකි උපරිම ප්‍රතිකාර ලැබෙමින් පවතින බවයි. මාටින්ගේ සහකාරිය වන අමන්දා ඇතුළු පවුලේ ඥාතීන් මේ මොහොතේ දැඩි කම්පනයකින් පසුවන අතර, බොහෝ පිරිසක් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් එවන පණිවිඩ පිළිබඳව ඔවුන් දැනුවත් බව ගිල්ක්‍රිස්ට් වැඩිදුරටත් සඳහන් කළේය. ඉදිරි දින කිහිපය තුළ ඔහුව කෝමා තත්ත්වයෙන් මුදා ගැනීමට වෛද්‍යවරුන් අපේක්ෂා කරන බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

මෙම පුවත සැලවීමත් සමඟ ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ටොඩ් ග්‍රීන්බර්ග් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඩේමියන්ගේ රෝගී තත්ත්වය පිළිබඳව තමා දැඩි කනගාටුවට පත්වන බවත්, සමස්ත ක්‍රිකට් ප්‍රජාවගේම ආශිර්වාදය මේ මොහොතේ ඔහු සමඟ ඇති බවත්ය. මීට අමතරව හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩැරන් ලේමන් 'X' සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් "දිගටම සටන් කරන්න පුරාවෘත්තය" යැයි පවසා ශක්තිය ප්‍රාර්ථනා කර ඇති අතර, හිටපු පාපන්දු තරුවක් වන බ්‍රැඩ් හාඩි සඳහන් කළේ මාටින් මේ මොහොතේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින බවයි.




1992 වසරේ සිට 2006 වසර දක්වා ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ මාටින්, ටෙස්ට් තරග 67කට ක්‍රීඩා කර ලකුණු 4406ක් රැස් කරගෙන ඇත්තේ 46.37ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. 2000 දශකයේ මුල් භාගයේදී ස්ටීව් වෝගේ නායකත්වයෙන් යුත් ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ තීරණාත්මක සාමාජිකයෙකු වූ ඔහු, 2006-07 අළුබඳුන තරගාවලිය අතරතුර හදිසියේම ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළේය. රෝගාතුර වීමට දින කිහිපයකට පෙර ඔහු මෙවර බොක්සිං දින ටෙස්ට් තරගය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් ද තබා තිබුණි.

එක්දින පිටියේදී ද විශේෂ දස්කම් දැක්වූ මාටින් තරග 208කට සහභාගී වී ලකුණු 5346ක් රැස්කර ඇත්තේ ශතක 5ක් සහ අර්ධ ශතක 37ක් ද සමඟිනි. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ලෝක කුසලාන ජයග්‍රහණ දෙකකට දායක වූ ඔහු, විශේෂයෙන්ම 2003 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාවට එරෙහිව ඇඟිල්ලක අස්ථි බිඳීමක් සහිතව ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 88ක් රැස් කර කණ්ඩායමට ජයග්‍රහණය ගෙන ඒමට විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නේය.

news-2025-12-31-085934

news-2025-12-31-085934