ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් සම්මත වී ඇති අතර, ඊට පක්ෂව ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නාගරික මන්ත්‍රීවරියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය කඩිනම් පියවර ගෙන තිබේ.
නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය විසින් අද දිනයේ දෙවන වරටත් සභාවට ඉදිරිපත් කරන ලද මෙම අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 58ක් ලැබුණු අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 56ක් පමණක් බැවින් අයවැය සභාවේදී සම්මත විය. මීට පෙර දෙසැම්බර් 22 වන දින පැවති පළමු ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 57ක් සහ විපක්ෂව ඡන්ද 60ක් ලැබීම හේතුවෙන් වැඩි ඡන්ද 03කින් අයවැය පරාජයට පත්ව තිබූ පසුබිමක මෙවර මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට පාලක පක්ෂයට හැකිව තිබේ.
කෙසේ වෙතත්, විපක්ෂයේ සිටින පක්ෂයක් ලෙස අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබියදී, එම තීරණය නොතකා ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන් සොහාරා බුහාරි මන්ත්‍රීවරියගේ ක්‍රියාකලාපය බරපතල විනය කඩකිරීමක් ලෙස පක්ෂය විසින් හඳුනාගෙන ඇත. ඒ අනුව පක්ෂයේ මහලේකම් නිසාම් කාරියප්පර් මහතාගේ අත්සනින් යුතුව අද දිනයේදීම නිකුත් කරන ලද ලිපියක් මගින් ඇයගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
පක්ෂ නායක රවුෆ් හකීම් මහතා විසින් පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී අයවැයට විරුද්ධ විය යුතු බවට පෞද්ගලිකවම ලබා දුන් උපදෙස් සහ පක්ෂයේ පොදු ස්ථාවරය පිළිබඳව මනා අවබෝධයක් තිබියදීත් මන්ත්‍රීවරිය ඊට පටහැනිව කටයුතු කර ඇති බව අදාළ ලිපියේ පෙන්වා දී ඇත. මෙම විනය විරෝධී හැසිරීම සම්බන්ධයෙන් ඉදිරි විනය ක්‍රියාමාර්ග නොගැනීමට හේතු විමසමින්, සතියක් ඇතුළත දිවුරුම් ප්‍රකාශයක් මගින් කරුණු දක්වන ලෙසද පක්ෂ මහලේකම්වරයා විසින් ඇයට නියෝග කර තිබේ.
පසුගිය වර ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් 117 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළද, මෙවර එම සංඛ්‍යාව 114ක් දක්වා අඩු වී තිබූ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටීම නිසා ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වී ඇති බවද වාර්තා වේ.