johnston-fernando-son-remanded

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතාව ලබන ජනවාරි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.




පසුගිය 30 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉබ්බාගමුව, කුඹුක්වැව ප්‍රදේශයේදී ජොහාන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ හා සමුපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාල වකවානුවේදී සිදු වූ බව කියන අක්‍රමිකතා කිහිපයක් මුල් කර ගනිමින් මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.

විශේෂයෙන්ම ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් සහ තවත් වාහන කිහිපයක් සාපරාධී විශ්වාසය කඩ කරමින් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම මොහුට එරෙහිව ගොනු කර ඇති ප්‍රධාන චෝදනාවකි. ඊට අමතරව අමාත්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පෙනී සිටිමින් අයුතු ලෙස වැටුප් සහ දීමනා ලබා ගැනීම තුළින් රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ද ජොහාන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය සඳහන් කරයි.




මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මත පදනම්ව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසන අතර, සිද්ධියට අදාළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා තවමත් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

johnston-fernando-son-remanded