පවතින හදිසි ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින්, පවුලක සාමාජික සංඛ්‍යාව පදනම් කරගෙන සතියකට ලබාදෙන වියළි ආහාර දීමනාව රුපියල් 10,500ක් දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇත.
මීට පෙර මෙම දීමනාව පැවතියේ පවුලේ සාමාජිකයන් ගණන අනුව රුපියල් 1,800ත් රුපියල් 3,600ත් අතර අගයක වූ අතර, නව සංශෝධනයත් සමඟ පෙර රුපියල් 2,100ක් ලෙස පැවති දීමනාව ද රුපියල් 10,500 දක්වා සැලකිය යුතු අගයකින් ඉහළ දමා තිබේ.ආපදාවට ලක්වූ ජනතාවගේ ජන ජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන සලසා දීම, මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ අනුමැතිය ලබා දීම වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම්වරයා වෙත බලය පැවරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැළකිල්ලට ගනිමින් පසුගිය නොවැම්බර් මස 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු විස්තීරණ ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට රජය කටයුතු කර ඇත.
මෙම තත්ත්වය තුළ විපතට පත් ජනතාවට සහන සැලසීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද ඇතුළත් අංක 05/2025 දරණ අයවැය චක්‍රලේඛය දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති අතර, අදාළ ප්‍රසම්පාදන කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට අමාත්‍යාංශ සහ පළාත් ලේකම්වරුන් බලගන්වමින් අංක 06/2025 දරණ චක්‍රලේඛය ද භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබ තිබේ.
හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීම සහ සහන සේවා වෙනුවෙන් 2025 වර්ෂය සඳහා අනුමත අයවැය ඇස්තමේන්තුවලින් වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 550ක අතිරේක ප්‍රතිපාදන මේ වන විටත් සලසා දී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval