fiber-was-broken-in-11-places-4000-towers-were-left-without-power-it-will-be-fixed-tomorrow-4

 පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා බිඳ වැටී තිබෙන දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා හෙට (04) දිනය වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කර සිටී. ආපදාව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට තම හිත මිතුරන් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමට සන්නිවේදන පහසුකම් අත්‍යවශ්‍ය වී ඇති මොහොතක,

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සහ සියලුම දුරකථන සේවා සමාගම් එක්ව මෙම තත්ත්වය කළමනාකරණය කිරීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය.

නායයෑම් සහ ජල ගැලීම් හේතුවෙන් ස්ථාන 11 කදී පළාත් අතර සබඳතා පවත්වන ෆයිබර් ජාලය විසන්ධි වී තිබූ අතර, අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම මත ඉන් ස්ථාන 09 ක් පැය 24 ක් වැනි කෙටි කාලයක් තුළ පිළිසකර කිරීමට පියවර ගෙන තිබේ.


මේ වන විට සියලුම පළාත් ආවරණය වන පරිදි විදුලි සංදේශ ජාලය යාවත්කාලීන කර ඇති අතර, අතුරු ස්ථාන කිහිපයක් හැර අනෙකුත් සියලු ප්‍රදේශවල ෆයිබර් තාක්ෂණය ඔස්සේ සාර්ථකව සන්නිවේදන කටයුතු සිදු කෙරේ. ආපදා තත්ත්වය හමුවේ විදුලිය ඇනහිටීම් සහ ෆයිබර් රැහැන්වලට සිදුවූ හානි නිසා ප්‍රධාන සම්ප්‍රේෂණ කුළුණු 4000 කට අධික සංඛ්‍යාවක් අක්‍රීය වී තිබූ නමුත්, ඉන් 2800 ක් පමණ මේ වන විට නැවත සක්‍රීය කිරීමට අදාළ අංශ සමත් වී ඇත.

ඉතිරි වී ඇති කුළුණු අතුරින් 949 ක් පමණ අක්‍රීය වී ඇත්තේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් බවත්, එම ස්ථාන වෙත ළඟා වී කඩිනමින් විදුලි පහසුකම් සපයා ඒවා සක්‍රීය කිරීමට ත්‍රිවිධ හමුදාවේ පූර්ණ සහාය ඇතිව විදුලි සන්නිවේදන ආයතන කටයුතු කරමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය. වර්තමානයේ නුවරඑළිය, බදුල්ල, පුත්තලම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල සන්නිවේදන ගැටලු පවතින අතර විශේෂයෙන් මහනුවර සහ නුවරඑළිය ප්‍රදේශවල සැලකිය යුතු බාධා කිරීම් හඳුනාගෙන තිබේ.


කෙසේ වෙතත් හෙට උදෑසන වන විට නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවල සබඳතා 75% කට වඩා යථා තත්ත්වයට පත් කිරීමටත්, මහනුවර දිස්ත්‍රික්කයේ පවතින 65% ක් වූ ආවරණය හෙට වන විට 70% දක්වා ඉහළ නැංවීමටත් සැලසුම් කර ඇත.

පසුගිය නොවැම්බර් 28 වැනිදා ආපදා තත්ත්වය ආරම්භ වූ වහාම හඬ ඇමතුම් ලබා ගැනීමට නොහැකි වුවහොත් කෙටි පණිවිඩ (SMS) පහසුකම හෝ පවත්වාගෙන යාමට තාක්ෂණික සූදානමක් තිබූ නමුත්, 29 වැනිදා වන විට ෆයිබර් සබඳතා බොහෝ දුරට යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වූ බැවින් එම විකල්ප ක්‍රමවේදයේ අවශ්‍යතාවක් මතු නොවීය. දැනට සමස්ත සන්නිවේදන ජාලයෙන් 80% කට වැඩි ප්‍රමාණයක් යථා තත්ත්වයට පත් කර ඇති අතර, එළඹෙන අනිද්දා දිනය වන විට එය 100% කින් සම්පූර්ණ කිරීමට හැකිවනු ඇති බවට නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.