police-issue-notice-to-drivers-travelling-on-the-reopened-hatton-colombo-road

 පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පස් කඳු කඩා වැටීම නිසා අවහිර වී තිබූ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය මේ වන විට යළි ආරම්භ කර තිබේ. කෙසේ වෙතත්, එම මාර්ගය භාවිත කරන රියදුරන් වෙත පොලිසිය විශේෂ දැනුම්දීමක් සිදු කරමින් ඉල්ලා සිටින්නේ පස් කඳු කඩා වැටී ඇති ස්ථාන ආශ්‍රිතව කිසිදු හේතුවක් මත රථවාහන නතර කිරීමෙන් වළකින ලෙසයි.



එම ස්ථානවල පස් කඳු තවදුරටත් කඩා වැටීමේ අවදානමක් පවතින බැවින්, රථවාහන නතර කිරීම මෙන්ම එම ස්ථාන හරහා පාගමනින් ගමන් කිරීම ද අනතුරුදායක විය හැකි බව පොලිසිය අවධාරණය කරයි.


මේ අතර හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ නුවරඑළිය සහ නාවලපිටිය දක්වා දිවෙන මාර්ගය ද රථවාහන ධාවනය සඳහා විවෘතව පවතී.

නාවලපිටිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ගල් බෝක්කුව ප්‍රදේශයෙන් හානියට පත් වූ කොටස පිළිසකර කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතී. එසේ වුවද ගම්පොළ - නුවරඑළිය ප්‍රධාන මාර්ගය මෙන්ම කොත්මලේ සහ වලපනේ ප්‍රදේශවලට පිවිසෙන මාර්ග තවදුරටත් රථවාහන ගමනාගමනය සඳහා විවෘත කර නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටී.