ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ "ඇමරිකාව පළමුව" (America First) ප්‍රතිපත්තියට අනුකූලව අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නියෝජනය ප්‍රතිසංවිධානය කිරීමේ පුළුල් පියවරක් ලෙස, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය ඇතුළු ලොව පුරා සේවය කරන ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරීන් සහ වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයින් 30කට ආසන්න පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත කැඳවීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කර තිබේ.
අවම වශයෙන් රටවල් 29ක දූත මණ්ඩල ප්‍රධානීන්ගේ සේවා කාලය එළඹෙන ජනවාරි මාසයේදී අවසන් වන බව පසුගිය සතියේ අදාළ නිලධාරීන් වෙත දැනුම් දුන් බව රාජ්‍ය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. බයිඩන් පරිපාලනය යටතේ පත් කරන ලද මෙම නිලධාරීන් බොහෝ දෙනෙකු ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය තුළ දේශපාලන පත්වීම් ඉවත් කිරීමෙන් පසුවද සිය තනතුරුවල රැඳී සිටි අය වන අතර, ඔවුන්ගේ ඉවත්වීම පිළිබඳ නිල දැනුම් දීම් පසුගිය බදාදා වොෂින්ටනයෙන් නිකුත් කර ඇත.
තානාපතිවරුන් සාමාන්‍යයෙන් වසර තුනක හෝ හතරක කාලයක් සේවය කළද ඔවුන් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සේවය කරන බව පෙන්වා දෙන නිලධාරීන්, මෙලෙස නැවත කැඳවනු ලබන පිරිසට ඔවුන්ගේ විදේශ සේවා තත්ත්වය අහිමි නොවන බව අවධාරණය කර සිටී. ඒ වෙනුවට ඔවුන් නැවත පැවරුම් සඳහා වොෂින්ටනයට වාර්තා කළ යුතුව ඇත.
ශ්‍රී ලංකාවේ සේවය කළ ජුලී චන්ග්ගේ සේවා කාලය ආරම්භ වූයේ 2022 පෙබරවාරීයේ සිට වන අතර ඇගේ කාලය වසර 4 සම්පූර්ණවීමට ආසන්නව තිබියදී මෙම කැඳවීම සිදුකර ඇත.
තානාපතිවරුන් යනු විදේශයන්හි සිටින ජනාධිපතිවරයාගේ පුද්ගලික නියෝජිතයන් බව පවසමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම පියවර සාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස හඳුන්වා දී ඇති අතර, ඊට අදාළ නිලධාරීන්ගේ නිශ්චිත සංඛ්‍යාව හෝ අනන්‍යතාවය තහවුරු කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම නැවත කැඳවීම්වලින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අප්‍රිකානු කලාපයට වන අතර, නයිජීරියාව, රුවන්ඩාව, සෙනගාලය සහ උගන්ඩාව ඇතුළු රටවල් 13ක තානාපතිවරුන් නැවත කැඳවා ඇත. ඊට අමතරව ෆීජි, ලාඕසය, පිලිපීනය සහ වියට්නාමය ඇතුළු ආසියා-පැසිෆික් කලාපයේ රටවල් හයක් සහ ආර්මේනියාව, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ ස්ලොවැකියාව යන යුරෝපීය රටවල තානාපතිවරුන්ද ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතය.
මැද පෙරදිග කලාපයේ ඇල්ජීරියාව සහ ඊජිප්තුව, බටහිර අර්ධගෝලයේ ග්වාතමාලාව සහ සුරිනාමය මෙන්ම දකුණු ආසියානු කලාපයේ නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල තානාපතිවරුන්ද මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, බයිඩන් පරිපාලන සමයේදී පත්වීම් ලැබ කොළඹ සේවය කරමින් සිටි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මියද ඒ අතර වේ.