අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාරයේ කළමනාකරු ලෙස කටයුතු කළ හිරාන් කෝසල අද උදෑසන සිය ව්‍යාපාරික ස්ථානය තුළදීම වෙඩි තබා ඝාතනය කළ පසුව ඔහුගේ පාතාල සබඳතා රැසක් ගැන මේ වනවිට අනාවරණයවී තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්ගොඩ විද්‍යාල මාවතේ පදිංචිකරුවෙකු වන 44 හැවිරිදි හිරාන් කෝසල නැමැත්තෙකි. මොහු අම්බලන්ගොඩ මහ නගර සභාවේ නගරාධිපති ධූර අපේක්ෂකයෙකු ලෙස සමගි ජන බලවේගය නියෝජනය කරමින් පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටි අයෙකු බවත්, ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකු වන ගයන්ත කරුණාතිලක මහතා සමඟ දේශපාලනිකව ඉතා සමීපව කටයුතු කළ අයෙකු බවත් වාර්තා විය.
ඔහු ව්‍යාපාරික ස්ථානයේ පුටුවක වාඩි වී සිටියදී පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඝාතනයට ලක්වූ පුද්ගලයා සෘජුවම පාතාල කල්ලි සාමාජිකයෙකු නොවුණ ද, ඔහු ප්‍රදේශයේ ක්‍රියාත්මක විවිධ පාතාල කල්ලි නායකයන් සහ සාමාජිකයන් සමඟ දැඩි මිත්‍රත්වයක් පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය සැක කරයි. මොහු බන්ධනාගාරයේ සිටින ලොකු පැටී සහ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන කරන්දෙණියේ සුද්දා යන දෙපාර්ශ්වය සමඟම සබඳතා පැවැත්වූ අයෙකි. එසේම කොස්ගොඩ සුජී සහ ඌරගහ ඉන්දික වැනි එකිනෙකාට එරෙහි ප්‍රබල අපරාධකරුවන් සමඟ ද ඔහු සමීපව කටයුතු කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
මීට අමතරව පසුගිය 2025 වසරේ නොවැම්බර් මස ඝාතනයට ලක්වූ කරන්දෙණිය සුද්දාගේ සහ එස්.ටී.එෆ්. රාජුගේ මස්සිනා වන බිරන්ත වරුසාවිතාන සමඟ ද මොහුගේ දැඩි හිතවත්කමක් තිබී ඇත. මෑත කාලීනව ප්‍රතිවාදී කල්ලි අතර ගැටුම් උග්‍ර අතට හැරී ඇති පසුබිමක, පසුගිය 18 වනදා ඌරගහ ශාන්තගේ ඥාතීන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරය සහ ඊට ප්‍රතිචාර ලෙස ත්‍රිකුණාමලයේ සිදුවූ වෙඩි තැබීම්වලට සමාන්තරව මෙම ඝාතනය ද එම ලෙයට ලෙයක් හුවමාරු වන ගැටුම් මාලාවේ දිගුවක් විය හැකි බවට සැක කෙරේ. කෙසේ වෙතත් මොහු ප්‍රතිවාදී කණ්ඩායම් සියල්ල සමඟ සබඳතා පැවැත්වීම සහ එම අපරාධකරුවන්ගේ මුදල් පාලනය සිදුකිරීම හේතුවෙන් මෙම ප්‍රහාරය කුමන පාර්ශ්වයකින් එල්ල වූවාද යන්න නිශ්චිතව හඳුනාගැනීම විමර්ශකයන්ට ගැටලුවක් වී තිබේ.
හිරාන් කෝසල මීට පෙර අවස්ථා ගණනාවකදී විවිධ චෝදනා මත බන්ධනාගාරගතව සිටි අයෙකි. විශේෂයෙන්ම කළුතර එතනමඬල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාල නායක සමයං ඝාතනය කිරීමේ සිද්ධියේදී තුවාල ලැබූවන්ට රහසිගතව ප්‍රතිකාර ලබා දීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබිණි.
මීට වසර දෙකකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ අයෙකුට ප්‍රතිකාර කිරීමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ අතර, ඊට සම්බන්ධ වෛද්‍යවරයා මේ වන විට රටින් පළා ගොස් ඇති බවද කියැවේ. 2014 සහ 2015 වසරවල සිදුවූ මිනීමැරුම් දෙකකට සම්බන්ධ බවටත්, ජීව උණ්ඩ තොගයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගිනුත් ඔහු මීට පෙර අත්අඩංගුවට ගෙන ඇත.
ඝාතනයෙන් පසු අතුරුදන්ව තිබූ මරණකරුගේ ජංගම දුරකථනය ඔහුගේ ඥාතියෙකු සඟවාගෙන සිටියදී ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් සොයාගෙන තිබේ. එම දුරකථනය පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ ඊයේ රාත්‍රියේදී ද මොහු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින 'ලොකු පැටී' නම් අපරාධකරු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී ඇති බවයි. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ලකී රන්දෙණිය සහ ගාල්ල අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා අවධාරණය කළේ බූස්ස වැනි අධිආරක්ෂිත බන්ධනාගාරවල සිටින දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් නිදහසේ ජංගම දුරකථන භාවිතා කරමින් මෙවැනි අපරාධ මෙහෙයවීම දිගින් දිගටම සිදුකරන බවයි. මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කර තිබුණ ද, එම තත්ත්වය පාලනය කිරීමට ඔවුන් මේ දක්වා අපොහොසත් වී ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
CCTV වීඩියෝව මෙතැනින් Click here