update-hiran-kosala-who-was-murdered-in-ambalangoda-had-underworld-connections

 අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාරයේ කළමනාකරු අද උදෑසන සිය ව්‍යාපාරික ස්ථානය තුළදී වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හිරාන් කෝසල නැමැත්තා වන අතර, ඔහු අම්බලන්ගොඩ මහ නගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපති අපේක්ෂකයෙකු ලෙස ද ඉදිරිපත්ව සිටි අයෙකි.

ව්‍යාපාරික ස්ථානය තුළ පුටුවක වාඩි වී සිටියදී පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව මූලික තොරතුරු මගින් අනාවරණය වේ. මොහු ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකු වන ගයන්ත කරුණාතිලක මහතා සමඟ දේශපාලන කටයුතුවලදී ඉතා සමීපව කටයුතු කළ අයෙකු බව ද වාර්තා වේ.

ඝාතනයට ලක්වූ හිරාන් කෝසලට එරෙහිව මීට පෙර විවිධ චෝදනා එල්ල වී තිබූ අතර ඔහු බන්ධනාගාරගතව සිටි අයෙකු ද වේ. විශේෂයෙන්ම මීට වසර දෙකකට පමණ පෙර සිදුවූ පාතාල වෙඩි තැබීමකින් තුවාල ලැබූ අයෙකුට රහසිගතව ප්‍රතිකාර ලබා දීමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබිණි.


අදාළ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා පවා මේ වන විට රටින් පළා ගොස් ඇති බව කියැවේ. හිරාන් කෝසල සෘජුවම පාතාල කල්ලි සාමාජිකයෙකු නොවූවද, ඔහු ප්‍රදේශයේ පාතාල ක්‍රියාකාරීන් සමඟ මිත්‍රශීලීව කටයුතු කර ඇති බවත්, ඔවුන් සමඟ පැවති සමීප සබඳතා මෙම ඝාතනයට හේතු වන්නට ඇති බවත් පොලීසිය සැක කරයි.

පසුගිය 2025 වසරේ නොවැම්බර් මස මුලදී අම්බලන්ගොඩ නගර සභාව ඉදිරිපිටදී ඝාතනයට ලක්වූ කරන්දෙණිය සුද්දාගේ සහ එස්.ටී.එෆ්. රාජුගේ මස්සිනා වන බිරන්ත වරුසාවිතාන සමඟ මොහුගේ දැඩි හිතවත්කමක් තිබී ඇත. බිරන්ත ඇතුළු කරන්දෙණිය සුද්දාගේ පාර්ශවය සමඟ පැවති මෙම හිතවත්කම් හේතුවෙන් ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායමක් වන ශාන්තගේ පාර්ශවයෙන් හෝ අම්බලන්ගොඩ සහ අහුන්ගල්ල ප්‍රදේශවල ක්‍රියාත්මක වන වෙනත් ප්‍රතිවාදී කණ්ඩායමකින් මෙම ප්‍රහාරය එල්ල වූවාද යන්න පිළිබඳව සැකයක් මතු වී තිබේ.

මෑත කාලීනව ප්‍රතිවාදී කල්ලි අතර පවතින ගැටුම් උග්‍ර අතට හැරී ඇති අතර, පසුගිය 18 වනදා ඌරගහ ශාන්තගේ ඥාතීන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරය සහ ඊට ප්‍රතිචාර ලෙස ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීම් ඊට නිදසුන් වේ. මෙම ඝාතනය ද එම පාතාල කල්ලි අතර පවතින ලෙයට ලෙයක් හුවමාරු වන ගැටුම් මාලාවේ දිගුවක් විය හැකි බවට සැක කෙරෙන අතර, නිශ්චිතවම වෙඩි තැබීම සිදුකළ පාර්ශවය කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.


CCTV වීඩියෝව මෙතැනින් Click here




gossiplanka image