වාද්දූවේ පිහිටි ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකට පෙරේදා (20) මධ්‍යම රාත්‍රියේ ඇතුළු වූ බවට චෝදනා වන පොලිස් සැරයන්වරයෙකු සම්බන්ධයෙන් වාද්දූව පොලීසිය පරීක්ෂණ අරඹා ඇත. එහි සේවය කරන තෙරපිවරියකගේ සේවය ඉල්ලා නොදීම හේතුවෙන්, ඔහු කලබලකාරී ලෙස හැසිරී ඇති බවට වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් එම සම්බාහන මධ්‍යස්ථානයේ සේවය කරන තවත් තෙරපිවරියක් ඊයේ (21) වාද්දූව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.අදාළ පොලිස් සැරයන්වරයා වාද්දූව පොලීසියේ දූෂණ මර්දන ඒකකයට අනුයුක්ත නිලධාරියෙකු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. රාජකාරී කටයුතු අවසන් කිරීමෙන් පසු පෙරේදා මධ්‍යම රාත්‍රියේ ඔහු මෙම සම්බාහන මධ්‍යස්ථානයට ගොස් ඇති අතර, එහිදී විශේෂිත තෙරපිවරියකගේ නම සඳහන් කර ඇයගේ සේවය ඉල්ලා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී සම්බාහන මධ්‍යස්ථානයේ සේවා කටයුතු නතර කර තිබූ බවත්, සැරයන්වරයා විසින් ඉල්ලා සිටි තෙරපිවරිය අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඇයගේ සේවය ලබා දිය නොහැකි බවත් පැමිණිලිකාර තෙරපිවරිය විසින් ඔහුට දැනුම් දී තිබේ.
මේ බව ඇසීමෙන් පසු සැරයන්වරයා අදාළ තෙරපිවරියට (පැමිණිලිකාරියට) අසභ්‍ය වචනයෙන් බැණ වදිමින්, ඇයගේ අතින් ඇදගෙන, පසුව ඇය සතු ජංගම දුරකථනය ද පැහැරගෙන පලා ගොස් ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. පැමිණිලිකාර තෙරපිවරිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද පොලිසියට කරුණු දැනුම් දී තිබේ. ලැබී ඇති මෙම පැමිණිල්ල පිළිබඳව වාද්දූව පොලීසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වන විට විමර්ශන කටයුතු සිදු කරනු ලැබේ.