update-ambalangoda-hirans-killers-caught-revealed-to-be-the-work-of-hasitha-and-dasun

 අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාරයේ කළමනාකරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු අම්බලන්ගොඩ පොලීසිය විසින් ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. බළපිටිය, මහළදූව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි රඹුක්කන ගමගේ ජනත් කාංචන නැමැති මෙම සැකකරු අද (25) දින බළපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඉසෙඩ්. පී. එම්. ලියාකාත් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වනදා දක්වා රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලැබී ඇත.



මෙම ඝාතනය සිදුකිරීම සඳහා පැමිණි වෙඩික්කරුවන් භාවිත කළ යතුරු පැදිය අම්බලන්ගොඩ, ආදාදොල ප්‍රදේශයට රැගෙන ගොස් ඇත්තේ මෙම සැකකරු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. යතුරු පැදිය අදාළ ස්ථානයට රැගෙන යාමෙන් පසු සැකකරු සිය මිතුරෙකුගේ නිවසට ගොස් තමා ඇඳ සිටි ඇඳුම් පුළුස්සා දමා, කොළඹට පලාගොස් කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැන් පොළක සැඟව සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.




දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන හසිත මධුසංක හෙවත් ‘දෙලා’ සහ දසුන් සුරංග මානවඩු යන අයගේ මෙහෙයවීම මත මෙම අපරාධය සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසයි. ඔවුන් විසින් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ලබාදුන් උපදෙස් මත තමා යතුරු පැදිය ආදාදොල පාළු ප්‍රදේශයක දමා ගිය බවට සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගෙන තිබේ. සැකකරුට ඇඳුම් මාරුකර ගැනීමට සහය වූ බව කියන මිතුරාගෙන්ද පොලීසිය ප්‍රශ්න කර ඇති අතර, සැකකරු පැමිණ තමාගෙන් ඇඳුම් ඉල්ලාගෙන පැරණි ඇඳුම් පුළුස්සා දැමූ බවත්, සිද්ධිය පිළිබඳ සැක සිතී ඔහුව නිවසින් පිටත් කර යැවූ බවත් එම මිතුරා ප්‍රකාශ කර ඇත.

ඝාතනයට ලක්වූ 47 හැවිරිදි සන්තියාගෝ හිරාන් කෝසල ද සිල්වා නැමැත්තා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් අම්බලන්ගොඩ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා තරග වැදුණු අයෙකි. අම්බලන්ගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවත්,


මියගිය පුද්ගලයා අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සබඳතා පැවැත්වූ අයෙකු බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය සිද්ධිය වූ දිනම දහවල් කාලයේදී අම්බලන්ගොඩ කුරුඳුවත්ත, ආදාදොළ මාර්ගයේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ. බී. ඒ. එස්. රණවීර මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රභාත් ගුණරත්න සහ ඇල්පිටිය අපරාධ ස්ථාන විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිමාල් ද සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.

(ජයකාන්ත ලියනගේ  -  බළපිටිය)