hakgala-park-reopened-after-landslide-sites-blocked

 පසුගිය දිනවල රට තුළ පැවති "දිට්වා" සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ හක්ගල ජාතික උද්භිද උද්‍යානය, සංචාරකයන් සඳහා යළි විවෘත කිරීම අද (25) දිනයේ සිට සිදු කර තිබේ. පරිසර අමාත්‍යාංශයේ උපදෙස් මත ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් දියත් කළ කඩිනම් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල හේතුවෙන් මෙලෙස උද්‍යානය නැවත විවෘත කිරීමට අවස්ථාව උදා වී ඇත.






ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය සහ ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය විසින් ලබා දී ඇති නිර්දේශ හා උපදෙස්වලට පූර්ණ වශයෙන් අනුකූලව මෙම කටයුතු සිදු කර තිබේ. කෙසේ වෙතත්, උද්‍යාන භූමිය තුළ තවදුරටත් නායයෑම් හෝ පස් කඳු කඩා වැටීමේ අවදානම් ලක්ෂණ පෙන්නුම් කරන ස්ථාන හඳුනාගෙන ඇති අතර, එම ස්ථානවල අනතුරුදායක බව හැඟවෙන පුවරු ප්‍රදර්ශනය කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. එබැවින් නරඹන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම අවදානම් කලාප වෙත පිවිසීම තාවකාලිකව වළක්වා තිබේ.

මෙම හඳුනාගත් අවදානම් කලාප අතරට උද්‍යානයේ පිවිසුම් දොරටුව ආසන්නයේ ඇති පොකුණු සහිත ප්‍රදේශය සහ වනෝද්‍යානය දෙසට ගමන් කිරීමට ඇති මාර්ගය ඇතුළත් වේ. මෙම සීමා කිරීම් මධ්‍යයේ වුවද, උද්‍යානය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව සැලසීම වෙනුවෙන් උද්භිද උද්‍යාන කාර්ය මණ්ඩලය විසින් විශේෂ වැඩසටහනක් ද සංවිධානය කර ඇත.




සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ වසා දැමුණු හක්ගල උද්භිද උද්‍යානය කඩිනමින් යථා තත්ත්වයට පත් කර නැවත විවෘත කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලීමට, පසුගිය 12 වැනිදා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ද විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙරට පිහිටි අලංකාර උද්භිද උද්‍යාන අතර ප්‍රමුඛ තැන ගන්නා  වර්ෂ 1861 දී නිර්මාණය කළ මෙම උද්භිද උද්‍යානය හක්ගල නුවරඑළිය - බදුල්ල ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර්  16 ක දුරින් පිහිටා තිබෙයි. මුහුදු මට්ටමේ සිට අඩි 5400 ක උසින් පිහිටා තිබෙන නිසා මෙය වසර පුරාම සීත දේශගුණයකින් යුක්තය.