unicef-helps-restore-education

අධ්‍යාපන ක්ෂේත්‍රය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට යුනිසෙෆ් සංවිධානය එකඟ වී තිබේ. මෙය සිදුවූයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ යුනිසෙෆ් නියෝජිතයින් අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීය. ආපදාවලින් හානියට පත් පාසල් යළි ගොඩනැගීම වෙනුවෙන් සහාය ලබාගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.





මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, ස්වාභාවික ආපදා තත්ත්වය හටගත් දින සිට මේ දක්වා පාසල් දරුවන් ඇතුළු සමස්ත ශිෂ්‍ය ප්‍රජාව ආරක්ෂා කර ගැනීමටත්, හානියට පත් පාසල් පද්ධතිය යළි ගොඩනැගීමටත් රජය ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳවයි.




නායයාම් අවදානමට ලක්ව ඇති පාසල් වෙනත් සුරක්ෂිත ස්ථානවල පිහිටුවීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය. විපතට පත් පාසල්වල සිසුන්ට සහන සලසමින්, දෙමව්පියන්ට කිසිදු අමතර මූල්‍ය බරක් නොපටවා එම දරුවන් නැවත පාසල් වෙත ගෙන්වා ගැනීම රජයේ ප්‍රමුඛ අරමුණ බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

මෙහිදී යුනිසෙෆ් නියෝජිතයින් සහතික වූයේ, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය යළි නගාසිටුවීම සඳහා රජයට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට තමන් සූදානම් බවයි.