underworld-shooting-between-nugegoda-and-kohuwala-avishkas-colleague-injured-cctv
නුගේගොඩ සහ කොහුවල හන්දිය අතර ප්‍රදේශයේදී ඊයේ (22) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

රාත්‍රී 8.30ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ කළුබෝවිල, බෝධියාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25ක් වන තරුණයෙකි.


වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහු මේ වන විට කඩිනමින් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා, මේ වන විට විදෙස්ගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'අවිෂ්ක' නැමැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වූ අයෙකු බවයි. මෙම පාතාල සබඳතාව මත ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

මෙම සිදුවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කැළණි පාලම දක්වා වන ප්‍රදේශ ආවරණය වන පරිදි කොළඹ නගරය තුළ අමතර පොලිස් නිලධාරීන් යොදවා ආරක්ෂාව තර කර ඇත. පලාගිය සැකකරුවන් සොයා කොහුවල පොලිසිය සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සිද්ධියට අදාළ CCTV දර්ශන මෙතැනින්  click here
gossiplanka image