හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් සංවිධායකවරයා වන විජිත් විජයමුණි සොයිසා මහතා රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව,
පාර්ශවයන් අතර ඇති වූ සමථයකින් අනතුරුව මුදා හැර ඇති බව දෙහිවල පොලිසිය සඳහන් කරයි.
ගල්කිස්ස දෙස සිට කොළඹ බලා දෙහිවල ගාලු පාර ඔස්සේ ගමන් කරමින් තිබූ හිටපු අමාත්‍යවරයාගේ ඩිෆෙන්ඩර් රථයේ පුද්ගලයකු ගැටීමෙන් පසුව ඔහු බිම ඇද වැටී තිබේ. එම අවස්ථාවේදී රියදුරු විසින් රථය පසුපසට ගැනීමට උත්සාහ කිරීමේදී, පිටුපසින් පැමිණි තවත් වාහනයක ගැටී ඇති බවට පොලිස් වාර්තා වල සඳහන් වේ.
තුවාල ලැබූ පුද්ගලයා වහාම සිය ඩිෆෙන්ඩර් රථයෙන්ම කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට හිටපු අමාත්‍යවරයා කටයුතු කර ඇත. පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම තුවාලකරුට ප්‍රතිකාර ලබා දීමෙන් පසුව, හිටපු අමාත්‍යවරයා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු වෙත ඉදිරිපත් කර ඇති අතර, ඔහු මත්පැන් පානය කර නොතිබූ බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් කියා සිටියේය.
තුවාලකරුගේ පාර්ශවය සහ හිටපු අමාත්‍යවරයා අතර ඇති කර ගත් එකඟතාවකට අනුව, පොලිසිය විසින් මෙම සිද්ධිය සමථයකට පත් කර ඇති අතර, ඒ අනුව අත්අඩංගුවට ගෙන සිටි අමාත්‍යවරයා නිදහස් කිරීමට පියවර ගත් බව එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාධ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.