අනුරාධපුර දිස්ත්‍රික් දේශපාලනයේ ප්‍රබල ක්‍රියාකාරීන් දෙපළක් වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය එස්.සී. මුතුකුමාරණ මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක් මහේන්ද්‍ර අධිකාරි මහතා අසනීප තත්ත්වයන් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. එකම කාල වකවානුවකදී අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් දෙදෙනෙකු මෙලෙස ජීවිතයෙන් සමුගැනීම ප්‍රදේශවාසීන්ගේ දැඩි කම්පනයට හේතු වී ඇත.
කාලයක් තිස්සේ රෝගාතුරව සිටි එස්.සී. මුතුකුමාරණ මහතා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් තහවුරු කරයි. හෘදයාබාධයක් හේතුවෙන් මියයන විට ඒ මහතා 73 වන වියේ පසුවිය. මුතුකුමාරණ මහතාගේ දේහය මේ වන විට එප්පාවල, කටියාව පාරේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙනවිත් ඇති අතර අවසන් ගෞරව දැක්වීම සඳහා ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එම නිවස වෙත පැමිණෙමින් සිටිති.
දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන 20 වැනි සෙනසුරාදා එප්පාවල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් දැනුම් දෙයි.
තලාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස දේශපාලන ගමන ඇරඹූ මුතුකුමාරණ මහතා උතුරු මැද පළාත් සභාවේ හිටපු සභානායකවරයා ලෙස ද කටයුතු කළ පළපුරුදු දේශපාලනඥයෙකි. 2010 වසරේදී පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් කලාවැව ආසනය හරහා පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා, හත්වන, අටවන සහ නවවන පාර්ලිමේන්තු වාරයන්හිදී මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇත.
විශේෂයෙන්ම 2013 වසරේ සිට 2015 දක්වා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු දැක්ූ දායකත්වය කැපී පෙනුණි. පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වෙමින් හොරොව්පතාන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ ඔහු රෝගී තත්ත්වය හේතුවෙන් මෑත කාලයේ නිවසට වී විවේකීව කල්ගෙවීය.
මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රකට දේශපාලන චරිතයක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක් මහේන්ද්‍ර අධිකාරි මහතා ද අභාවප්‍රාප්ත වූයේ 60 වන වියේ පසුවෙද්දීය. දිගු කලක් තිස්සේ පැවති රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා මරණයට පත්ව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැකිරාව ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ ජනක් මහේන්ද්‍ර අධිකාරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද අනුරාධපුර ජනතාවට පුළුල් සේවයක් ඉටු කළ අයෙකි.
Comments
Post a Comment
Your comment will be visible after approval