gomissing-anaconda-found-at-zoo-attempted-theft-included

 දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ උරග අංශයෙන් අතුරුදන් වූ බවට වාර්තා වී තිබූ කහ ඇනකොණ්ඩා පැටවා, එම අංශය භාරව සිටි සේවකයාගේ වැඩ තහනම් කර පැය 24ක් ගතවීමටත් මත්තෙන් සොයා ගැනීමට හැකි වී තිබේ. මෙම සත්වයා හමුවී ඇත්තේ උරග උයනේම තිබූ යකඩ පෙට්ටියක් තුළ සිටියදීය.



මෙම සිදුවීමට අදාළ පසුබිම නිර්මාණය වන්නේ 2025 වසරේ සැප්තැම්බර් මස 15 වන දිනයි. එදින කටුනායක ගුවන් තොටුපළේදී කාන්තාවක් විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විශේෂ හතරකට අයත් සර්පයින් හය දෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව එම සතුන් ආරක්ෂිතව රැකබලා ගැනීම සඳහා දෙහිවල සත්වෝද්‍යානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

සත්වෝද්‍යාන උරග අංශයේ නිරෝධායනයට යොමු කර සිටි මෙම සතුන් අතර මෙරට සිටින එකම කහ ඇනකොණ්ඩා පැටවා ද විය. වයස අවුරුද්දක් පමණ වන අඩි 1.5ත් 2ත් අතර දිගින් යුත් මෙම සත්වයා පසුගිය දෙසැම්බර් 07 වන දින අතුරුදන් වී ඇති බවට දෙහිවල පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.




එම අවස්ථාවේදී අදාළ සත්වයා භාරව සිටි සේවකයා ප්‍රකාශ කර තිබුණේ තමන් අතින් සිදුවූ අතපසු වීමකින් කූඩුවේ දොර නිසි පරිදි නොවැසීම හේතුවෙන් සත්වයා ඉන් පිටතට යන්නට ඇති බවයි. ඒ අනුව සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය දින කිහිපයක් පුරා මුළු සත්වෝද්‍යානයම පීරමින් සෝදිසි මෙහෙයුම් දියත් කළ ද සත්වයා සොයා ගැනීමට කිසිදු හෝඩුවාවක් නොලැමුණි.

කෙසේ වෙතත් මෙම අතුරුදන්වීම සැක සහිත වූ බැවින් ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කෙරුණු අතර, දින නවයකට පසු එහි වාර්තාව අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාර දී තිබේ. එම වාර්තාවට අනුව ක්‍රියාත්මක වෙමින්, පසුගිය අඟහරුවාදා (16) දින අදාළ උරග භාරකරුගේ වැඩ තහනම් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබුණි.

විශේෂත්වය වන්නේ අදාළ සේවකයාගේ වැඩ තහනම් කර පැය 24ක් ගත වීමටත් පෙර, උරග අංශයේම තිබූ යකඩ පෙට්ටියක සිටියදී මෙම ඇනකොණ්ඩා පැටවා හමුවීමයි. සත්වෝද්‍යානයේ වෙනත් අංශයක සේවකයෙකු විසින් සත්වයා සොයාගෙන ඇති බවත්, මේ වන විට සත්වයා සොයාගත් බවත් සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා තහවුරු කර ඇත.




gossiplanka image 1