පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර අවදානම සැලකිල්ලට ගනිමින් සෝමාවතී පුදබිම වෙත දිවෙන මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය තීරණය කර තිබේ. අධික වර්ෂාවත් සමග මෙම මාර්ගය ජලයෙන් යටවීමට ඉඩ ඇති බැවින් නැවත දැනුම් දෙනතුරු මෙම පියවර ක්‍රියාත්මක බව එම ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මේ අතර අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශ වාන් දැමීම ආරම්භ වී ඇති බව මහවැලි අධිකාරිය ප්‍රකාශ කරයි. පවතින වැසි තත්ත්වය අනුව රන්ටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රමාණය ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවද එම අධිකාරිය පෙන්වා දෙයි.
ලොග්ගල් ඔය, දියබානා ඔය, හෑපොල ඔය සහ උල්හිටිය ජලාශවල වාන් ජලය මෙන්ම බදුළු ඔයේ ජල ධාරිතාවද සෘජුවම මහවැලි ගඟට එක්වෙමින් පවතී.
මෙම තත්ත්වය හේතුවෙන් මහවැලි ගඟේ පහළ නිම්න ප්‍රදේශවල වෙසෙන ජනතාව ඉතා අවධානයෙන් සහ විමසිලිමත්ව කටයුතු කළ යුතු බවට මහවැලි අධිකාරිය අනතුරු ඇඟවීමක් සිදු කරයි.
කලාවැව ද්‍රෝණියට අයත් කලාවැව සහ කණ්ඩලම ජලාශද මේ වන විට වාන් දමමින් පවතින අතර මාදුරුඔය ජලාශයද උපරිම ජල මට්ටමට ළඟා වී ඇත. තවද බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද සහ කළුගඟ යන ජලාශවල ජල මට්ටම මේ වන විට උපරිම සීමාවේ පවතින බැවින්, පෝෂිත ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය අනුව ඉදිරියේදී එම ජලාශද වාන් දැමිය හැකි බව බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval