tissa-sir-talks-about-muthugala-sirs-helicopter-journey

 පසුගිය සති කිහිපය පුරාම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැඩි කතාබහට සහ විවේචනයට ලක්වූ මුතුගල සර්ගේ හෙලිකොප්ටර් ගමන සම්බන්දයෙන් ක්ෂෙත්‍රයේ තවත් ගුරුවරයෙකු වන තිස්ස ජනනායක ගුරුවරයා අදහස් දක්වා තිබේ.
ඔහුගේ ප්‍රකාශය පහත පරිදිය. 



"පන්ති කාමරවල සහ ඉන් පිටතදී බොහෝ දෙනා මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙකු ලෙස මා දරන අදහස කුමක්දැයි විමසන්නට වුනා, සමාජය විසින් මතු කරන ලද තර්ක විතර්ක දෙස බැලීමේදී පෙනී යන්නේ මෙය හුදෙක් ගමනක් පමණක් නොව සමාජ ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක් බවයි. විශේෂයෙන්ම විපතට පත් මිනිසුන්ට පැනඩෝල් පෙත්තක්වත් ලබා නොදී දත්ත කාඩ්පත් දමාගෙන අන්තර්ජාලය තුළ කාලය ගත කරන පිරිස් විසින් එල්ල කරන චෝදනා කෙරෙහි අවධානය යොමු කිරීමේදී, මෙම සිදුවීම පිටුපස ඇති සැබෑ තත්ත්වය වටහා ගැනීම වැදගත්.




මෙහිදී මූලිකවම වටහා ගත යුතු කාරණය වන්නේ මෙය රජයේ මුදල් අවභාවිතා කිරීමක් නොවන බවයි. රාජ්‍ය දේපළ හෝ මහජන මුදල් භාවිතා කරමින් හෙලිකොප්ටර්වලින් ගමන් බිමන් යන දේශපාලඥයන් සිටින රටක, තමන්ගේම පෞද්ගලික ධනය වියදම් කර ගුරුවරයෙකු ලබා ගන්නා සේවාවක් විවේචනය කිරීම සාධාරණ නොවේ. උදාහරණයක් ලෙස යම් අයෙකුට රුපියල් පහක වටිනාකමින් යුත් ඉස්කුරුප්පු ඇණ දෙකක් මිලදී ගැනීමට අවශ්‍ය වූ විට, ඔහු තම V8 වර්ගයේ සුඛෝපභෝගී රථයෙන් ඒ සඳහා යාමට තීරණය කළහොත් එය ඔහුගේ අයිතියකි. ඉන්ධන සඳහා රුපියල් දහසක් වැය වුවද, ත්‍රිරෝද රථයකින් ගොස් රුපියල් තුන්සියයක් වැය කරනවාද යන්න තීරණය කළ යුත්තේ අදාළ පුද්ගලයා මිස සමාජය නොවේ. තම පහසුව සහ කැමැත්ත වෙනුවෙන් තමන් උපයා ගත් මුදල් වැය කිරීමේ නිදහස ඕනෑම පුරවැසියෙකුට තිබිය යුතුය.

මා 1989 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින විට මුතුගල ගුරුතුමා මෙලොවට බිහිවූවා පමණි. ජීව විද්‍යා විෂය ධාරාව තුළ මා ඇති කළ යම් ප්‍රවණතාවයක් සහ මඟ පෙන්වීමක් ඔස්සේ ඉදිරියට පැමිණි ඔහු වැනි නවක ගුරුවරයෙකුට මෙවැනි දියුණුවක් ලැබීම ගැන මා තුළ ඇත්තේ සතුටකි. එසේම ඇතැමුන් පවසන පරිදි මෙය දේශපාලනයට පිවිසීමේ උපාය මාර්ගයක් වුවද එහි වරදක් නැත.


හොර හරක් ජාවාරම්කරුවන්, කුඩු මුදලාලිලා සහ විවිධ නීති විරෝධී ව්‍යාපාර සිදුකළ පුද්ගලයන් පවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් ලෙස කටයුතු කරන රටක, දරුවන්ට උගන්වා සාධාරණව මුදල් උපයන ගුරුවරයෙකු දේශපාලනයට පැමිණීම වැළැක්වීමට හෝ විවේචනය කිරීමට කිසිදු පදනමක් නැත. එය හුදෙක් සමාජයේ මුල් බැසගත් උපන්ගෙයි කුහකකම ප්‍රදර්ශනය කිරීමක් පමණි.

මෙය අලෙවිකරණ උපක්‍රමයක් (Marketing) බවට එල්ල වන චෝදනාව ද පදනම් විරහිතය. මන්ද යත් බැංකු ගිණුම්වල සිට සබන් කැටය දක්වා ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් ජනතාව අතරට ගෙන යාමට අලෙවිකරණය අත්‍යවශ්‍ය වන බැවිනි. පිළිකාකාරක වැනි අහිතකර දේ අලෙවි නොකරන තාක්, තමන්ගේ වෘත්තීය දියුණුව වෙනුවෙන් ප්‍රසිද්ධිය ලබා ගැනීම වරදක් නොවේ. එසේම පන්ති කාමර තුළ ධර්මය දේශනා කිරීම හෝ සමාජ සත්කාරක කටයුතු සිදු කිරීම විවේචනය කරන්නේ පුද්ගලයාට ඇති අකමැත්තකට වඩා, රටේ පවතින යම් මතවාදී බෙදීමක් නිසා බව පෙනී යයි. මා ද ඇතුළුව අප නියෝජනය කරන යම් දේශීය හෝ සංස්කෘතික මතවාදයට විරුද්ධ පිරිසක් මෙම සිදුවීම් හරහා එම චින්තනයට පහර දීමට උත්සාහ කරන බව පැහැදිලිව පෙනෙන කරුණකි."