disaster-and-the-gold-controversy-derana-360-kalindu-nalinda-conversation-full-text
 පසුගියදා සිදුවූ ආපදා තත්වයන්ට අදාළව රජයට එරෙහිව දේශපාලනිකව මතුකර තිබෙන ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ රිය අනතුර ගැන පෙරේදා රාත්‍රී දෙරණ 360 වැඩසටහනින් සාකච්ඡාවක් ඇති විය. නිවේදක කලිඳු හා ඇමති නලින්ද අතර සිදුවූ මෙම සාකච්ඡාව මේවනවිට සමාජ මාධ්‍ය තුළද විවිධ ආන්දෝලනාත්මක විචාරයන්ට ලක්වෙමින් පවතී.
පහත පළවන්නේ එම සාකච්ඡාවේ සම්පූර්ණ ලිඛිත සටහනයි.
------------------
කලිඳු (නිවේදක): ආයුබෝවන්! අදත් දෙරණ 360. අද 360 ආරාධිතයා බවට පත්වන්නේ, අපි පූර්ව ප්‍රචාරක පටවලින් ඔබට දැනුම් දුන් ආකාරයටම, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මයා. ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා. පසුගිය කාලේ ආපදාව සම්බන්ධයෙන් තිබුණු සාකච්ඡාව තුළ බොහෝ දේවල් අපිට කතා කරන්න තියෙනවා. මම මුලින්ම කැමතියි මේ වනවිට ආපදාවට අදාළව, 'පසු ආපදා' (Post-disaster) තත්ත්වයට රට මුහුණ දෙමින් සිටින මොහොතේ අපිට තියෙන තත්ත්වය පිළිබඳව ප්‍රවේශයක් විදියට සාකච්ඡා කරන්න. මේ වනවිට අභියෝගාත්මකම කාර්යභාරය බවට පත්වෙලා තියෙන්නේ මොකක්ද?

වෛද්‍ය නලින්ද ජයතිස්ස (අමාත්‍ය): කලිඳු, ඔබත් හොඳ හැටිම දන්නවා, මේක අපේ රටට බලපාපු අති විශාල, දැවැන්ත ස්වභාවික ආපදාවක්. මම හිතන්නේ මේක වෙනත් ආපදාවක් එක්ක සංසන්දනය කරන්නත් බැහැ. අපි අහලා තියෙන ආපදා තියෙනවා, අපි දැකලා තියෙන ආපදා තියෙනවා. නමුත් මේ හානිය බරපතලයි. ඇත්තටම අපි වගේ ආර්ථික වශයෙන් යම්කිසි ස්ථාවරත්වයකට එමින් තිබුණු රටකට ඒක සැලකිය යුතු මට්ටමක බලපෑමක් කරලා තියෙනවා.

ඉතින් දැන් ආපදාව සිදුවී දවස් දහඅටක් පමණ ගතවන විට, මූලික වශයෙන්ම අර ජනතාවට මුල් අවධියේ තිබුණ ජීවිත බේරාගැනීමේ කටයුතු (Rescue operations) සැලකිය යුතු මට්ටමකට සාර්ථකව, විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් සිදු කළා. ඒකට ජාත්‍යන්තර මුදාගැනීමේ කණ්ඩායම්වල සහායත් ලැබුණා. ඊටපසු අපට තිබුණේ මේ ජනතාවට කඩිනම් සහන සලසන්නටයි. ඒ කටයුතු තවමත් සිදු වෙමින් පවතිනවා. මේ වන විට ආපදා සුරක්ෂිත මධ්‍යස්ථාන 670ක හෝ ඊට ආසන්න ප්‍රමාණයක අසූ දහසක් පමණ තවමත් ඉන්නවා.

පහුගිය දවස්වල මේ ප්‍රමාණය යම් වර්ධනයක් වුණා. ඒකට බලපෑවේ ඊසානදිග මෝසම ආරම්භ වීමත් එක්ක මිලිමීටර් 75-100 ක වර්ෂාපතනයක් ලැබීම සහ සමහර ප්‍රදේශවලට නායයෑම් අවදානමක් තිබීමයි. එන්.බී.ආර්.ඕ (NBRO) ආයතනය රතු නිවේදන නිකුත් කරපු ප්‍රදේශවල ජනතාවට අපි දැනුම් දුන්නා සුරක්ෂිත මධ්‍යස්ථානවලම රැඳෙන්න කියලා. අද හවස නිකුත් වූ දත්තවලට අනුව සුරක්ෂිත මධ්‍යස්ථාන 739ක පුද්ගලයින් හැත්තෑ එක්දාස් හාරසිය පනස් දෙකක් (71,452) පමණ ඉන්නවා.

ඊළඟට දැන් අපිට තියෙන ලොකුම අභියෝගය, විශාල ජනතාවකට සහන ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තිබීමයි. ජනාධිපතිවරයා දෙසැම්බර් 05 වෙනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළේ, දෙසැම්බර් මස දින 25 තුළදී රුපියල් බිලියන 72.2ක් වියදම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා කියලයි. ක්ෂණික සහන කටයුතු සහ යටිතල පහසුකම් නගාසිටුවීම සඳහා ආරම්භයක් ගන්න, ලබන වසරේ රුපියල් බිලියන පන්සීයක් අමතර වශයෙන් රට බලාපොරොත්තු වන පරිපූරක ඇස්තමේන්තුවක් හැටියට වෙන් කරනවා.

දැන් අපිට මුහුණ දෙන බරපතළම අභියෝගයට ඔබ ඇසූ ප්‍රශ්නයට කෙටියෙන් උත්තර දුන්නොත්; මෙන්න මේ කඩා වැටුණු යටිතල පහසුකම් යථාවත් කිරීම සහ මෙතැනින් එහාට මෙවැනි ආපදාවකදී ජීවිත හානි නොවන ආකාරයට හෝ අවම හානි වන ආකාරයට මේ ජනතාව යළි පදිංචි කිරීමයි. ඒ නිසා ඒක ටිකක් සැලකිය යුතු කාලයක් ගතවෙන වැඩක් වේවි.

උදාහරණයක් හැටියට මේ වනවිට පූර්ණ වශයෙන් හානි වූ නිවාස ප්‍රමාණය 6,000ක් පමණ වෙනවා. අපිට දැන් පූර්ණ හානි වෙච්ච අයට නිවාස ලබා දෙන්නත් ඕන. ඒකට රුපියල් ලක්ෂ පනහක් අපි වෙන් කළේ. ඉඩමක් ගන්න තව ලක්ෂ පනහක් එක්ක මුළු මුදල රුපියල් ලක්ෂ සීයක් දක්වා වෙන් කරනවා. තව කොටසක් ඉන්නවා, ඔවුන්ගේ නිවාස මුළුමනින්ම හානි නොවුණට ඒවා පිහිටා තිබෙන්නේ අධි අවදානම් කලාපවලයි. පියවරෙන් පියවර ඒ අයත් අවදානම අඩු ස්ථානවල පදිංචි කරන්න ඕන. එක සැරේ ඒක කරන්න බැරිවේවි. මොකද මේ ආපදාව වෙන්න කලින් NBRO එක හඳුනාගෙන තිබුණා අවදානම් සහිත නිවාස පහළොස් දාහක් (15,000) පමණ. ගිය අවුරුද්දේ සහ 2025 වසරේදී අලුත් නිවාස පන්දාහක් ඉදිකරන්නත්, 2026 වසරේ දී නිවාස තුන්දාහක් ඉදිකරන්නත් අපිට සැලසුමක් තිබුණා. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. මොකද මේ පරණ ස්ථානවලට අමතරව දැන් අලුත් අධි අවදානම් කලාපවල නිවාස ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. ඒවා දැන් ගණනය කරමින් යන නිසා, වසර දෙකක් වගේ කාලයක් තුළදී මේ අධි අවදානම් සහිත ප්‍රදේශවල සිටින සියලුම ජනතාව සුරක්ෂිත තැන්වල පදිංචි කිරීමට බලාපොරොත්තු වෙනවා.




කලිඳු: හොඳයි ඇමතිතුමා, අපි විශේෂයෙන්ම ඔය කොටස් සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ දිනවල සමාජයේ තියෙන කතිකාවත් එක්ක, ආපදා සහන බලාපොරොත්තු වෙන ජනතාවට තියෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට පෙර, මම කැමතියි "පෙර ආපදා තත්ත්වය" (Pre-disaster situation) සම්බන්ධයෙන් සාකච්ඡා කරලා වැඩසටහන තුල ඉදිරියට යන්න. මොකද මේක බොහෝ විට කතාබහට ලක් වෙච්ච මාතෘකාවක් බවට පත් වුණා. මම හිතන්නේ රට තුළ ආපදා තත්ත්වයක් ඇති විය හැකි බවට කාලගුණ සාධක නිරීක්ෂණය කළ බවට, නොවැම්බර් මස දොළොස් (12) වෙනිදා දෙරණේ තිබුණු "Big Focus" සංවාදයේදී අදහස් පළ වුණා කියලා ප්‍රකාශ වීම සම්බන්ධයෙන් ඔබ ඔබේ ස්ථාවරය අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළා. අපි මේකට ප්‍රතිචාර දැක්වූ ආකාරයත්, අපේ අදහස් විකාශය කළ අයුරුත් කැබිනට් මාධ්‍ය හමුවේදී ඔබ ප්‍රකාශ කළා. මම කැමතියි අපිට මෙතන මේ සම්බන්ධයෙන් සංවාදයක් දෙන්නට අවශ්‍ය නිසා, නොවැම්බර් 12 වෙනිදා සැළකිල්ලෙන් සිටිය යුතු අවදානමක් පිළිබඳ පුරෝකථනයක් නොවූ බවට ආණ්ඩුව දරන ස්ථාවරයට හේතු පැහැදිලි කරන්න පුළුවන්ද?

වෛද්‍ය නලින්ද ජයතිස්ස: කලිඳු, මම මුලින්ම කියන්න ඕන, ගිය සතියේ "සියත", "අයිටීඑන්", "රූපවාහිනී" සහ "ස්වර්ණවාහිනී" වැඩසටහන් හතරකට මම සම්බන්ධ වුණා. ඔබ කලින් වේලාව වෙන්කර ගෙන තිබුණේ නැහැ. දෙසැම්බර් පළවෙනිදා ත්‍රිවිධ හමුදාපතිවරු සම්බන්ධ කරා ඔබේ වැඩසටහනට. මම ඒ ගැන පැහැදිලි කිරීමක් කරනවා නම්, අපි රජය පාර්ශවයෙන් සම්බන්ධ කරගන්නට උත්සාහ කළා. ඒ අනුව රජය මේ වෙලාවේ ප්‍රමුඛස්ථානය විදිහට ආපදා කළමනාකරණයේදී සිටින නිසා ඉදිරි දිනයකදී අනිවාර්යෙන්ම සහභාගි වන බවට තමයි මම ප්‍රකාශ කළේ.

දැන් ඒ "Big Focus" වැඩසටහනේ දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යම් කරුණක් සඳහන් කරනවා. ඒක රටම දන්නවනේ. හැබැයි ඒ කරුණ භාවිතා කරන්නේ පස්සේ කාලෙක වෙන දේශපාලන කතන්දර ගොතන්න නම්, ඒක නොකර අපි මේකේ ඇත්ත තේරුම් ගත යුතු වෙනවා. දැන් මම ඔබට පෙන්නන්නම්, නොවැම්බර් පළවෙනිදා ඉඳන් දොළොස් වෙනිදා වෙනකන් ඇත්තටම කාලගුණ දෙපාර්තමේන්තුව පැත්තෙන් හෝ ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තුව පැත්තෙන් වත් මෙවැනි ආකාරයේ කැළඹිලි සහගත තත්ත්වයක් පිළිබඳ පුරෝකථනයක් වෙන්නේ නැහැ.

මම පළවෙනි වතාවට ඉදිරිපත් කරන්නේ, ඔක්තෝබර් 31 වෙනිදා පස්වරු දෙකට ජනපති ලේකම් කාර්යාලයේ පැවැත්වුණු ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තුමිය ඉදිරිපත් කළ කරුණුයි. ඇය කියනවා: "ඔක්තෝම්බර් මස අවසන් සතිය තුළ පීඩන අවපාතයක් හේතුවෙන් වර්ෂාවේ වැඩි වීමක් නිරීක්ෂණය වුවද, සමස්ත අපේක්ෂිත වර්ෂාපතනයට සාපේක්ෂව එය අඩු බවත්, ඉන්දියානු සාගරය ආශ්‍රිතව පවතින වායුගෝලීය තත්වයන් වෙනස් වීම හේතුවෙන් දෙසැම්බර් මාසය වනතෙක් වර්ෂාපතනය අඩු තත්ත්වයක් නිරීක්ෂණය වන බවත්, එසේ වුවත් ඉන්දියානු සාගර අවපීඩන තත්වයන් වර්ධනය මත වැසි වර්ධනයක් ඇතිවිය හැකි බවත් නිරීක්ෂණය කරනවා" කියලා.

එතකොට මේ දොළොස්වනදා දක්වා කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත් කරපු සියලුම නිවේදන ඇතුළේ කිසිම ආකාරයකට එවැනි බරපතල පුරෝකථනයක් නැත. අපි දැක්කා අවවාදාත්මක නිවේදන (Advisory notes) ඇවිත් තියෙනවා, ප්‍රබල අකුණු නිවේදන ගැන මිසක් මේ ගැන නොවේ.




කලිඳු: ඔබ කියන්නේ පලවෙන්නේ නැතුව සිද්ධ වෙන විසඳුමක් නැති කොට, ඒ පරිච්ඡේදය (Chapter) පැහැදිලියි, ප්‍රශ්නයක් නෑ. නමුත් සාමාන්‍යයෙන් කරන්නේ බුද්ධි තොරතුරෙන් එවැනි අනාවැකි අත්දැකීම් අනුව දොළොස් වෙනිදා ඉඳලා ගත්තු කාලය ගැන විශේෂයෙන් කිව්වේ, කෙනෙකුට තර්ක කරන්න පුලුවන් දොළොස් වැනි දා හෝ 13 දා එහෙම එකක් කියනකොට ඊට කලින් දවස්වල ඔවුන් තුළ එවැනි තත්ත්වයක් පිළිබඳ දත්ත තිබුණාද? ඒකට අවශ්‍ය කරන පෙර සලකුණු සංඥා තිබුණාද කියලා?

වෛද්‍ය නලින්ද ජයතිස්ස: මෙතන එහෙම එකක් නෑ. ඉස්සෙල්ලම මේ වායුගෝලයේ කැළඹිලි සහගත ස්වභාවයක් පිළිබඳව කාලගුණ දෙපාර්තමේන්තුව පැත්තෙන් වාර්තා වෙන්නේ නොවැම්බර් 13 හවස දෙකට. ඒ වාර්තාවේ තියෙනවා: "දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය වර්ධනය වෙමින් පවතී." නොවැම්බර් මාසය වෙනකොට ඉන්දියානු සාගරයේ සාමාන්‍යයෙන් මෙවැනි කැළඹිලි සහගත ස්වභාවයන් දකින්න හම්බෙනවා. 2024 නොවැම්බර් මාසයේ විතරක් රතු නිවේදන 21ක් නිකුත් කරලා තිබුණා.

ඊළඟට මේ කැළඹිලි සහගත තත්ත්වය නිරීක්ෂණය කරමින් යනවා. ඒකෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් වෙන්නට පුළුවන්. ඊලඟට මේ කැළඹිලි සහගත තත්ත්වය 'අඩු පීඩන කලාපයක්' (Low Pressure Area) හැටියට වර්ධනය විය හැකි යයි පුරෝකථනය කරනවා. 15 වෙනිදා හවස 4ට තමයි කියන්නේ මේක අඩු පීඩන කලාපයක් වෙනවා කියලා.

දැන් මොකක් හරි එකක් නිරීක්ෂණය කළා නම් දොළොස් වෙනිදා හෝ දහතුන්වැනිදා, ඇත්තටම 18 වෙනිදා වෙනකොට ඒක අපේ කලාපයෙන් බැහැරව යනවා. 18 වෙනිදා හවස දෙකට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා: "දිවයින ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. ඒ හේතුවෙන් නොවැම්බර් 19, 20 දිනවල දිවයිනේ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු වේ."

එතකොට මේ දවස් වල වැසි තත්ත්වයේ වර්ධනයක් උනාම ගාල්ල, මාතර, කළුතර, බුලත්සිංහල වගේ පැතිවලින් වාර්තා වුණා. මේකට හේතු වෙන්නේ මේ පහළ වායුගෝලයේ ඇති වූ පළමු කැළඹිලි සහගත ස්වභාවයයි. ඒක 18 වෙනිදා ඉවත්වෙලා යනවා. මේක නොවැම්බර් මාසය තුළ ඇති වෙච්ච පළවෙනි පද්ධතිය (System 1).

දෙවැනි පද්ධතිය ගැන කියනවා නම්, ඒක එන්නේ ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතින බවට නොවැම්බර් 18 වෙනිදා රෑ අටට කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි කියනවා.

මේකත් එක්ක 20 වෙනිදා විතර කියනවා බස්නාහිර, සබරගමුව, ගාල්ල, මාතර, නුවරඑළිය ප්‍රදේශවල මිලි මීටර 50ක් 75ක් විතර වර්ෂාපතනයක් ඒවි කියලා. 21 වෙනිදා ආහාර සුරක්ෂිතතා කමිටුවට කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගල්කන්දේ මහතා කරන පුරෝකථනය බලන්න. "නොවැම්බර් 21 පවතින වර්ෂාපතනයේ වැඩි වීමට හේතුව වායු ගෝලීය අවපීඩන තත්ත්වයක් බවත්, නොවැම්බර් මස අවසාන වන විට උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ද වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවත්, එසේ වුවද දෙසැම්බර් මාසයේ අපේක්ෂිත වර්ෂාපතනය සාපේක්ෂව අඩු විය හැකි බවත්" ඔහු කියනවා. දිගටම ඔබට පේනවා ඇති දෙසැම්බර් මාසයේ වර්ෂාපතනයේ අඩුවීමක් පිළිබඳව තමයි දෙපාර්තමේන්තුව කියන්නේ. "සමස්තයක් ලෙස මහ කන්නයේ වර්ෂාව අඩු බැවින් ජල කළමනාකරණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බව" අධ්‍යක්ෂ ජනරාල් විසින් දන්වනවා.



කලිඳු, මේ 18, 19, 20 විතර නිරීක්ෂණය කරන කැළඹිලි සහගත තත්ත්වය පිළිබඳව 22න් පස්සේදී අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂයෙන් කියන්නේ, ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින මේ තත්ත්වය වෙනස් වීම ගැනයි. මේක තමයි ඇත්තටම එතනින් එහාට සුමාත්‍රා පැත්තට ගිහිල්ලා 'ෆෙන්ගල්' (Fengal) සුළි කුණාටුව බවට පත්වෙන්නේ. 22 විතර අඩු පීඩන කලාපයක් ඇවිල්ලා, 25 පීඩන අවපාතයක් ඇවිල්ලා, 26 වෙනකොට ෆෙන්ගල් සුළි කුණාටුව බවට පත්වෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේකෙදි අනතුරු ඇඟවීම් (Alerts) නිකුත් කරේම ධීවරයන්ට සහ නාවික ක්ෂේත්‍රයේ අයටයි. ඇයි? ඒක ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇවිල්ලා ඒ පැත්තට තමයි යන්නේ. එතකොට අපි මේකෙන් බේරගන්න ඕන කම තියෙන්නේ ගොඩබිමින් නොයා ඉන්න අය නෙවෙයි, මුහුදේ ඉන්න ධීවර සහ නාවික කටයුතු කරන අයයි. එයාලට හරියට පණිවුඩය දුන්නා. ඒක නිසා අපිට පුළුවන්කම ලැබුණා ජීවිත හානියක් නැතුව ධීවරයන්ගේ බෝට්ටු බේරගන්න.

26 වෙනිදා ඔබේ නාළිකාවේම මම දැක්කා ප්‍රවෘත්තිවල නිවේදිකාව කියනවා "දැන් ඒක අපේ දිවයිනෙන් බැහැරව ගියා" කියලා. ඒ කියන්නේ ෆෙන්ගල් සුළි කුණාටුවේ බලපෑම ඉවරයි.

එතකොට මේ පැටලෙන්න හදන්නේ දොළහත් කිව්වා, දහයටත් කිව්වා, විස්සත් කිව්වා කියලා නෙවෙයි. මේක පද්ධති දෙකක්. තුන්වැනි පද්ධතිය තමයි ඇත්තටම අපිට 'ද්විත්ව' (Double) බලපෑමක් හැටියට බලපෑවේ. මේක නිරීක්ෂණය කරමින් ඉඳලා 25 උදේ පහමාරට පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය පිළිබඳව නිවේදනය කරනවා. 25 හවස් වෙනකොට අඩුපීඩන කලාපයක් බවට පත්වෙනවා. 27 උදේ ඉඳලා පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතය දක්වා වර්ධනය වෙලා රෑ වෙනකොට සුළි කුණාටුවක් බවට පත්වුණා.

මේ සුළි කුණාටුවේ විශේෂත්වයන් කිහිපයක්ම පවතිනවා. එකක් තමයි මේ සුළි කුණාටුව පැය දොළහක් තුළ දී වේගයෙන් වර්ධනය වුණා. දෙක, මේක පැයට කිලෝමීටර් අටක දහයක විතර ඉතාම මන්දගාමීව රට තුළ සංචාරය කළා. කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය වගේම, ඕස්ට්‍රේලියාවේ සහ තවත් රටවල ඉන්න ශ්‍රී ලාංකික ප්‍රවීණයනුත් මේ සමාන මතයක් කියලා තිබුණා. විශේෂයෙන්ම ගමන් මාර්ගය වෙනස් වීම. මුලින් පුරෝකථනය කරේ මේක නැගෙනහිර වෙරළ දිගේ තමිල්නාඩු පැත්තට ගමන් කරයි කියලා. නමුත් මේක යම් මොහොතකදී රට තුළට ආවා. රට තුළට ඇවිත් ඉතාම මන්දගාමීව පැය හතළිස් අටකට වැඩි කාලයක් මේක රට තුළ රැඳිලා තිබුණා. මේක තමයි ඇත්තටම අපිට බලපෑවේ.

NBRO එකේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර සිටියේ සැටලයිට් ඉමේජ්වලින් අඳුරගන්න පුළුවන් නායයෑම් පමණක් 1,300 කට ආසන්න ප්‍රමාණයක් වෙලා තියෙනවා කියලා. අපි අහලා නෑ කවදාවත් එහෙම නාය යෑම් ප්‍රමාණයක්.

කලිඳු: ඇමතිතුමා, මම හිතන්නේ ඔබතුමා මේක කරුණු සහිතව පැහැදිලි කරා. හැබැයි දැන් මේ දොළොස් වෙනිදා කියන කතාන්දරය කියද්දී, විශේෂයෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දොළොස් වැනිදා සංවාදයට එන්නේ ඒ සංවාදයේදී ඉදිරි සති දෙකේ කාලගුණ ප්‍රවණතාවයන් පිළිබඳව ම නිශ්චිතව යොමු කරපු ප්‍රශ්නයට එතුමා දීපු පිළිතුර පොඩ්ඩක් බලලා ආයෙත් අපි සංවාදයට යොමු වෙමු.

(වීඩියෝව පෙන්වයි: අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මෝසම් කාලය නිසා වර්ෂාව අඩුවිය හැකි බවත්, නමුත් අඩුපීඩන කලාප වර්ධනය වීමේ සම්භාවිතාවක් ඇති බවත්, එය ඕනෑම වෙලාවක වෙනස් විය හැකි බවත්ය.)

කලිඳු: ඇමතිතුමා, ඔබ සඳහන් කරන ආකාරයට දොළොස් වෙනිදා යම් කෙනෙක් නිරීක්ෂණය කරපු ස්වභාවය 18 වැනිදා දිවයිනෙන් ගියා කියලා කිව්වත්, එතුමා කරන ඒ අනතුරු ඇඟවීම 18 වෙනිදා යාම තුළ අහෝසි නොවනවා නේද? එතුමා කියනවා මේ කාලසීමාව තුළ සයික්ලෝන් (Cyclone) ඇති වීමේ සම්භාවිතාව ඉහළ මට්ටමක තියෙනවා කියලා. එහෙම ගත්තාම, දොළොස් වෙනිදා කියපු අනතුරු ඇඟවීම වලංගු නෑ කියන ස්ථාවරයේ ඔබට ඉන්න පුළුවන්ද?

වෛද්‍ය නලින්ද ජයතිස්ස: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉන්නෙම අනාවැකි කියන්නනේ. ඒ විද්‍යාත්මක දැනුම මත පදනම්ව ඔවුන් ඉදිරිපත් කළාම, රජය ඒ සම්බන්ධයෙන් තීන්දු ගන්නවා. නමුත් දෙසැම්බර් තුන් වැනිදා මම පාර්ලිමේන්තුවේ කතාවක් කරනකොට කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය මේ ගැන මුකුත් කියලා තිබුණේ නෑ. හැබැයි අද වෙනකොට ප්‍රබල විද්යාත්මකව මේ ගැන හදාරපු අයම කියනවා නම් ඇත්තටම මේක තමයි අපිට ඉදිරිපත් කරන්න පුළුවන් දේ, සහ මෙච්චර කාලෙකට පෙර මෙවැනි ආකාරයේ පුරෝකථන කරන්න බැහැ කියලා, ඒක පිළිගන්න වෙනවා.

කාලගුණ විද්‍යාඥ සංගමය කියනවා: "IMD (ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තුව) විසින් නොවැම්බර් 13 හෝ ඒ ආසන්න දිනකදී 'ද්විත්ව' සුළි කුණාටුවේ මූලික අවස්ථාව ගැන කිසිදු දැනුම්දීමක් සිදු නොකළ බව අවධාරණය කරමු. මෙය සම්පූර්ණ අසත්‍යයක් වෙයි." ද්විත්ව සුළි කුණාටුවේ මූලික අවස්ථාව ගැන ඔවුන් කියන්නේ, "සති දෙකකට පමණ පෙර එවැනි නිශ්චිත අනාවැකි පළ කළ හැකි කිසිදු ක්‍රමවේදයක් ලෝකයේ මේ වන තෙක් සොයා ගෙන නැත" කියලයි.

අපිට මේ කාලගුණ දෙපාර්තමේන්තුවේ විශ්වාසනීයත්වය වැදගත්. අනාගතයේදී ජනතාව මේ දෙපාර්තමේන්තුව හෝ විද්‍යාඥයන් කියන දේ විශ්වාස නොකළොත් අපිට මේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගන්න බැරි වෙනවා.

කලිඳු: ඇමතිතුමා, මගේ ප්‍රශ්නය වෙන්නේ, මේක සමහරවිට උච්ඡතම අවස්ථාවට නොයා ඉන්නට තිබුනා. හැබැයි නිලධාරීන්ට 23 වෙද්දී තිබුණා අවස්ථාවක් මෙය උච්ඡතම ස්ථානයට ගියොත් කියන උපකල්පනය මත පෙර සූදානම සඳහා පියවර ගන්න. මම අහන්නේ දේශපාලන යාන්ත්‍රණය මැදිහත් වෙලා තීන්දු තීරණ ගත යුතුව තිබුණේ නැද්ද?

වෛද්‍ය නලින්ද ජයතිස්ස: මේ නිකුත් කරන ලද නිවේදනවල තත්ත්වයට සාපේක්ෂව තමයි රජයේ ආයතන ඒ තීන්දු ගත්තේ. 24 වෙනිදා වෙනකොට සියලු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවල හිටපු නිලධාරීන්ට දැනුම් දීම කරලා තිබුණා. 24 වෙනකොට ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ ආරක්ෂක අංශවලට දැනුවත් කර තිබුණා. නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, පොලීසිය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට දැනුම්දීලා තිබුණා. 26 වැනිදා උදේ අටට තමයි පළවෙනි රතු නිවේදනය එන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ නායයාම් සම්බන්ධයෙන්.

මම හොයලා බැලුවා, පොලීසියට ලැබුණු පණිවිඩය අනුව ඒ පොලිසිය තමන්ගේ දැනුවත් කිරීම් 24, 25 දිනවල බොහෝ ස්ථානවල කරලා තියෙනවා. ලවුඩ්ස්පීකර් මගින් ජනතාව දැනුවත් කරලා තියෙනවා.

කලිඳු: ඇමතිතුමා, මම තවත් ප්‍රශ්නයක් අහන්නම්. ඔබතුමා සඳහන් කරන "ඉන්දියන් එක්ස්ප්‍රස්" පුවත්පතේ වාර්තාව ගැන...

වෛද්‍ය නලින්ද ජයතිස්ස: ඔව්. මම නං සාමාන්‍යයෙන් අපේ කලාපයේ ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තුව (IMD) ගැන බලනවා. සමහරු කියනවා IMD කලින් කිව්වා කියලා. ඒක බොරු. ඉන්ඩියන් එක්ස්ප්‍රස් එකේ පලවෙච්ච වාර්තාවක් තමයි හැමෝම උපුටා ගන්නේ.

මම ඔබට පෙන්නන්නම්. මේ තියෙන්නේ නොවැම්බර් 12, 13, 14, 15 දිනවල IMD වාර්තා. මේ දවස් හතක් දක්වා ඉදිරි අනාවැකිවල (Probability of Cyclogenesis) සියල්ල 'Nil' (ශුන්‍යයි) කියලා තියෙන්නේ. ඔය 18 වෙනකම් කිව්වා කියන ඒවා බොරු. 20 වෙනිදා තමයි ඔවුන් කියන්නේ "Moderate probability" (මධ්‍යස්ථ සම්භාවිතාවක්) තියෙනවා කියලා. මේ කියන්නේ 'ෆෙන්ගල්' ගැන. ඉන්දියානු ආයතන දිගටම වාර්තා කරන්නේ ෆෙන්ගල් සුළි කුණාටුව ගැනයි. "Deep Depression over South West Bay of Bengal" කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ.

අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට වඩා හාත්පසින් වෙනස් එකක් මෙතන ඉදිරිපත් කරන්නේ නැහැ. අනෙක් අතට මේ අය ඉදිරිපත් කළ දත්ත පැය දෙකහමාරක තුනකට පස්සේ අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ලැබෙනවා. ඒක නිසා ඉන්දියාවෙන් කලින් කිව්වා කියන එකත් වැරදියි. ඉන්දියන් එක්ස්ප්‍රස් එකේ තියෙන වාර්තාව ගැන තහවුරු කරගන්න අපි ඉන්දීය රජයෙන් විමසීමක් කළා. මොකද මේ කාලගුණ වාර්තාවේ වත් එහෙම නෑ. අපි අපේ විදේශ අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය හරහා ඉන්දියානු තානාපති කාර්යාලයෙන් මේ වාර්තා පිළිබඳව විමසුවා. IMD එක කියපු නැති දෙයක් විකෘති කරලා තමයි ඉන්ඩියන් එක්ස්ප්‍රස් එකේ දාලා තියෙන්නේ.

(කෙටි විරාමයකින් පසු)

කලිඳු: සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මයා එක්ක අද අපි 360 වැඩසටහනේ රැඳී සිටින්නේ. ඇමතිතුමා, ඔබතුමා කතා කරා "ස්ටේක් හෝල්ඩර් මීටින්ග්" (Stakeholder Meetings - පාර්ශ්වකරුවන්ගේ රැස්වීම්) ගැන. මම කිව්වා වගේ 17, 20, 24 වැනි දිනවල අභ්‍යන්තර සාකච්ඡා වෙලා තියෙනවා. අපි නොදන්න දේ තමයි මේ සාකච්ඡාවල මොනවද සන්නිවේදනය වුණේ කියලා. මේවා "සූම්" (Zoom) තාක්ෂණය ඔස්සේ නම් වුණේ, රෙකෝඩින්ස් (Recordings) ඇති. ඉදිරියේදී මේවා එළියට එනවා නම්, අපි හැමෝටම තියෙන ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලබා ගන්න පුළුවන්.

හැබැයි දැන් විසිතුන් වැනිදා වෙද්දී, කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමයේ නිවේදනයට අනුවත්, ඔවුන් අවපීඩන කලාපයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය කරනවා. එදා ඉඳන් 27, 28 වැනිදා ලෑන්ඩ් ෆෝල් (Landfall) එක වෙනකම් දින පහක කාලසීමාවක් තියෙනවා මේක ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට යන්න.

ඇමතිතුමා, 23 වෙනිදා මේක නිරීක්ෂණය කරන්නේ සාමාන්‍ය තත්ත්වයකට නෙවෙයි. ඔබතුමා කියන වගේ ඒ වෙද්දිත් රටේ ආපදා තිබුණා, ජල ගැලීම් තිබුණා, මරණ වාර්තා වෙමින් තිබුණා. එතකොට විසිතුන්වැනිදා මෙවැනි අවපීඩන කලාපයක් ඇති වන බවට වන සාකච්ඡාව ඇතිවෙලා, 24 වෙනිදා ස්ටේක් හෝල්ඩර් මීටින් එකකුත් අරගෙන මේ සම්බන්ධයෙන් සියලුම රාජ්‍ය ආයතන දැනුවත් කළාට පස්සේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට (DMC) වගකීමක් තියෙනවා නේද ජනාධිපතිවරයාව දැනුවත් කරන්න?

මෙවැනි තත්ත්වයක් උච්චතම ස්ථානයට ගියොත්, සුළි කුණාටුවක් බවට පත් විය හැකි තත්ත්වයක් පිළිබඳව මේ ආයතන සියල්ල බාර ජනාධිපතිවරයා හෝ විෂය භාර අමාත්‍යවරයා විදියට ජනාධිපතිවරයා දැනුවත් කරන්න තිබුණා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ආරක්ෂක ලේකම්වරයා හරහා හෝ යම්කිසි ආකාරයකින් ජනාධිපතිවරයාට දැනුවත් කිරීමක් කරලා තියෙනවද? "පෙර එකක් ඇතිවුණා, ඒක ප්‍රශ්නයක් නැතුව ගියා. ඊට පස්සේ ෆෙන්ගල් (Fengal) ඇති වීම සඳහා වන තත්ත්වයත් නිරීක්ෂණය කළා. දැන් තව එකක් මතු වෙලා තියෙනවා. මේ සුලබව සුළි කුණාටු තත්ත්වයක අවදානම මතු වෙමින් තියෙනවා. ඒ නිසා ප්‍රධානීන් ගෙනල්ලා මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරන්න ඕන" කියලා කිව්වෙ නැද්ද?

වෛද්‍ය නලින්ද ජයතිස්ස: ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තීන්දු ගන්නේ මේ තිබෙන අනාවැකිවල මට්ටම අනුවයි. නිවේදනයක් ආවට පස්සේ තමයි ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ.

කලිඳු: නමුත් නිවේදනයක් එනකම්ම ඉන්නවා නම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් මොකටද? මේ වෙද්දිත් ආපදා තියෙන තත්ත්වයක් තුළ, ජනතාව දහ දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වෙලා හිටියා. එක ජීවිතයක් වුණත් වැදගත්නේ. එතකොට මේ අවපීඩන කලාපයක් සම්බන්ධයෙන් එන්නේ එහි පළමු අවධියයි. ඒක අවසානයට ගියොත් සුළි කුණාටුවක් වෙන්න පුළුවන්. ඇතිවිය හැකි තත්ත්වයක් ඇති නොවුණොත් රැස්වීම අපතේ යන්නේ නෑ. හැබැයි ඇති වුණොත් ගන්න පුළුවන් පියවර ගණනාවක් තිබෙනවා. මේ සියල්ල භාරව ඉන්න ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඒ විදිහට දැනුවත් කිරීමක් කරලා තියෙනවද නැද්ද?

වෛද්‍ය නලින්ද ජයතිස්ස: නෑ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හෝ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂිත දැනුවත් කිරීමක් ජනාධිපතිවරයාට කරලා නැහැ. හැමෝම කියන්නේ ඒගොල්ලන්ට සාධාරණ හේතුවක් තියෙන්නේ, ඒ අය මේ තියෙන ගංවතුර තත්ත්වය සහ වැසි තත්ත්වයේ වැඩි වීම පිළිබඳව නිරීක්ෂණය කරමින් හිටිය බවයි.

දැන් ඔබ කියන 23 වෙනිදා උදේ 5.30ටත් කියන්නේ "දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ බලාපොරොත්තු වේ" කියලයි. හැබැයි අවපීඩන කලාපයක් වර්ධනය වන බවට හඳුනාගෙන ඇති බව කියන්නේ 23 හවස හතරට නිකුත් කළ බහුදින ධීවර යාත්‍රා සඳහා වන නිවේදනයේයි. 24 හවස පහයි තිහට තමයි කියන්නේ "දිවයින ආශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි සහගත තත්ත්වය 25 වෙනිදා අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතී" කියලා.

කලිඳු: දැන් කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය කියන විදිහට, 23 වැනිදා ඔවුන්ගේ අනාවැකියේදී ඔවුන් මෙවැනි අවපීඩන කලාපයක් ඇති වීමේ අවදානම පෙන්වනවා. එතකොට ඒ වෙද්දිත් ඇතිවෙලා තිබුණු එකක් ඉන්දුනීසියාව දෙසට ගමන් කරමින් සිට සුමාත්‍රා විතර ගිහිල්ලා, 25 වෙනිදා වෙද්දී විශාල විනාශයක් වෙනවා. මගේ ප්‍රශ්නයට පදනම් වෙන්නේ මේකයි; සමහරවිට උච්ඡතම ස්ථානයට නොයා ඉන්නට තිබුනා. හැබැයි නිලධාරීන්ට 23 වෙද්දී තිබුණා අවස්ථාවක් මෙය උච්ඡතම ස්ථානයට ගියොත් කියන උපකල්පනය මත පෙර සූදානම සඳහා පියවර ගන්න. මම අහන්නේ දේශපාලන යාන්ත්‍රණයේ මැදිහත්වීම ලබා ගැනීම සඳහා, නිසි උපදෙස් ලබාගැනීම සඳහා ඒ දැනුවත් කිරීම කරලා නෑ කියන ස්ථාවරයද ඔබතුමා ගන්නේ?

වෛද්‍ය නලින්ද ජයතිස්ස: එතකොටත් ගංවතුර ඇවිල්ලා තිබුණානේ එක පැත්තකට. ඒ නිසා 24 වැනිදා වෙද්දී යම් කැළඹිලි සහගත තත්ත්වයක් පිළිබඳව නිරීක්ෂණය කළා වගේම, ගංවතුර තත්ත්වය සහ වැසි තත්ත්වයේ වර්ධනයක් තිබුණා. 24 වෙනකොට ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ හමුදා සම්බන්ධ නිලධාරීන්ට ආරක්ෂක අමාත්‍යාංශය හරහා මේ තත්ත්වයට මුහුණ දෙන්නට දැනුවත් කර තිබුණා. නාවික හමුදාව සූදානම් කර තිබුණා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, පොලීසිය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව කියන ආයතනවලටත් දැනුම්දීලා තිබුණා.

NBRO එක 22 වෙනකොට ඒගොල්ලන්ගේ ඇලට් (Alert) එක කහ පාට මට්ටමේ තිබුණේ. "විමසිලිමත් වෙන්න" කියන එකයි එයින් අදහස් වෙන්නේ. දිස්ත්‍රික්ක 6කට නිකුත් කර තිබූ ඒ නිවේදනය රතු නිවේදනයක් වෙලා තිබුණේ නෑ 24 වෙද්දී. 26 වැනිදා උදේ අටට තමයි පළවෙනි රතු නිවේදනය එන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ නායයාම් සම්බන්ධයෙන්. එතකොට කහ පාට නිවේදනයක් කියන්නේ "විමසිලිමත් වෙන්න, තව පණිවිඩයක් ආවොත් සූදානම් වෙන්න" කියන එකයි. රතු එකක් ආවොත් තමයි ඉවත් වෙන්න කියන්නේ.

මම හොයලා බැලුවා, පොලීසියට ලැබුණු පණිවිඩය අනුව ඒ පොලිසිය තමන්ගේ දැනුවත් කිරීම් 24, 25 දිනවල බොහෝ ස්ථානවල කරලා තියෙනවා. ලවුඩ්ස්පීකර් මගින් ජනතාව දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම අපේ යුද හමුදා භට කණ්ඩායම් ස්ථානගත කර තිබුණා. බෝට්ටු සූදානම් කර තිබුණා.

වර්ෂාපතනයේ වර්ධනය ගැන බලනකොට මිලිමීටර් 75, 100, 150 ට සාපේක්ෂව තමයි මේ කටයුතු සිදු වෙන්නේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැත්තෙන් ජලාශ වාන් දමමින් තිබෙන බවට ඉංජිනේරුවන්ට විශේෂයෙන් දැනුම් දීලා තිබුණා. නිර්දේශ ලබා දීලා තිබුණා. සාමාන්‍යයෙන් ගත්තොත් 26 වගේ වෙද්දී ජලාශ පනස් එකක් වාන් දමමින් තිබුණා.

කලිඳු: ඇමතිතුමා, මට තියෙන ප්‍රශ්නය මේකයි. දැන් මෙතැනදී නිලධාරී යාන්ත්‍රණය තුළ මේ තියෙන ආපදා යාන්ත්‍රණය තුළ ඔවුන් වැඩ කරනවා. ඒක පැහැදිලියි. හැබැයි මේ සඳහා ඍජු දේශපාලන යාන්ත්‍රණයේ මඟපෙන්වීමක් 27 වැනිදා උදෑසන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ රැස්වීමක් ගන්නා අවස්ථාව වන තෙක්, රැස්වීමකට ඔවුන්ව කැඳවලා උපදෙස් ලබාදීමක් හෝ දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු සියලු දෙනා දේශපාලන යාන්ත්‍රණයක් විදියට ආමන්ත්‍රණය කිරීමක් අපිට පේන්න නෑ. 27 උදේ පාර්ලිමේන්තුවේ රැස්වීම ගනිද්දී ජනාධිපතිතුමා දැනගන්නවා තිස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා කියලා.

මේ ගැන කොතන හරි තැනක, පොලිසිය ගමට බැහැලා නිවේදන නිකුත් කිරීමේ තැන ඉඳලා, රාජ්‍ය යාන්ත්‍රණය සූදානමින් ඉඳලා මැදිහත් වී ඇතැයි අපි දකිනවා. නමුත් පෙර ආපදා තත්ත්වයකදී ඒ දේශපාලන යාන්ත්‍රණයේ මගපෙන්වීම ලැබුණේ නම්, සහ විශේෂයෙන්ම නෛතික වශයෙන් කරන්න තිබුණ දේවල් (නිලධාරීන්ට බැරි, ජනාධිපතිවරයාට පුළුවන් දේවල්) කරන්න තිබුණා නේද? ඒ පණිවිඩය උඩට ගිහිල්ලා ඒ විදිහට ක්‍රියාත්මක වුණා නම්, වැඩි බරක් තියලා නිලධාරීන්ට මේ සඳහා උපදෙස් දෙන්න පුළුවන් වුණේ නෑ කියලද ඔබ කියන්නේ?

වෛද්‍ය නලින්ද ජයතිස්ස: මේ පළකරපු අනාවැකිවලට සාපේක්ෂව ඒ රාජ්‍ය නිලධාරීන් තමන්ගේ කටයුතු කළා. උදාහරණයක් හැටියට 25 වෙනිදා ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් කියලා වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියනවා. දිගටම වැහැලා අපේ ජලාශ ගණනාවක් ඉතාම ඉහළ මට්ටමට ඇවිල්ලා වාන් දමමින් තිබුණා. අනිත් පැත්තෙන් එදා හවස වෙද්දී රතු නිවේදන නිකුත් කරනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

මම කියන්නේ, දේශපාලනය තියෙන්නේ රටේ ජනතාව පත් කරපු නායකයෙක් විදියට නිලධාරීන්ට අවශ්‍ය කරන මඟපෙන්වීම දෙන්නයි. ඒ තිබුණු තත්ත්වයට සාපේක්ෂව ඒ රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රිය කරා. ඔබතුමා හිතනවා 27 වැනිදාට කලින් ජනාධිපතිතුමා නිලධාරීන් එක්ක ඉඳගන්න කිසිම උවමනාවක් තිබ්බෙ නෑ කියලා. කලිඳු, මේ නැති වෙච්ච ජීවිත යළි ගන්න පුළුවන් නම් හොඳයි.

මේ කාලගුණ විද්‍යාඥයින්ගේ අවබෝධය, මේ සුළි කුණාටුවේ ගමන් මාර්ගය වෙනස් වීම, වර්ෂාපතනය යනාදී සියලු දේවල් ගැන මේ දැන් කියන දේවල් එක්ක බැලුවාම, මීට වඩා හොඳ යාන්ත්‍රණයක් සක්‍රිය කරලා මේ හැමදෙනාම නාය යන ප්‍රදේශවලින් ඉවත් කරලා හැම ජීවිතයක්ම බේරගන්න පුළුවන් කම තිබුනා නම් හොඳයි. ඒක තමයි අපේ කැමැත්ත. නමුත් මේ වැටිච්ච වර්ෂාපතන ප්‍රමාණයට සහ එක පැත්තකින් නිවේදන නිකුත් කරලත් බොහෝ තැන්වල ජනතාව ඉවත් නොවීමේ ප්‍රතිඵලයක් හැටියට මේ හානිය සිදුවුණා. කවුරුත් හිතුවේ නෑ ගංවතුර මෙච්චර එයි කියලා, නායයෑම් මෙච්චර වෙයි කියලා. සමහර තැන්වල කිලෝමීටර් පහක් දක්වා ඈතට නාය ගිහිල්ලා තිබුණා.

මෙන්න මේ සියලු කරුණු විසිනුයි මීට වඩා ශක්තිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බව අපට පෙන්වා දෙන්නේ. අපි දැන් කල්පනා කරන්න ඕන මේ පශ්චාත් ආපදා තත්ත්වය (Post-disaster situation) ඇතුළතදී, අපේ පූර්ව අනතුරු ඇඟවීම් ක්‍රියාවලිය මීට වඩා ශක්තිමත් කරන්නේ කොහොමද කියලා.

කලිඳු: තව පොඩි කාරණා දෙකක් මට පැහැදිලි කරගන්න ඕන. ඔබතුමා වගේම ආනන්ද විජේපාල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කිව්වා, 25 වෙනිදා උදේ 10 වෙද්දී නිල අනතුරු ඇඟවීමක් ලැබුණාම ඔවුන් ලවුඩ්ස්පීකර් හරහා එය යොදාගෙන බොහෝ ස්ථානවලින් ජනතාව ඉවත් කරන්නට පටන් ගත්තා කියලා.

එතකොට 26 වෙනිදා ඇමතිතුමා, මම ගිහිල්ලා බැලුවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් නිකුත් කරලා තියෙන නිල වාර්තාව. 25 ඉවත් කරන්න පටන් ගත්තේ නම්, 26 වැනිදා වාර්තාවට අනුව යාපනය දිස්ත්‍රික්කයේ තියෙන්නෙ එක සුරක්ෂිත මධ්‍යස්ථානයයි. කළුතර දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථානයක් නෑ. ගම්පහ, ගාල්ල, හම්බන්තොට, මාතර, බදුල්ල... මේ කිසිම තැනක 26 වැනිදා උදෑසන වෙද්දි සුරක්ෂිත මධ්‍යස්ථාන නෑ. රත්නපුරේ තියෙන්නේ දෙකයි. නුවරඑළියේ එකයි.

මට ආපු ප්‍රශ්නේ තමයි, "ඉවත් වෙන්න" (Evacuate) කියලා කියනවා නම්, මේ ජනතාවට යන්න අවශ්‍ය කරන තැන් 25 වෙනිදා වෙද්දී යාන්ත්‍රණය තුළ හැදිලා තිබුණද? තාවකාලික වැසිකිළි පහසුකම් එක්ක, ආහාර පහසුකම් එක්ක සියලු මුදල් යොමු කරලා සුරක්ෂිත මධ්‍යස්ථාන ඉදි වෙලා තිබුණාද? මේ වාර්තාවට අනුව බදුල්ලේ පවා තිබිලත් නෑ.

වෛද්‍ය නලින්ද ජයතිස්ස: මම කියන්නම්. ගොඩක් අය 25 වෙනිදා තමයි මේ පණිවුඩය යවන්නේ. දැන් ඔය ගම්පොළ, මාතලේ, මහනුවර පවා මේ පණිවිඩය පොලීසිය හරහා පුළුවන් ප්‍රමාණයට දැනුවත් කරලා තියෙනවා. මාතලේ රත්තොට, කන්දෙනුවර, යටවත්ත, මහවෙල, නාවුල යන පොලිස් වසම් තුළ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජනතාව දැනුවත් කරලා තියෙනවා.

දැන් මෙතැන වෙන්නේ අපිට නායයෑම් අවදානමෙන් ගලවා ගන්න ඕන. අවදානම් හැටියට හඳුන්වා දීපු තැන්වල ජනතාව ඉවත් කිරීම සඳහා ක්‍රමවේදයක් (Mechanism) තියෙනවා. ළඟ තියෙන පන්සලට, පල්ලියට හෝ පාසලට යන්න පණිවුඩය යවන්න පුළුවන්. ඒකට වැඩිමනත් වශයෙන් තමයි මේ පොලිසියටත් මේ පණිවුඩය දෙන්නේ. සමහර තැන්වල එහෙම විධිමත් 'සුරක්ෂිත මධ්‍යස්ථාන' ගොඩනගලා නැත්තං, ඔවුන් ආරක්ෂිත තැන්වලට ගිහින් තියෙනවා. මම ළඟ තියෙන වාර්තාව අනුව 25 වෙනකොට සුරක්ෂිත මධ්‍යස්ථානවල සැලකිය යුතු පිරිසක් හිටියා.

කලිඳු: නමුත් මේ වාර්තාවට අනුව ගත්තම සුරක්ෂිත මධ්‍යස්ථාන දිවයිනේම තියෙන්නෙ ඉතාම අල්පයක්. ඔබතුමා කියන විදිහට අසූදාහක් ලක්ෂයක් ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. යාපනය ගත්තම තියෙන්නේ එකයි. කළුතර, ගම්පහ, ගාල්ල, හම්බන්තොට, මාතර නැහැ. කෑගල්ලේ නැහැ. රත්නපුරේ දෙකයි. එහෙම ගත්තම ඇත්තටම මේ සුරක්ෂිත මධ්‍යස්ථාන ඉදිකිරීමේ අඩුවක් ඔබතුමා දකින්නේ නැද්ද? රාජ්‍ය යාන්ත්‍රණය තුළ අවශ්‍ය කෙරෙන පණිවිඩ යවලා 25 වෙද්දි මේ සූදානම පටන් ගත්තේ නම්?

වෛද්‍ය නලින්ද ජයතිස්ස: අඩුවක් දකින්න අපේ පැකිලීමක් නෑ. ක්‍රියාත්මක වීමේ අඩුවක් තියෙනවා. යළි යළිත් කියන්නේ මේ ජීවිත 650ක් බේරගන්න පුළුවන්කම තිබ්බනම් ඒකනේ කලිඳු වටිනාම දේ. ඒක වුණේ නෑනේ. කරගන්න බැරිවුණානේ. ස්වභාවික ආපදාවකදී සියයට සීයක් සම්පූර්ණ කිරීම අපහසුයි. නමුත් පුළුවන් තරම් අවම කරලා, අවම ජීවිත හානිවලින් මේක බේරගන්න තමයි අපේ කැමැත්ත. ආපදාවේ විශාලත්වයට සාපේක්ෂව පළවෙනි මොහොතේදී ඒකට මැදිහත් වීමට තරම් ව්‍යාප්ත වෙච්ච දැවැන්ත යාන්ත්‍රණයක් අවශ්‍යතාවය තිබුණ බව අපි පිළිගන්න ඕන. ඒක පිළි ගත්තේ නැත්නම් අද දවසේදී හෙට මේකට උත්තරයක් හම්බෙන්නෙ නෑ.

කලිඳු: තව ප්‍රශ්නයක් විදියට, විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට ඔබතුමාට අදාළයි. හලාවත රෝහල යටවෙන්නේ 27 වැනිදා. 25 වැනිදා ක්ෂණික ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් නිවේදනයක් දැම්මට පස්සේ, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන දැනුම් දීමුත් කරලා තියෙන වග කියන ස්ථාවරය දරන පසුබිමක, හලාවත රෝහලට යන්නට පොඩි වෙලාවක් යනවානේ. එතකොට දැන් පළවෙනි තට්ටුවේ තියෙන මිල අධික වෛද්‍ය උපකරණ, රෝගීන්ගේ රෝගී වාර්තා, ඖෂධ ගබඩාවල තියෙන ඖෂධ මේ වගේ දේවල් දින දෙකක් තුළ හානියට පත් නොවෙන විදියට ඉහළ මාලයට රැගෙන යන්න හෝ වෙනත් තැනකට ප්‍රවාහනය කරන්න වගේ හැකියාවක් තිබුණෙ නැද්ද?

වෛද්‍ය නලින්ද ජයතිස්ස: 25 ඔය පණිවිඩය ගියානම්... 1957න් පස්සේ හලාවත යට වුණේ මේ අවස්ථාවේ. මම ඒ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා එක්ක වැඩසටහනක් කළා. එතුමා කිව්වේ තමන්ගේ කිසි වරදක් නෙමෙයි, දැදුරු ඔය පිටාර ගැලීමත් එක්ක හිතාගන්න බැරි වේගයකින් වතුර පාරක් ඇතුලට එනවා. මේක පහත් බිමක තියෙන්නේ.

මම විශේෂයෙන් රෝහල් කිහිපයේම නිරීක්ෂණය කළා. අපි හානි වෙච්ච ලොකුම රෝහල් දෙක තමයි මහියංගණය මූලික රෝහලත්, හලාවත දිස්ත්‍රික් මහ රෝහලත්. ඒ කාර්ය මණ්ඩලය තමන්ට හැකි උපරිමයෙන් මේ උපකරණ සහ ඖෂධ බේරාගන්න කටයුතු කළා. සමහර උපකරණ තියෙනවා කලිඳු, ඒවා ලේසියෙන් හොලවන්නවත් බෑ. සමහර හිතාගන්නවත් බැරි බර උපකරණ ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව උඩ තට්ටු වලට අරගෙන ගිහිල්ලා තිබුනා. නැත්තං ටිකක් හරි උස්සලා තිබුණා.

ප්‍රශ්නය තියෙන්නේ දැදුරු ඔයේ ජල මට්ටම වැඩි වීමේ වේගයට සාපේක්ෂව ඒ සියලු උපකරණ එතනින් ඉවත් කරගැනීමේ හැකියාවක් තිබුනේ නෑ. මහියංගණ රෝහලේදීත් සිද්ධ වුණේ ඒකයි. 27 තමයි මුලින්ම වතුර එන්නෙ. හැබැයි ඒකෙන් ඒ ඔක්කොම ඉවත් කරගන්න බෑ. CT Scan එක වගේ දෙයක් කරන්න බෑ. නමුත් රෝගීනුත්, අර දින හතළිස් පහේ විතර දරුවෝ පවා සුරක්ෂිතව තබාගෙන හිටියා. කාර්ය මණ්ඩලය කරන්න පුළුවන් උපරිමය කරලා තිබුණා.

කලිඳු: අපි දැන් විරාමයකට යන්න කලින් වන්දි ගැන විශේෂයෙන් සාකච්ඡා කරන්න ඕනේ. හානිපූර්ණය කිරීම සඳහා රටේ ජනතාවට පසු ආපදා තත්ත්වය තුළ ඔබතුමාලා කැප වීමකින් නිවේදන කිහිපයක්ම නිකුත් කළා. මුලින්ම අර විසි පන්දහසේ (25,000) දීමනාව. මේ දවස වෙද්දී ආපදාවෙලා දින දහ අටක් පමණ ගෙවිලා තියෙනවා. හැබැයි ඒක තවමත් ගෙවල ඉවර කරන්නට සමත් වෙලා නෑ. ඒකට තියෙන ප්‍රශ්නෙ මොකක්ද?

වෛද්‍ය නලින්ද ජයතිස්ස: ඒක ඇත්තටම කලිඳු, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට තත්ත්වය වෙනස්. උදාහරණයක් ගත්තොත් ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට සියයට හැත්තෑ පහකට (75%) ආසන්න ප්‍රමාණයකට ගෙවල අවසානයි. රත්නපුර 68.4% යි. මාතලේ 64.2% යි. මේ ආදී හැටියට ගත්තොත් සමහර තැන්වල ගෙවලා අවසානයි. සමහර තැන්වල තියෙනවා ප්‍රායෝගික ගැටලු. අපි සියලුම දිස්ත්‍රික් ලේකම්වරු ජනාධිපතිතුමා ගාවට කැඳවලා මේ අඩුපාඩු විමසලා බලනවා.

අපේ බලාපොරොත්තුව පුළුවන් තරම් ඉක්මනට මේක දීලා ඉවර කරන්නයි. මොකද මේ විසිපන්දාහ ඉක්මනට දෙන තරමට තමයි ජන ජීවිතය යළි පටන් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ජනාධිපතිතුමා කිව්වේ දැන් විසිපන්දාහ දෙනවාට අමතරව, අපි දෙන වන්දි සහ මුළුතැන්ගේ උපකරණ මිලදී ගැනීම් සඳහා දෙන මුදලත්, මිනිස්සුන්ව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල රස්තියාදු නොකර එක සැරේ දෙන්න කියලයි.

කලිඳු: ග්‍රාම නිලධාරීන්ගේ සංගමය විවිධ අවස්ථාවන්වලදී ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම් කරනවා. ලාල් කාන්ත ඇමතිතුමාගේ ප්‍රකාශයකුත් තියෙනවා. මේ වන විට ග්‍රාම නිලධාරීන්ට මේ සහනාධාර ලබාදීමේ කටයුතු වලදී, මේ රජයේ සමහර දේශපාලඥයන්, ප්‍රාදේශීය නායකයින්, විශේෂයෙන් "ප්‍රජා ශක්ති" (Praja Shakthi) කියන වැඩසටහනේ අය රාජකාරියට බාධා කරන අවස්ථාවක් වාර්තා කරලා තියෙනවා. සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ප්‍රජා ශක්ති දේශපාලන අධිකාරියෙන් අත්සන් ගන්න කියලා තියෙනවා. එතකොට මේ රුපියල් විසිපන්දාහ දෙන කතන්දරයේදී ඒ දේශපාලන අධිකාරියට කියලා නිර්දේශ ගන්න ගියොත්, ඉන් ග්‍රාම නිලධාරීවරයාගේ ස්වාධීනත්වයට බාධාවක් ඇති වෙනවා.

වෛද්‍ය නලින්ද ජයතිස්ස: ප්‍රජා ශක්ති වැඩසටහන කියන්නේ අලුතින් හදපු ව්‍යුහයක්. ඒකේ සභාපති ඉන්නවා, ලේකම් ඉන්නවා, රජයේ නිලධාරි මහත්ම මහත්මීන් ඉන්නවා. හැබැයි සහන ලබාගැනීම සඳහා පුරවන්න ඕන ෆෝම් (Form) එකේ කිසිම තැනක රජයේ නිලධාරීන්ට අමතරව අත්සන් කරන්න ඕන වෙනත් කිසිම කෙනෙක් නෑ.

කලිඳු: එහෙනම් ලාල් කාන්ත ඇමතිතුමා මෙහෙම කියන්නේ ඇයි?

වෛද්‍ය නලින්ද ජයතිස්ස: ඒ ඇවිල්ලා ප්‍රජා ශක්ති හරි, මහජන ආරක්ෂක හරි, ග්‍රාම සංවර්ධන හරි, වනිතා කටයුතු හරි, දායක සභාව හරි... මේ ඕනෑම අයෙක් එනකොට මේ වෙනුවෙන් සහාය දෙන්න පුළුවන්. මං හිතනවා මෙවැනි අවස්ථාවකදී ස්වේච්ඡා සංවිධාන, ගමේ මිනිස්සු ග්‍රාම නිලධාරීන්ට, ආර්ථික සංවර්ධන නිලධාරීන්ට, සමෘද්ධි නිලධාරීන්ට උදව් කරන්න ඉදිරිපත් වෙන එකේ වරදක් නෑ. හැබැයි කිසිම තැනක රජයේ නිලධාරියෙකුට අමතරව පිට කෙනෙක්ගේ අත්සන් අවශ්‍ය නෑ.

දෙසැම්බර් 14 වෙනිදා ආරක්ෂක අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් නිකුත් කළා. ඒ මගින් ග්‍රාමීය ආපදා කළමනාකරණ සහ සහන සේවා කමිටු නිලධාරීන්ට හා ප්‍රාදේශීය ලේකම් වෙත සහාය වනු පිණිස පරිපාලන ග්‍රාම නිලධාරී, සමාජ සේවා නිලධාරි, ළමා හිමිකම් නිලධාරී, මුල් ළමාවිය සංවර්ධන නිලධාරී, වනිතා සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී... මේ ආදී වශයෙන් රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහාය ලබා ගන්න පුළුවන් කියලා තියෙනවා. මේ කිසිම තැනක අපේ පක්ෂයේ සංවිධායකයෙක්ගෙන් හරි ප්‍රජා ශක්ති කමිටුවකින් හරි අත්සන් ගන්න කියලා නෑ.

කලිඳු: ගමට ගියාට පස්සේ මේ බෙදන්න ගියාට පස්සේ ඇහෙන මැසිවිල්ල තමයි, මේකට ජාතික ජන බලවේගයේ සම්බන්ධවූවන් මැදිහත් වෙනවා, දේශපාලනය මෙතනට මැදිහත් වෙලා තියෙනවා කියන චෝදනාව.

වෛද්‍ය නලින්ද ජයතිස්ස: ප්‍රජා ශක්ති කමිටුව කියන්නේ ග්‍රාමීය දරිද්‍රතාවය නැති කිරීම සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධනය වෙනුවෙන් හදන්න පටන් ගත්ත ව්‍යුහයක්. තාම බොහෝ තැන්වල ඒක පත් කිරීමක් සිදුකරන්නේ නෑ. මේ ආපදාව වගේ අවස්ථාවක ගමේ පන්සලේ දායක සභාව සම්බන්ධ වුනත් කමක් නෑ නේද? මම වගකීමෙන් කියනවා, ෆෝම් එකේ රජයේ නිලධාරීන් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් අත්සන් කරන්න උවමනාවක් නෑ. අපිට කරන්න පුළුවන් උපරිමයෙන් අපි ලිඛිතව දැනුවත් කරලා තියෙනවා. ප්‍රජා ශක්ති කමිටුවක මැදිහත්වීමක් මේකට අනිවාර්ය අවශ්‍යතාවයක් නෙවෙයි. කිසිසේත් අවශ්‍ය නැත.

කලිඳු: ඇමතිතුමා, අපි එතැනින් ඉස්සරහට යද්දී, විශේෂයෙන්ම "පූර්ණ නිවාස හානි" ගැන කතා කරමු. ඔබතුමා කිව්වා හයදාහක් පමණ මේ වෙද්දි වාර්තා වෙනවා කියලා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී එතුමාගේ පළවෙනි කතාවේදී කිව්වා පූර්ණ නිවාස හානිවලට ලක්ෂ 50ක වන්දි මුදලක් ලබාදෙනවා කියලා.

එතකොට පූර්ණ නිවාස හානි කියන එක කොහොමද හානිපූර්ණය කරන්නේ? කඳුකරයේ හෝ රටේ ඕනෑම තැනක තමන්ගේ නිවස සම්පූර්ණයෙන්ම යළි පදිංචි වෙන්න බැරි තත්ත්වයට විනාශ වෙලා තියෙනවා නම්, ඒ සියලුම දෙනාට ලක්ෂ පනහක මුදලක් අනිවාර්යෙන් ලැබෙනවා කියන එකද?

වෛද්‍ය නලින්ද ජයතිස්ස: අද (දෙසැම්බර් 02) දවල් වනවිට නිවාස 6,193ක් පූර්ණ හානිවලට ලක්වෙලා තිබෙනවා. වැඩිම පූර්ණ හානි වාර්තා වෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් (2,013). ඊළඟට නුවරඑළිය (767), බදුල්ල (596) සහ පුත්තලම (630) වශයෙන් තමයි මේ ගණන් වාර්තා වෙලා තියෙන්නේ. සමහරවිට තාම රජයේ නිලධාරීන් ගණනය කරමින් පවතින නිසා මේ ප්‍රමාණය 6,500ක් පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්.

පළමු දේ තමයි, පූර්ණ හානියට ලක්වෙච්ච නිවාසයක් කියලා කියන්නේ අළුත්වැඩියාවකින් කිසිසේත්ම යළිත් පදිංචියට සුදුසු තැනක් බවට පත් කරගන්න බැරි නිවාසයක්. මේක තීරණය කිරීම සඳහා රජයේ තක්සේරු නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමක් සිදු කරනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් රජයේ නිලධාරීන් අතින් අසාධාරණයක් වුණා, මේක අපිට අලුත් වැඩියා කරගන්න බැහැ කියලා. එහෙම නම් අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම්වරයාට. එතකොට නැවත පරීක්ෂා කරලා බලන්න පුළුවන්.

අපි බලනවා මේ පූර්ණ හානි වෙච්ච ඉඩම, අධි අවදානම් කලාපයකද තියෙන්නේ කියලා. මොකද මම යලි යලිත් කියන්නේ මේ ඉඩම් ප්‍රශ්නයක් තිබෙනවා. අපිට හෝ ඔවුන්ට හොඳම තැන්වල ඉඩම් නෑ. සමහර ඒවා ව්‍යාපෘතිවලට යට වෙලා හෝ වතුරට යටවෙලා. එතකොට ඉඩම අධි අවදානම් කලාපයක නැත්නම්, එතැනම ගෙවල් හදාගන්න පුළුවන් කමක් තියෙනවා නම්, අපි ලක්ෂ පනහක් ලබා දෙනවා.

මේ ලක්ෂ 50 ලබාදීමේදී කිසිසේත්ම හොයන්නේ නෑ කලින් තිබුණු ගෙදර ටකරන් ගෙදරක්ද, ලෑලි ගෙදරක්ද, වටිනාකම ලක්ෂ 12යි ද 25යි ද කියලා. සමහර කෙනෙක්ගේ ගෙදර වටිනාකම ලක්ෂ 50ට වඩා වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. නමුත් අපි හැමෝටම සමානව ලක්ෂ 50ක මුදලක් ලබා දෙනවා.

ඊළඟට, අපි හිතමු කෙනෙකුට ඉඩමකුත් නෑ කියලා (නාය ගිහිල්ලා ඉඩම නැති වෙලා නම්), අපි රජයේ ඉඩමක් ලබා දෙනවා. රජයේ ඉඩමක් ලබාදෙන්න බැරි නම්, ඒ අයට ඉඩමක් මිලදී ගැනීම සඳහා තව ලක්ෂ පනහක් දක්වා ලබා දෙනවා. එතකොට ගෙදරට ලක්ෂ 50යි, ඉඩමට ලක්ෂ 50යි වශයෙන් මුළු මුදල කෝටියක් දක්වා ලැබෙන්න පුළුවන්. හැබැයි අපි මුලින්ම බලන්නේ රජයේ ඉඩමක් ලබා දීලා, ඊට අමතරව යටිතල පහසුකම් (මාර්ග, ජලය, විදුලිය) සලසා දෙන්නයි.

කලිඳු: ඇමතිතුමා, අර්ධ හානි ගැන කතා කරද්දී, අර්ධ හානි වලට ජනාධිපතිතුමා කිව්වා ලක්ෂ 10, 15, 20, 25 කියලා කාණ්ඩ කිහිපයකින් වන්දි ලබා දෙන්න පුළුවන් කියලා. පාර්ලිමේන්තුවේදී එතුමා කිව්වා "තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා" වගේ කතාවක්. මේක විශේෂ කතිකාවතක් නිර්මාණය කරලා තියෙනවා. එතුමා ඒක සංකේතාත්මක අර්ථයෙන්ද කිව්වේ? නැත්නම් ඇත්තටම තහඩුවක් ගියත් ලක්ෂ 10 ලැබෙනවාද?

වෛද්‍ය නලින්ද ජයතිස්ස: ලක්ෂ 25 දක්වා ලබාදීම තක්සේරුවක් මත තමයි සිද්ධ වෙන්නේ. රජය දරන වියදම සහ හානිය තක්සේරු කරලා තමයි ඒ මුදල තීරණය වෙන්නේ. තහඩුවක් ගිය පමණින් ලක්ෂ දහයක් දෙන්න බැහැනේ. ඒ තක්සේරුව අනුව පළමු කාණ්ඩය වෙන්නේ ලක්ෂ දහයයි. මෙතන තියෙන ප්‍රශ්නය තමයි, ජනාධිපතිතුමා එදා පාර්ලිමේන්තුවේදී "තක්සේරුව අනුව" කියලා කිව්වේ නෑ. නමුත් චක්‍රලේඛ නිකුත් කරලා තියෙන්නේ 10, 15, 20, 25 කාණ්ඩ හතරෙන් ලබාදෙන්න කියලයි.

කලිඳු: ජනතාව මේ සම්බන්ධ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. නිවසට ඉතාම සුළු හානියක් වෙලා තිබුණත් ලක්ෂ දහයකින් පටන් ගන්නවා කියන එක ගැන. ඔබතුමා කියන්නේ ඒක තක්සේරුව අනුව වෙනස් වෙනවා කියලද?

වෛද්‍ය නලින්ද ජයතිස්ස: ඔව්, තක්සේරුව අනුව තමයි ලැබෙන්නේ. හැබැයි මම අහන්නම්, යම්කිසි නිවසකට දහයකට (ලක්ෂ 10කට) අඩු හානි තිබුණොත් ඒ ගාණ දෙනවද නැද්ද කියලා. මට දැනට ඒක හරියටම කියන්න බෑ. නමුත් අපි බලමු ඊට වඩා ගොඩාක් අඩු හානි වලට මොකද කරන්නේ කියලා.

(කෙටි විරාමයකින් පසු)

කලිඳු: ඇමතිතුමා, දැන් අපි නැවත මෙවැනි තත්ත්වයක් ආවොත් ඒ සඳහා සූදානමින් ජනතාව වහාම ඉවත් කරන යාන්ත්‍රණයක් ගැන සාකච්ඡාවක් ඇති වෙන්න ඕනේ කියලා ඔබතුමා කිව්වා. ගමේ තියෙන සාකච්ඡාව ඇතුළේ මතු කරන තර්කයක් තමයි, සුනාමි ආපදා තත්ත්වයෙන් පස්සේ 2005දී 'ව්‍යසන කළමනාකරණ පනත' (Disaster Management Act) සම්මත වුණා. ඒ යටතේ ජාතික ආපදා සභාව (National Council for Disaster Management) පිහිටුවන්න තීරණය කරලා තියෙනවා. පැය විසි හතරම ක්‍රියාත්මක වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් තියෙනවා. මේ යාන්ත්‍රණය ප්‍රමාණවත් නැහැ කියලද ඔබතුමා කියන්නේ?

වෛද්‍ය නලින්ද ජයතිස්ස: කලිඳු, 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සුනාමියෙන් පස්සේ තමයි පාර්ලිමේන්තුවේ සම්මත කළේ. හැබැයි අපි පහුගිය අගෝස්තු මාසේ 6 වෙනිදා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මේ සභාව කැඳවන කන්, 2018 ඉඳන් මේ සභාව කැඳවලා තිබුණෙ නෑ. අවුරුදු හතක් අටක් තිස්සේ මේක රැස්වෙලා නෑ.

මේ ව්‍යසන කළමනාකරණ පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න නම් මේකේ සකස් කරගත යුතු අඩුපාඩු ගණනාවක් තියෙනවා. එකක් තමයි අනෙක් අමාත්‍යාංශවල යාන්ත්‍රණ මේකත් එක්ක සකස් කරගත යුතු වීම. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් පමණක් මේක කරන්න බැහැ. මේකට අමාත්‍යාංශ විස්සක් පමණ සහ සියලුම පළාත් සභාවල ආණ්ඩුකාරවරු, ප්‍රධාන අමාත්‍යවරු සම්බන්ධ වෙන්න ඕන.

කලිඳු: පනතේ තියෙනවා වසරකට හතර සැරයක් ජාතික ආපදා සභාව රැස්විය යුත්තේ කියලා. නමුත් ඔබතුමාලත් මේක අවුරුදු හතකට පස්සේ කැඳවීමට පස්සේ, මේ නොවැම්බර් මාසයට එනකම් හතර සැරයක් කැඳවලා නැහැ නේද?

වෛද්‍ය නලින්ද ජයතිස්ස: නිකම් කැඳවලා සාකච්ඡා කළාට තේරුමක් නෑනේ. පනත හොඳටම ක්‍රියාත්මක කරගන්න අවශ්‍ය යාන්ත්‍රණ නැත්නම් අපි ඒක හදාගන්න ඕන. අපි ඒ සඳහා පනත සංශෝධනය කිරීමට දහතුන් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළා. ඒ කටයුතු කරමින් යනවා. අද උදෑසනත් අපි ජාතික ආපදා සභාවේදී මේ ගැන කතා කරා.

මේ පනතේ තියෙන දුර්වලතා නිසා තමයි, මෙවැනි ආපදාවකදී ටිකක් 'අබල දුබල' පනතක් මගින් කටයුතු කරන්න බැරි නිසා, මහජන ආරක්ෂක පනත (Public Security Ordinance) යටතේ හදිසි නීතිය/අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත් කරලා කටයුතු කරන්න පටන් ගත්තේ. කවුරු හරි බය වෙනවා නම් මේ මහජන ආරක්ෂක පනත හරහා මාධ්‍ය හෝ භාෂණයේ නිදහස නැති කරයි කියලා, අපි එහෙම කරන්නේ නෑ. මේ ආපදාවේදී ක්ෂණික මැදිහත්වීම් කර ගැනීම සඳහා සහ නීතිමය බාධාවන් ඉවත් කරගැනීම සඳහා තමයි අපි ඒක පාවිච්චි කළේ.

කලිඳු: විපක්ෂ නායකවරයා ඇතුළු බොහෝ දෙනෙක් කියනවා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන එක ප්‍රමාද වුණා කියලා. 29 වෙනිදා තමයි ඒක කළේ. 25 වෙනිදා ඉඳන් පාර්ලිමේන්තුවේ ඉල්ලුවා කියලා ඔවුන් කියනවා.

වෛද්‍ය නලින්ද ජයතිස්ස: අපි මහජන ආරක්ෂක පනත ප්‍රකාරව ගැසට් නිවේදනය 28 වැනිදා නිකුත් කළා. 29 වෙනිදා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පත් කළා. 27 වෙනිදා සුළි කුණාටුවේ බලපෑමෙන් පස්සේ ආරක්ෂක අංශ සහ පොලීසිය ජනතාව මුදා ගැනීමේ කටයුතු පටන් ගත්තා. අපිට තිබුණේ මුදල් වියදම් කිරීමේ සීමා (Procurement limits) වෙනස් කරගන්න. උදාහරණයක් හැටියට ප්‍රාදේශීය ලේකම්වරයෙකුට රුපියල් මිලියන 50 දක්වා, දිස්ත්‍රික් ලේකම්වරයෙකුට මිලියන 100 දක්වා වියදම් කරන්න අවසර දුන්නා.

ඒ වගේම අපිට තිබුණු තවත් ප්‍රශ්නයක් තමයි, ආපදා අඩු දිස්ත්‍රික්කවල (ගාල්ල, මාතර වගේ) තියෙන යන්ත්‍රෝපකරණ (JCB machines etc.) පළාත් පාලන ආයතන සීමාවෙන් එපිටට අරගෙන යන්න තිබුණු බාධාව. අපි නොවැම්බර් 30 වෙනකොට ඒ අවසර ලබාදුන්නා. ඒ නිසා මේ පනත ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සේ රාජ්‍ය නිලධාරීන්ට බයක් නැතුව මුදල් වියදම් කරන්න සහ සම්පත් හුවමාරු කරගන්න පුළුවන් වුණා.

කලිඳු: අවසාන වශයෙන්, දේශපාලන කාරණාවක් ගැන අහන්න ඕන. අශෝක රන්වල මහත්මයා සම්බන්ධයෙන්. ඔහු සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරකට ලක් වීම සහ ඒ වෙලාවේ වාහනය පදවා ගෙන යාමත් එක්ක, මේ වෙද්දී පොලිසියේ ක්‍රියා මාර්ග ගත්ත හැසිරීම පිළිබඳව සමාජයේ විශාල ප්‍රශ්නාර්ථයක් තියෙනවා.

ඔහු බීමත්ව සිටියා කියන චෝදනාව එල්ල වෙනවා. හැබැයි ඊට අදාළව ඔහුට ඒ වෙලාවේ අවශ්‍ය බීමත් පරීක්ෂණය (Breathalyzer test) සිදුකරන්නේ නැහැ. ඊට පස්සේ පැය ගණනාවක් ගියාට පස්සෙ තමයි පරීක්ෂණයක් කරනවා කියලා කියන්නේ. මහේස්ත්‍රාත්වරයා ඔහුව පරීක්ෂා කර බැලීමෙන් පසු ඇප නියම වෙනවා. නමුත් ඔහු සැබවින්ම පොලිසියට රැගෙන යන්න බැරි තරම් රෝගී තත්ත්වයක හිටියාද කියන එක ගැන ජනතාවට සැකයක් තියෙනවා. අලුත් පාලනයක් යටතේ මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද?

වෛද්‍ය නලින්ද ජයතිස්ස: අශෝක රන්වල මන්ත්‍රීතුමා දැන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. එතකොට ඔහුගේ තත්ත්වය පරීක්ෂා කරන්න තියෙන එකම ක්‍රමය බැලුම් පිපිරවීම (Breathalyzer) විතරක් නෙමෙයි. මා දන්නා තරමින් දැනට ඔහුගේ මුත්‍රා සහ රුධිර සාම්පල (Urine and blood samples) අරගෙන තියෙන්නේ. ඒවා රස පරීක්ෂක වෙත යවලා තියෙනවා. ඒ වාර්තා උසාවියට ඉදිරිපත් කරයි. ඒ අනතුර සිද්ධ වුණේ සිකුරාදා රාත්‍රියේ. සඳුදා රාත්‍රිය වෙද්දිත් තවම වාර්තාව ලැබිලා නෑ. දීර්ඝ කාලයක් ගතවීම සම්බන්ධයෙන් පොලිසිය (JMO) උසාවියට කරුණු ඉදිරිපත් කරයි. ඒ අනුව කාටහරි සැකයක් තියෙනවා නම් බලාගන්න පුළුවන් වෙයි මොකද වෙලා තියෙන්නේ කියලා.

කලිඳු: තව ඔහුට අදාළ ප්‍රශ්නයක් තියෙනවා. පසුගිය අවුරුද්දේ දෙසැම්බර් 19 වෙනිදා ඔබ කරපු ප්‍රකාශයක් තියෙනවා. "හිටපු කථානායක අශෝක රන්වල මහතා ධූරයෙන් ඉවත් වුණේ සහතිකය (උපාධිය) ඉදිරිපත් කර ගැනීමට නොහැකිවීම නිසා මිසක්, ඒ උපාධිය සම්බන්ධ ප්‍රශ්නයක් නිසා නොවෙයි. ඔහු ඉක්මනට ඒක ලබාදේවි" කියලා ඔබ කිව්වා. දැන් අවුරුද්දක් ගතවෙලා තියෙනවා. ඇයි මේක පෙන්වන්න බැරි වුණේ? හදිසියේවත් ඔහු වංචනිකව ඒ නාමය (ආචාර්ය) පාවිච්චි කරා නම්, පක්ෂයක් විදියට ඉදිරි පියවර ගන්න වෙනවා නේද?

වෛද්‍ය නලින්ද ජයතිස්ස: ඔහු ඒ මොහොතේදී අපිට (පක්ෂයට) කියපු දේ අනුව තමයි මම ඒ ප්‍රකාශය කළේ. දැන් අවුරුද්දක් ගතවෙලා තියෙනවා, ඔහු තාම ඒක ඉදිරිපත් කළේ නැහැ. අපට ඡන්දය දීපු, නොදීපු, අපි ගැන විශ්වාස කරපු හැමදෙනාම ගැන අපි සැලකිලිමත් වෙනවා. ඒ මහජන මතය සැලකිල්ලට අරගෙන තමයි අපි තීන්දු ගන්නේ. මේ වෙලාවේ මොකක්ද කරන්න යන්නේ කියලා මම කියන්නේ නෑ. නමුත් අපි ඒ ගැන විශේෂයෙන් අවධානය යොමුකරනවා.

කලිඳු: එතකොට එයින් ගම්‍ය වෙන්නේ, හදිසියේවත් ඔහු වංචනික දෙයක් කරලා තියෙනවා නම් ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයකට යනවා කියන එකද?

වෛද්‍ය නලින්ද ජයතිස්ස: මට හරියටම ඒ ක්‍රියාමාර්ගය කියන්න බැහැ. නමුත් වංචනික දෙයක් කරලා තියෙනවා නම්, ඔව්, පක්ෂයක් හැටියට කරන්න ඕන දේ අපි කරනවා.

කලිඳු: හොඳයි. බොහොම ස්තූතියි ඇමතිතුමා අද දවසේ සම්බන්ධ වුණාට. විශේෂයෙන්ම කරුණු මත පදනම් වෙලා අදහස් හුවමාරු කර ගන්නට හැකියාව ලැබුනා. රාජ්‍ය සේවකයින්ගේ සහ ත්‍රිවිධ හමුදාවේ මැදිහත් වීම අපි අගය කරනවා වගේම, යාන්ත්‍රණයේ තියෙන අඩුපාඩු ගැන ජනතාවගේ අවධානය යොමුකිරීම තමයි අපේ අරමුණ වුණේ. 360න් සමුගන්නවා. ආයුබෝවන්!