they-are-trying-to-sabotage-the-tourism-industry-by-pointing-to-the-disaster

 පැවති අයහපත් කාලගුණ තත්ත්වය ව්‍යාජ ලෙස හුවා දක්වමින් මෙරට සංචාරක කර්මාන්තය අඩපණ කිරීමට යම් පිරිසක් සැලසුම් සහගතව උත්සාහ දරමින් සිටින බව මහනුවර සංචාරක හෝටල් සංගමයේ සභාපති මෙන්ම මහවැලි රීච් හෝටල් කළමනාකරණ අධ්‍යක්ෂ රොඩ්නි ආම්ට්‍රෝන් මහතා අවධාරණය කරයි. පසුගිය 03 වැනිදා මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.



මහනුවර ප්‍රදේශයේ පැවති ආපදා තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බව පවසමින්, විදේශීය සංචාරකයින් බිය ගන්වා ඔවුන්ගේ පැමිණීම වැළැක්වීමේ කූට ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.


විශේෂයෙන් මහනුවර නගරයේ හෝටල් ජලයෙන් යටවී ඇති බවත්, විදුලිය, ජලය, මාර්ග පහසුකම් හෝ ආහාර පාන පවා නොමැති බවටත් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් මෙම පිරිස සංචාරක කර්මාන්තයට බාධා එල්ල කරමින් සිටින බව හෙතෙම සඳහන් කළේය.

එහෙත් මේ වන විට මහනුවර තත්ත්වය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය අතට හැරී ඇති අතර සියලුම සංචාරක හෝටල් විවෘතව පවතී. නගරය තුළ විදුලිය හෝ ආහාර පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති අතර කොළඹ, කුරුණෑගල සහ මහියංගන ඇතුළු මහනුවරට පිවිසෙන ප්‍රධාන මාර්ග සියල්ල ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.


එමෙන්ම ශ්‍රී දළදා මාලිගාව සහ පේරාදෙණිය මල්වත්ත වැනි ප්‍රධාන සංචාරක ආකර්ෂණ ස්ථාන ද සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව ආම්ට්‍රෝන් මහතා තහවුරු කළේය.

මේ වන විටත් සංචාරකයින් විශාල පිරිසක් මහනුවරට පැමිණෙමින් සිටින බැවින් මෙම වංචනික පිරිස් ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී පැමිණෙන ලෙස සංචාරක හෝටල් සංගමය ඉල්ලීමක් කරයි. පවතින සුළු බාධා කළමනාකරණය කිරීමට රජය කටයුතු කරමින් සිටින පසුබිමක, ආපදා තත්ත්වය මෙවලමක් කර ගනිමින් සංචාරක ව්‍යාපාරය විනාශ කිරීමට තැත් කරන කඩාකප්පල්කාරීන්ට එරෙහිව රජය දැඩි පියවර ගත යුතු බව ද රොඩ්නි ආම්ට්‍රෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.