215-serious-landslides-in-three-days

 'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දින තුනක් ඇතුළත බරපතළ ගණයේ නායයෑම් 215ක් පමණ සිදුව ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය අනාවරණය කරයි. පසුගිය 28, 29 සහ 30 යන තෙදින තුළ ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කිරීමේදී බදුල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, කුරුණෑගල සහ මොනරාගල යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව මෙම නායයෑම් තත්ත්වයන් නිරීක්ෂණය වී ඇති බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා ප්‍රකාශ කළේය.



ජීවිත සහ දේපළ හානි සිදු කළ විශාල පරිමාණයේ නායයෑම් මෙන්ම මාර්ග සහ ගම්මාන ආශ්‍රිතව දහස් ගණනක් වූ විවිධ ආපදා සිද්ධීන් වාර්තා වී ඇති බව භූ විද්‍යාඥවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන් නිවාස පිටුපස ඉවුරු කඩා වැටීම්, මාර්ග ආශ්‍රිත ඉවුරු බිඳ වැටීම් සහ බෑවුම් අස්ථාවර වීම් වැනි සිදුවීම් රැසක් වාර්තා වූ ආපදා අතර වන බව හෙතෙම සඳහන් කළේය.




මෙම ආපදා තත්ත්වය හමුවේ ඇතැම් හුදෙකලා ගම්මාන සම්පූර්ණයෙන්ම නායයෑමට ලක්ව ඇති අතර එම ප්‍රදේශ වෙත ළඟා වීමට තිබූ ප්‍රවේශ මාර්ග පවා විනාශ වී ඇති තත්ත්වයක් උද්ගතව තිබේ. අදාළ ස්ථාන නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගතවනු ඇති අතර, පළාතෙන් පළාතට බලපා ඇති හානියේ ස්වභාවය අනුව ජන ජීවිතය සාමාන්‍ය අතට පත්වීමේ කාල සීමාවද වෙනස් විය හැකි බව ඉන්ද්‍රතිලක මහතා අවධාරණය කළේය.

චන්ද්‍රිකා ඡායාරූප තාක්ෂණය ඔස්සේ කුඩා පරිමාණයේ නායයෑම් හඳුනාගැනීමේ යම් අපහසුතාවක් පවතින බැවින්, විවිධ ස්ථානවල ක්ෂේත්‍ර පරීක්ෂණ සහ නිරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් 55 දෙනකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් මේ වන විටත් යොදවා තිබේ.