body-of-one-of-the-5-missing-naval-officers-found

 මුලතිව් චලෙයි කලපුවේ මෝයකට පුළුල් කිරීමේ කටයුතු අතරතුර අතුරුදන් වූ නාවික හමුදා නිලධාරීන් පස්දෙනා අතුරින් එක් නිලධාරියෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ. පසුගිය නොවැම්බර් මස 28 වැනි දින චලෙයි කලපුවේ මෝයකට ආශ්‍රිතව පැවති වැලිපර ඉවත් කරමින් එම ප්‍රදේශය පුළුල් කිරීමේ මෙහෙයුමක නිරතව සිටියදී මෙම නාවික නිලධාරීන් පිරිස අතුරුදන්වී තිබිණි.



ආරක්‍ෂක අංශ විසින් ගොඩබිමින් සහ ගුවනින් සිදුකළ පුළුල් සොයාගැනීමේ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස කලපුවේ සිට කිලෝමීටර් 05ක් පමණ දුරකින් තිබී අතුරුදන් වූ එක් නිලධාරියෙකුගේ සිරුර සොයාගෙන ඇත. මෙසේ හමුවී ඇත්තේ දඹුල්ල, පැල්වෙහෙර ප්‍රදේශයේ පදිංචිව සිටි නායක විදුලි කාර්මික ඩී. එම්. කේ. එම්. දිසානායක මහතාගේ දේහය බව ඔහුගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇති අතර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් බුද්ධික සම්පත් මහතා ද ඒ බව තහවුරු කළේය.




පසුගිය 01 වැනිදා සොයාගත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ නාවික හමුදා ගෞරව සහිතව ඊයේ (04) දින සිදු කෙරිණි. මෙම අනතුරින් අතුරුදන් වූ හංවැල්ලේ පදිංචි උප ලුතිනන් අවිශ්ක ඩිල්ශාන් වෑවිට, වැලිමඩ පදිංචි ක්‍රිෂාන් ධනංජය වික්‍රමසිංහ, මාතලේ නාවුල පදිංචි චතුරංග වික්‍රමරත්න සහ අලුත්ගම කළුවාමෝදර පදිංචි රොෂාන් ශානක යන සෙසු නිලධාරීන් සිව්දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව ආරක්ෂක අංශ පවසයි.

මේ අතර ආපදාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩව කැපවී සිටින බවත්, ආහාර හා ජලය බෙදා හැරීම, ළිං හා රෝහල් පිරිසිදු කිරීම, විපතට පත් ජනතාව මුදා ගැනීම මෙන්ම කිමිදුම්කරුවන් යොදා ගනිමින් පාලම් සහ ජල පවිත්‍රාගාරවල සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම වැනි සේවාවන් රැසක් සියලුම නාවික හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුකරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




gossiplanka image 2