ශ්‍රී ලංකාවේ නවතම කලගුණික තත්වය ගැන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අද (16) සවස නිකුත් කළ නිවේදනය පහත පරිදිය.
වැසි තත්වය කොහොමද?
පසුගිය දිනවල පැවති වර්ෂාපතනයේ යම් අඩුවීමක් මේ වන විට නිරීක්ෂණය කෙරෙනවා. ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කය සඳහා නිකුත් කර තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ 'රතු නිවේදනයේ' යම් ලිහිල් කිරීමක් සිදු කරනු ලැබුවා. ඒ යටතේ දොළුව, ගඟ ඉහළ කෝරලය, උඩුදුම්බර, මැදදුම්බර සහ මිනිපී යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා පමණක් ක්‍රියාත්මක වන පරිදි එම රතු නිවේදනය යාවත්කාලීන කරනු ලැබුවා.
එසේම, දෙවන අදියරේ 'අවධානයෙන් සිටින්න' යන නිවේදනය බදුල්ල, මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 46 කට බලපැවැත්වෙනවා. පළමු අදියරේ 'විමසිලිමත් වන්න' යන නිවේදනය කෑගල්ල, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 18 කට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වෙනවා.
මේ වන විට අවදානම් ස්ථාන පරීක්ෂාව සඳහා ආයතනය වෙත ඉල්ලීම් 8300 කට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඒ අනුව මෙම ඉල්ලීම් සම්බන්ධ පරීක්ෂණ කටයුතු සඳහා මේ වන විට 50 කට පමණ කණ්ඩායමක් කටයුතු කරනු ලබනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් (NBRO) කොපමණ කණ්ඩායමක් මේ වන විට මෙම කටයුතු සඳහා සම්බන්ධ වී සිටිනවාද?
ඇත්ත වශයෙන්ම, මෙම ආපදාවට ලක්වූ දිස්ත්‍රික්ක හය ආවරණය වන පරිදි කණ්ඩායම් 50 කට අධික ප්‍රමාණයක් සේවය කරනු ලබනවා. ඊට අමතරව පාසල්වල පවතින අවදානම් තත්ත්ව පරීක්ෂාව සඳහා වෙනම කණ්ඩායම් 15 ක් කටයුතු කරනවා. ඒ වගේම මේ දිනවල පවතින ඊසානදිග මෝසම් වර්ෂා තත්ත්වයත් සමඟ ඉදිරියේදී වර්ෂාපතනය වැඩි වීමේ හැකියාවක් පවතිනවා. ඒ අනුව අප ආයතනය විසින් නිකුත් කරනු ලබන, යාවත්කාලීන කෙරෙන නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන කෙරෙහි විමසිලිමත් වී, ඒ අනුව ආරක්ෂිත පියවර ගෙන තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්නා ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Comments
Post a Comment
Your comment will be visible after approval