මොරටුව ලුනාව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ජෝර්ජියානු ජාතිකයකු එම කාමරය තුළ කැපුම් තුවාල සහිතව වැටී සිටියදී සොයාගෙන ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර තිබේ. මොහු පසුගිය 13 වැනිදා ශ්‍රී ලාංකික කාන්තාවක සමඟ මෙම හෝටලයට පැමිණ ඇති අතර, පසුගිය 14 වැනිදා දින මෙම විදේශිකයා තුවාල ලබා සිටියදී හමු වී ඇති බව මොරටුව මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
අදාළ විදේශිකයා කාමරය වෙන්කරවා ගෙන තිබූ කාලය ඉකුත් වී ගොස් තිබීම හේතුවෙන් හෝටල් සේවකයකු විසින් කාමරයේ දොරට තට්ටු කර ඇති නමුත් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත. පසුව සැක සිතී හෝටල් සේවකයා විසින් දොර විවෘත කර බැලීමේදී විදේශිකයා ලේ ගලන තුවාල සහිතව බිම වැටී සිටිනු දැක ඇති අතර, ඒ බව වහාම හෝටල් හිමිකරුට සහ පොලිසියට දැනුම් දීමට පියවර ගෙන ඇත. විදේශිකයාගේ පාද දෙකෙහි සහ එක් අතක කැපුම් තුවාල දක්නට ලැබුණු බව පොලිසිය පවසයි.
විදේශිකයා සමඟ පැමිණි ශ්‍රී ලාංකික කාන්තාව හෝටලයට පැමිණ පැය කිහිපයකට පසු පිටව ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති නමුත් ඇය කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැත. පොලිසිය විසින් සිදු කරන ලද කාමර පරීක්ෂාවේදී එන්නත් කටුවක් සහ පිහියක් සොයාගෙන ඇති අතර, එම එන්නත් කටුව මත්ද්‍රව්‍ය ශරීරගත කරගැනීම සඳහා භාවිත කළ එකක්ද යන්න පිළිබඳව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval