2026 අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වූ ජනපති හා මුදල් ඇමති අනුර කුමාර දිසානායක මහතා දීර්ඝ හා සංවේදී කථාවක් කළේය. පසුගියදා ලංකාවේ සිදුවූ ස්වභාවික ව්‍යසනය හා සම්බන්ධිත කාරණා ගණන්වක් ගැනද පැහැදිලි කිරීම් කළේය. ඔහුගේ කතාවේ සම්පූර්ණ ලිඛිත සටහන පහතින්
ගරු කාරක සභාවේ සභාපතිතුමනි,
විශේෂයෙන්ම අද අපි මුදල් අමාත්‍යාංශය පිළිබඳවත්, ඒ වගේම පරිපූරක ඇස්තමේන්තුවක් පිළිබඳවත්, මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පැනවීම පිළිබඳ රෙගුලාසිත් මෙම පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙනවා.
මම කල්පනා කරනවා, ඒ විෂයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ මේ ගංවතුර ව්‍යසනය පිළිබඳවයි. සමාජයේ වැඩිම අවධානයට සහ කතාබහට ලක්විය යුතු ක්ෂේත්රය බවට එය පත් වෙලා තිබෙනවා. අපි දන්නවා අපේ රට බොහෝ අවස්ථාවල මෙවැනි ව්‍යසනයන්ට මුහුණ දීලා තිබෙනවා. සමහර විට වෙරළ තීරය ආසන්නව මේ ව්‍යසනය ඇති වුණාම, අභ්‍යන්තරයේ ජීවත්වන ජනතාව සහ අනිත් ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ කම්පනයට පත්වෙනවා. සමහර වෙලාවට මධ්‍ය කඳුකරයේ මේ ව්‍යසනය සිදු වුණාම අනිත් පළාත්වල ජනතාව කම්පනයට පත් වෙනවා.
හැබැයි මේ වෙලාවේ සිදුවී තිබෙන දේ තමයි, දිස්ත්‍රික්ක කිහිපයක් හැරුණු කොට අනෙක් සියලු දිස්ත්රික්කවලම ප්‍රධාන කොටස් විශාල ප්‍රමාණයක් මෙම ව්‍යසනයට ගොදුරු වී තිබෙනවා. ඒ නිසා පුරවැසියන් සහ ජනතාව තමන්ගේ කම්පනය තමන් තුළ සඟවාගෙන මේ කාර්යයට මැදිහත් වෙමින් තිබෙනවා. අපි දන්නවා මේ වෙලාවේ දී අපි අතර ජීවත් විය යුතු පිරිසක් මේ ව්‍යසනය නිසා අද අපිට අහිමි වී තිබෙනවා. මේ වෙලාවෙත් අපි අතර හුස්ම ගත යුතු, මේ වෙලාවෙ තම ඥාතීන් සහ තමන්ගේ දරුවන් සමග සමීපව ලෙන්ගතුව ජීවත්විය යුතු පිරිසක් අද අපිට අහිමි වී තිබෙනවා. ඒ වගේම සමහර ගම්මාන පිටින් මේ ව්‍යසනයේ ගොදුරු බවට පත්වී තිබෙනවා. සමහර පවුල් පිටින් මෙම ව්‍යසනයේ ගොදුරු බවට පත්වී තිබෙනවා.
ඒ නිසා මේ ව්‍යසනය අපේ රටේ මෑතකාලීනව අපි දකින විශාලතම ව්‍යසනයයි. රටේ ජනතාවගේ හදවත් කම්පනයෙන් පිරිලා තිබෙනවා. ඔවුන්ගේ හැඟුම් කඳුලු වලින් ප්‍රකාශයට පත් කරගන්න බැරි තරමට වේදනා බරිත වෙලා තිබෙනවා. බොහෝ දෙනෙක් මියගොස් තිබෙනවා. සිරුරු හමුවී තිබෙනවා. සමහර පිරිසක් මියගොස් තිබෙනවා, නමුත් සිරුරු හොයා ගන්න බැරි තරමේ අතුරුදහන් වීමකට භාජනය වී තිබෙනවා.
මිනිසුන් අහිමි වීම, මිනිසුන් අතුරුදහන් වීම පිළිබඳව අපේ සමාජයට විශාල කම්පනයක් සහිත ඉතිහාසයක් තිබෙනවා. යුද්ධ වලින් සහ ස්වභාවික ව්‍යසනවලින් මිනිසුන් අහිමි වුණු, අතුරුදහන් වූ කම්පන සහිත ඉතිහාසයක් අපේ රට තුළ ලියවිලා තිබෙනවා. අපි දන්න කෙනෙක්ගේ අහිමිවීම තම ඥාතීන්ට, තමන්ගේ මිතුරන්ට සහ ඒ සමාජයට කොච්චර කම්පනයක් ගෙනත් දෙනවද? අපි අත්දැකපු මනුෂ්‍යයෙකුගේ අතුරුදහන් වීම මොන තරම් කම්පනයක් ගෙනත් දෙනවද?
මිනිසෙකුට සාමාන්‍යයෙන් කෙනෙක් අතුරුදන් වූවාට පසු, තමන්ගේ දෙමව්පියන් හෝ ඥාතීන් කිසිසේත්ම ඔහු මිය ගියා යැයි කියන එක පිළිගන්න සූදානම් නැහැ. අවුරුදු ගණනාවක් යනතුරු නැවත ඒ ගැන බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා. ඒක තමයි අතුරුදහන් වූවන්ගේ වේදනාව. දරුවා නම් දෙමව්පියෝ කල්පනා කරනවා, කොතනක හරි තමන්ගේ ජීවිතය බේරාගෙන නැවත තමන්ගේ දෑස් ඉදිරිපිට ඒවි කියලා. දෙමව්පියන් අතුරුදන් වී තිබෙන දරුවෝ කල්පනා කරනවා, කුමක් හෝ හාස්කමකින් තමාගේ දෙමව්පියන් තමන් ඉදිරියට ගෙනත් දේවි කියලා. දශක ගණනාවක්, වසර ගණනාවක් මේ අතුරුදහන් වූවන්ගේ කම්පනයෙන් පුරවැසියන් ජීවත් වෙනවා. පෞද්ගලිකව ගත්තොත් මටත් එහෙම අත්දැකීමක් තිබෙනවා. අතුරුදහන් වීම පවුලකට, ඥාතීන්ට සහ මිතුරන්ට මොන තරම් කම්පනයක් ගෙන දෙනවාද?
ඒ නිසා මේ මොහොතේදීත් තමන්ගේ ඥාතීන් මිතුරන් අහිමිවීමේ වේදනාව සහිතව කම්පනයෙන් ජීවත්වෙන පිරිසක් ඉන්නවා. තමන්ගේ දරුවන්, ඥාතීන් අතුරුදහන් වූ මේ වේදනාව මත දෑස් දල්වාගෙන, පස් කඳු ඇතුළේ පස් කුහර හාර හාර ජීවත්වෙන පිරිසක් ඉන්නවා. මම ඉතිං රටක් හැටියට, සමාජයක් හැටියට අපි පළමු කොටම ඒ සියලු දෙනාට අපේ සංවේගය ප්‍රකාශයට පත්කළ යුතුයි. මා ඔවුන්ට ආණ්ඩුවක් හැටියට අපේ සංවේගය ප්‍රකාශයට පත් කරනවා.
ඒ වගේම අපි දන්නවා, මා මීට පෙරත් කිව්වා, මේ කිසිවෙකුගේ ජීවිත අපිට ආපහු ලබා දෙන්න බැහැ. ඒක තමයි ඛේදනීය යථාර්ථය. අපිට ජීවිත ලබා දෙන්න බැහැ. හැබැයි ආණ්ඩුවක් හැටියට, පුරවැසියන් හැටියට අපිට තිබෙන වගකීම මොකක්ද? ජීවිතය ලබාදෙන එක අසීරු වේදනාකාරී යථාර්තය වුවත්, අපේ අපේක්ෂාව බවට පත්විය යුතු වන්නේ ජීවත් වෙන අයට මේ තිබෙන රට වඩාත් සුදුසු ගුණාංගවලින් පිරි රාජ්‍යයක් නිර්මාණය කිරීමයි. ඒ නිසා අපේ ආණ්ඩුව හැටියට අපි උපරිම ලෙස කැප වී තිබෙනවා. අපේ රටේ ජනතාවට මෙවැනි ඉරණම් අත්වීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමත්, මීට වඩා හොඳ රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහාත් උපරිම වෙහෙස මහන්සියෙන් කටයුතු කරන්න අපි ලෑස්තියි. අපි වෙත පවරා ගත්තු වගකීමක් අත්හැරිය නොහැකි, හෘදයාංගම බැඳීමක් වෙලා තිබෙන බව මා කල්පනා කරනවා.
ගරු සභාපතිතුමනි, ඕනෑම ව්‍යසනයකදී දේපල සහ මිනිස් ජීවිත උදුරා ගන්න පුළුවන්. හැබැයි අපිට එක දෙයක් පසක් කර තිබෙනවා. ලංකාවේ ජනතාව තුළ තිබෙන මනුස්සත්වය කිසිදු ව්‍යසනයකදී උදුරා ගන්න බැරි තරමේ ප්‍රභලතම ගුණාංගයක් බව මෙම ව්‍යසනයේ දී අපට ඔප්පුකොට තිබෙනවා.
මේ මොහොතේදිත් මාතර අය බදුල්ලට ගිහින් ඉන්නවා. ගාල්ලෙ අය මහනුවර ගිහිල්ලා ඉන්නවා. කළුතර අය නුවරඑළියට ගිහිල්ලා ඉන්නවා. හම්බන්තොට අය පුත්තලමට ගිහිල්ලා ඉන්නවා. කවදාවත් තමන් ඇවිදපු නැති පාරක, අනාගතයේ කවදාවත් තමන් එයි කියලා අපේක්ෂා නොකරන පාරක් ඔවුන් ශුද්ධ කරමින් ඉන්නවා. තමන්ට කවදාවත් නැවතුම් මධ්‍යස්ථානයක් ලෙස උපයෝගි කරගන්න ඉඩක් නොලැබෙන බස් නැවතුම්පොළක් සුද්ද කරමින් ඉන්නවා. තමන්ගේ ඥාතියෙක් නොවන, තමාගේ මිතුරෙක් නොවන, පළමු වතාවට මුණ ගැසෙන පුරවැසියාගේ ගෙදර පිරිසිදු කරමින් ඉන්නවා. ඔවුන්ගේ පානීය ජල අවශ් යතා සපුරන ළිං පිරිසුදු කරමින් තිබෙනවා. ගෙවල් පිරිසුදු කරමින් තිබෙනවා. අවතැන් කඳවුරුවල ඉන්න පුරවැසියන් එක්ව, තමන් හා සමාන ලෙස උරෙනුර ගැටී එම ජනතාවත් එක්ක දුක බෙදා ගනිමින් ඉන්නවා.
ඒක තමයි මම හිතන්නේ අපේ රට තුළ කුමණ ව්‍යසනයකදී වත් උදුරා ගන්න බැරි මනුස්සත්වය මෙම ව්‍යසනයේදී අපිට ඔප්පු කරමින් තිබෙනවා. ඉතාමත් කුඩා දරුවන් තමන් රුපියල දෙක එකතු කර ගත්තු කැටය ගෙනල්ලා සහන සේවා සඳහා දෝතින් පිරිනමනවා. තාත්තා කෙනෙක් කියනවා "මට තියෙන එකම සම්පත තමයි මේ මගේ වත්තේ තිබූ කෙසෙල් කැන, මම ඒක ගෙනල්ලා දෙන්නම්" කියලා පිරිනමනවා.
ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මේ මොහොතේදීත් අපේ මාතෘ භූමියේ සහ අපේ රටේ ජනතාවට ඇතිවී තිබෙන මේ ඛේදවාචකය පිළිබඳව දිවා රෑ නොබලා වෙහෙසෙමින් තිබෙනවා. ලේ බැංකුව ලේ ප්‍රමාණය අඩුයි කියලා දැනුම් දුන්නාට පසුව, මං හිතන්නෙ ඒකක එක්දාස් පන්සීයක් වගේ අඩුයි කියලා දැනුම් දුන්නාට පසුව ඒකක විසි දාහක් ලබාදීලා තිබෙනවා. ඒ තමයි කුමන ව්‍යසනය ආවත් මකා දමන්න බැරි අපේ රටේ මනුෂ්‍යත්වය.
මම විශ්වාස කරනවා, නමුත් මම දැක්කා සමහර මන්ත්‍රීවරු ඒ මනුෂ්‍යත්වයට උසුළු විසුළු කරනවා. මේ ජනතාව මොකක්ද කරන්නේ කියලා අහනවා. මොකක්ද දන්නවද? ලෝක ඉතිහාසයේ බිඳ වැටුණු සෑම රාජ්‍යක්ම ගොඩනැගීමේදී ප්‍රධානතම කාර්යය බවට පරිවර්තනය වුණේ එම ජනතාවගේ අභිලාෂ සහ ධෛර්යයයි. දෙවන ලෝක යුද්ධයේදී විශාල ප්‍රමාණයක් ජනතාව අහිමි වෙනකොට, එහිදී මිනිසුන්ගේ අප්‍රතිහත ධෛර්යය සහ කැප කිරීම්, පරිත්‍යාගයන් තමයි ලෝකයට සාමය කැඳවාගෙන ආවේ. බොහෝ රාජ්‍යයන් අද දියුණුවේ හිනිපෙත්තට ගමන් කළා යැයි කියන විට, ආර්ථික මාවත සහ උපාය මාර්ග වැදගත් වගේම ඒ ජනතාව තුළ තිබුණු ධෛර්යවන්ත මැදිහත්වීම තමයි එහි ප්‍රධාන සාධකය බවට පත් වුණේ. ජපානය නැගිටින්නේ එහෙමයි. චීනය නැගිටින්නේ එහෙමයි.
හැබැයි මම දැක්කා ඒ ජනතාවගේ ධෛර්යවන්තභාවය පිළිබඳවත් අවබෝධයක් නැති මන්ත්‍රීවරු උදේ පාන්දර ඉතාමත් උසුලු විසුලු කරමින් "මේ අය ගිහිල්ලා පාරවල්වල මොකක්ද කරන්නේ?" කියලා අහනවා. හොඳට තේරුම් ගන්න ඕන, මේ මිනිස්සුන්ගේ ධෛර්යය සහ ඒ විශ්වාසය තමයි අපට මේ රට ගොඩනැගිය හැකියි කියන ආලෝකය සහ මඟ පෙන්වීම කරන්නේ කියන බව මා කියන්න කැමතියි.
ගරු සභාපතිතුමනි, මේ ව්‍යසන ඇති වූ වෙලාවේ දී මෙම ව්‍යසනයෙන් අපේ රට මුදවා ගන්න, අපේ ජනතාව මුදවා ගැනීම සඳහා අපේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විශාල වෙහෙසක් දැරුවා. මම දන්නවා කලා වැවේ බස් රථයේ හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක්, කොයි මොහොතේ ජීවිතය තමන්ගෙන් නැති වේවිද කියන කම්පනය සහිතව හිටියේ. සමහර මන්ත්‍රීවරු "දැන් පැයෙන් පැයට... දැන් පැය දෙකයි... දැන් පැය තුනයි" කියලා නිවසේ ඉඳන් ෆේස්බුක් සටහන් ලිව්වා. හැබැයි ෆේස්බුක් සටහන් ලියන වේලාවේ දී අපේ නාවික හමුදාව ඔවුන්ව මුදවා ගැනීමේ වීරෝදාර ක්‍රියාදාමයක නිරත වෙලා තිබුණා. පුත්තලම දිසාවෙන් ඇතුල් වුණා, නමුත් මහා සැඩපහර නිසා පාර පනින්න බැරුව ගියා. නොච්චියාගම දිසාවෙන් ඇතුල් වුණා, එතැනදිත් සැඩපහර පනින්න බැරුව ගියා.
ඉතාමත් අසීරු වෙහෙසකර තත්වයක් යටතේ ඒ නාවික හමුදාවේ නිලධාරි කණ්ඩායමක් මෙම සැඩපහර පරාජයට පත්කර පියමං කරන්න වීරෝදාර පියවරක් ගත්තා. එහි ප්‍රතිඵලයක් හැටියට බස් රථයේ සිටි පිරිස වහලයක් තුළට ගේන්න සමත් වුණා. ඔවුන් වහලයට ගෙන කෙටි වේලාවකදී බස් එක ගහගෙන ගියා. හැබැයි මොකක්ද සිද්ධ වුණේ? ඒ නාවික හමුදා නිලධාරීන් ගමන් කරපු බෝට්ටුව ද අක්‍රිය වුණා. අවසානයේ කුමක් සිදු වුනි ද? ඒ බෝට්ටුවේ ගියපු නාවික හමුදා නිලධාරීන්ටත් තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා එම වහල මත ජීවත් වෙන්න සිදු වුණා.
පැය 18 කට අධික කාලයක් හැත්තෑවකට ආසන්න පිරිසක් ඇස්බැස්ටෝස් වහලක් මත, මහා සැඩ පහරක් මැද, ඔවුන්ට ජීවත් වෙන්න ධෛර්ය දුන්නේ එම නාවික හමුදාවේ නිලධාරීන් තුන් දෙනායි. ඔවුන් තමයි "මේක කරනවා" කියන විශ්වාසය ඇතුව හිටියේ.
අවසානයේදී ගුවන් හමුදාවෙන් යානා වර්ග දෙකක් ආවා. පලවෙනි යානය ටිකක් ලොකු යානයක් නිසා කිට්ටු කරන්න බැහැ. දෙවැනි යානය ආවා, වාහනේ ගාවට කිට්ටු කරලා ගලවා ගෙන යනවා. එක් ගුවන් යානයක් චයිනා බේ වලට ගියා. විශේෂ පුහුණුව ලත් නාවික හමුදා නිලධාරීන් සහ ඊට අවශ්‍ය වෙන බෝට්ටු ගෙනැවිත්, ඡායාරූපවලට ගුවන්යානා ගියාට පස්සේ චයිනාබේ වලින් ගුවන් යානය ගුවන්ගත කරන්න බැහැ, අනුරාධපුරේ කාලගුණ තත්වය අයහපත් නිසා. නැවත ට්‍රක් රථයක නැගිලා ත්‍රිකුණාමලේ ඉඳන් නොච්චියාගම දක්වා පාන්දර තුනහමාරට එම නාවික හමුදා නිලධාරීන් නොච්චියාගම එනකොට, එතකොටත් මහත්වරු ෆේස්බුක් එකේ සටහන් ලියනවා "දැන් පැය දාහතයි" කියලා.
මතක තියාගන්න, ඉතාමත් දුෂ්කර ව්‍යායාමයක්. පළමු පාර යන්න ගියා, සැඩපහරට අහු වී ආපහු ආවා. ස්තුතිවන්ත වෙන්නේ ගමේ ඉන්න තරුණයන් දෙදෙනෙක්ට. ඒ පාර වෙනුවට වෙන පාරක් පෙන්නලා දුන්නා. ඒ පාර අනුව ගිහිල්ලා මේ හැත්ත දෙදෙනාම නිරුපද්‍රිතව මුදවා ගන්න සමත් වුනා. එක්කෙනෙක් රෝහල් ගත වුණාට පස්සේ මිය ගියා.
එවැනි කාර්යක්ෂම ත්‍රිවිධ හමුදාවක් සහ පොලීසියක් අපිට ඉන්නවා. විචි කුලී ෆාම් එකේ හිරවෙලා හිටපු කණ්ඩායම මුදවාගන්න ගිය බෝට්ටු දෙකක්, ඒ දෙකම අක්‍රිය බවට පත් වුණා. අපේ ආනන්ද විජේපාල මැතිතුමා ඇමතුමක් දෙන්න උත්සාහ කළා. නමුත් අවසානයේදී පහුවදා උදේ පාන්දර තමයි ඔවුන්ව මුදා ගන්න පුළුවන් වුණේ. නොච්චියාගම ප්‍රදේශයේ ස්ථාන දෙකක ගල් වෙලා හිටියා. ස්ථාන දෙකක අවතැන් වෙලා හිටියේ. අනුරාධපුර නගරයේ ගස් උඩ හිටිය, සමහර තැන් වල පොල්ගස්වල නැගලා පුරවැසියන් ජීවිතය බේරාගැනීමට උත්සාහ කරමින් තිබුණා. කලා ඔය පහල පොල්ගස්වල හිටියා. හැබැයි අපේ ගුවන් හමුදාවත් ඉතාමත් වික්‍රමාන්විත වීරෝදාර ක්‍රියාවක් කරමින් ඔවුන්ව මුදවා ගන්න සමත් වුණා.
ඊට පස්සේ අපිට වාර්තාවෙනවා මාවිල්ආරු බැම්ම කඩාගෙන යෑමේ අනතුරට මුහුණ දෙනවා කියලා. මට රාත්‍රී දොළහට කතා කළේ සේරුවිල අපේ හාමුදුරුවන් වහන්සේ. මේ බැම්ම කඩාගෙන ගොස් පාන්දර තුනට විතර වන විටත් අපේ දේශපාලන අධිකාරිය මැදිහත් වෙමින් තිබුණා. ඒ වෙලාවේ නැවත හමුදාව, පොලීසිය සහ ප්රගතිශීලී පුරවැසියන් මැදිහත් වෙලා, ගෙවල්වල නිදාගෙන ඉන්න අය බැහැර කරලා, සේරුවිල පන්සල තියෙන්නේ ප්‍රදේශයේ උස් බිම් කණ්ඩියක නිසා එතෙන්ට ගෙනාවා. ඒ නිසා දහස් ගණනක් බේරගත්තා. කවුද? අපේ රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය.
හැබැයි ඒ වගේ ම දන්නවා එම මෙහෙයුමේදී විශේෂයෙන්ම අපි ඉතාමත් නිර්භීත, අපේ නිර්මාල් සියඹලාපිටිය කියන ගුවන් හමුදා නිලධාරියා මේ වික්‍රමාන්විත ක්‍රියා දාමය හරහා ජීවිතක්ෂයට පත්වුණා. ඔහු මිය යන මොහොතේ දී අනෙකාගේ ජීවිතය ගැන කල්පනා කරමින් මියගිය මිනිසෙක්. ඉතිහාසය ඒ මිනිසුන්ගේ කතාවලින් ලියවෙන බව මතක තබා ගන්න ඕනා. මේ වහසිබස් දොඩන මිනිසුන්ට වඩා ඔවුන්ව මතක තබාගත යුතුයි.
ඒ වගේම චුන්ඩිකුලි ප්‍රදේශයේ මෝය කට කපන්න ගියා. ඒක ඉතාමත් වෙහෙසකර ව්‍යායාමයක් සහ ඉතාමත් බිහිසුණු ක්‍රියාවක්. ඒ පළාතේ තමාගේ ඥාතියෙක් නෑ, තමන්ගේ මිතුරෙක් නෑ. ඒත් නාවික හමුදාවේ නිලධාරීන් පස්දෙනෙක් සැඩ පහරට අහුවෙලා අතුරුදන් වුණා. අපි විශාල වෙහෙසක් දැරුවා ඔවුන්ව හොයාගන්න, තාමත් අපිට හොයා ගන්න බැරි වී තිබෙනවා. මම දන්නවා අපේ උතුරේ දේශපාලනඥයින් මේක තේරුම් ගත යුතුයි.
ඒ වගේම ධර්මදාස පොලිස් මහත්මිය තම රාජකාරිය නිම වෙලා ගෙදර යනකොට මේ ව්‍යසනය හේතුකොටගෙන මිය ගියා. ඔවුන් මොකක් වුනත් රාජකාරි කරලා, දිවා රෑ නොබලා පුරවැසියන් බලා ගැනීම වෙනුවෙන් රාජකාරිය ඉටු කරන්න සමත් වුණා. ඒ වගේම සීගිරිය ප්‍රදේශයේ පදිංචි විදුලි බල මණ්ඩලයේ වැඩ කරන අනුරුද්ධ කුමාර කියන මහත්මයාට දිවි දෙන්න සිද්ද වුණා. මේ ආර්ථිකයත් ජන ජීවිතයත් ඉක්මනින් යථාවත් කරන්න නම් විදුලිය ලබාදීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක්.
ඒ නිසා මේ ව්‍යසනයේදී අපේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ රාජ්‍ය සේවය විශාල කාර්යක් ඉටු කළා. විශේෂයෙන්ම අපේ දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු එක්ක අපි මධ්‍යම රාත්‍රියේ, පාන්දර පවා සබඳතා පවත්වමින් කතාකළා. ඔවුන් නිදි වර්ජිතව ඉතාමත් වෙහෙසකර දුෂ්කර ව්‍යායාමයක යෙදුණා. ප්‍රාදේශීය ලේකම්තුමා කල්පනා කරනවා තමන්ගේ බල ප්‍රදේශයේ කිසි කෙනෙකුට අනතුරක් නොවිය යුතුයි කියලා. ග්‍රාමසේවා නිලධාරිතුමා කල්පනා කරනවා තමන්ගෙ වසමේ කෙනෙකුට හානියක් නොවිය යුතුයි කියලා. දිස්ත්‍රික් ලේකම්තුමා කල්පනා කරනවා තමන්ගේ දිස්ත්‍රික්කයේ කෙනෙකුට හානියක් නොවිය යුතුයි කියලා.
හැබැයි කණගාටුවට කරුණ, ඒ ව්‍යසන සිද්ධ වෙන වෙලාවෙදිත් සීත කාමරවල සිටින මහත්වරු ලස්සනට ඇඳ පැළඳගෙන, සුවඳ විලවුන් ගාගෙන ගිහිල්ලා ඒ දිසාපතිවරුන්ගෙන් ප්‍රශ්න කරනවා "කොතනද මේ තියෙන්නේ?" කියලා. ඒ නිසා අපි මේ රාජ්‍ය සේවය මේ ව්‍යසනයේදී ඉටු කළ කාර්යභාරය පිළිබඳව බෙහෙවින්ම ස්තුතිවන්ත විය යුතුයි. විශේෂයෙන් සඳහන් කළ යුතුයි අපේ සෞඛ්‍ය සේවා අංශ මෙවැනි ව්‍යසනයකදී වඩාත් කාර්යක්ෂමව ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා, ඔවුන් රැක බලා ගැනීම සඳහා විශාල කාර්යක්ෂම සේවයක් ලබා දුන්නා. ඒ වගේම කලින් කියූ පරිදිම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් හැමවිටම අපේ රටේ කුමන හෝ තත්ත්වයක් ඇතිවෙනවා නම් කම්පනයකින් යුතුව මේ කාර්යයට මැදිහත් වුණා.
අපි දන්නවා අපේ මිතුරු රාජ්‍යයන් ගැන. අපට මුදවා ගැනීමේ මෙවලම් තිබෙන්නේ ඉතාමත් අඩුවෙන්. පසුව වාර්තාකරණය පිළිබඳව සහ මෙවැනි ව්‍යසනයකට මුහුණ දීම සඳහා අවශ්‍ය යටිතල පහසුම් අපිට තිබුණේ ඉතාමත් අඩුවෙන්. හැබැයි අපේ අසල්වැසි රාජ්‍යයන් ඉතා වේගයෙන් අපිට අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම සඳහා හෙලිකොප්ටර්, බෝට්ටු, රථ සහ අනෙකුත් යන්ත්‍රෝපකරණ, ඒ වගේම පුහුණු භට පිරිස් සහ පුහුණු සෞඛ්‍ය පිරිස් අපිට ලබා දී තිබෙනවා. ඒ නිසා මා ඒ සියලු විදෙස් රාජ්‍යයන්ට සහ අපේ මිතුරන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාව මේ ඇති වූ අර්බුදයෙන් මුදවා ගැනීම සඳහා දරන ලද වෙහෙසට.
දැන් ඊළඟට අපිට තියෙන්නේ කුමක්ද? ඊළඟ අපේ ප්‍රධාන කාර්යභාරය බවට පත් වෙන්නේ මේ කාර්යයට මුදවා ගන්නේ කොහොමද කියන එකයි. විශේෂයෙන්ම අපි හදිසි නීතිය පැනෙව්වා. මම ස්තුතිවන්ත වෙනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල සියලු නායකයින් ඇවිල්ලා 28 වෙනිදා උදේ අපි හම්බ වුණා. 28 වෙනිදා උදේ හදිසි නීතිය පනවා නැහැ. ඔවුන් ඉල්ලීමක් කළා. අපි දෙපාර්ශ්වය සාකච්ඡා කරමින් හිටියා, "මේ ව්‍යසනයට මුහුණ දෙන මහජන ආරක්ෂක පනතෙන් අපිට ලබා දීලා තියෙන බලතල අනුව ද, නැත්නම් ව්‍යසන කළමනාකරණ පනත ලබාදී තිබෙන බලතල අනුව ද අපි මේක ක්‍රියාත්මක වෙන්නෙ?" කියලා.
අපි බලමු මොකක්ද සිද්ධ වුණේ කියලා. එක් මන්ත්‍රීවරයෙක් ඝෝෂා කරනවා ව්‍යසන කළමනාකරණ පනත අනුව ජනාධිපතිට ඒක කළ යුතුමයි කියලා. නමුත් මා එතුමාටත් රටටත් දැනගැනීම පිණිස කියන්න කැමතියි, ව්‍යසන කළමනාකරණ පනත තිබෙන්නේ මුළු රටේම ව්‍යසන තත්වයක් පවතින බව ප්‍රකාශයට පත්කිරීමටයි. ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ව්‍යසන කළමනාකරණ පනත යටතේ ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මහජන ආරක්ෂක පනත යටතේ අපිට ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.
එත් අපි මුහුණ දීපු ප්‍රශ්න මොකක්ද? ව්‍යසන කළමනාකරණ පනත බැලුවොත්, අවුරුදු හතකට පස්සේ ව්‍යසන කළමනාකරණ සභාව කැඳෙව්වේ පසුගිය අගෝස්තු මස 6 වැනිදා. විපක්ෂ නායකතුමා නියෝජනය කරන විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන මරික්කාර් මැතිතුමා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සහ විපක්ෂ නායකතුමා ඊට සහභාගි වුණා. මම ඒ ව්‍යසන සිදු වුණාට පස්සේ ඒ සභාව කැඳවූ විට විපක්ෂ නායකතුමා සහභාගි වුණා. ඒ ව්‍යසන කළමනාකරණ සභාවේ අපි ගත්තු තීන්දුව මොකක්ද? මේ ව්‍යසන කළමනාකරණ පනත දුබල බව. ඒ නිසා මේක සංශෝධනය කළ යුතු බව තමයි අපි තීරණය බවට පත් වුණේ. ව්‍යසන කළමනාකරණ පනත මෙවැනි අභියෝගයකට මුහුණ දීම සඳහා ශක්තිමත් පනතක් නොවේ.
ඒ විතරක් නෙවෙයි, ඒ පනත අනුව ව්‍යසන කළමනාකරණ සැලැස්මක් පිළියෙළ කිරීම සෑම අමාත්‍යාංශයකම, ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල සහ රාජ්‍ය සංස්ථාවල කාර්යයක් වන්නේය. එවැනි ව්‍යසන කළමනාකරණ පනතක් ක්‍රියාත්මක කරන්න නම් සෑම අමාත්‍යාංශයක්ම, සෑම දෙපාර්තමේන්තුවක්ම, සෑම ආයතනයක්ම තමන්ගේ ව්‍යසන කළමනාකරණ සැලැස්ම හදලා තියෙන්න ඕන. හැබැයි සැලැස්මක් නෑ. එතකොට අපි කල්පනා කරා ව්‍යසන කළමනාකරණ පනත යටතේ යන එක දුබලයි, මේ අවස්ථාවට මුහුණ දෙන්න බෑ කියලා.
ඒ නිසා වඩාත් ශක්තිමත් වෙන්නේ කුමක්ද? වඩා ශක්තිමත් වෙන්නේ මහජන ආරක්ෂක පනතේ දෙවැනි අධිකාරියට තියෙන බලය ක්‍රියාත්මක කිරීම. ඒ අනුව තමයි විපක්ෂනායකවරයා සහ ඔවුන් විශේෂයෙන් ඉල්ලා සිටියේ හදිසි නීතිය පනවන්නට. ඒ නිසා අපි මහජන ආරක්ෂක පනත යටතේ තමයි මේ නියෝග පැනවූයේ. ඒ තමයි අද සම්මත කරගන්න ඉල්ලන්නේ. ඇයි? සාමාන්‍ය නීතිය අපට ප්‍රමාණවත් නෑ මෙවැනි ව්‍යසනයකදී. මෙවැනි ව්‍යසනයකදී එයට මුහුණ දීම සඳහා සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් නෑ. සාමාන්‍ය නීතියට උඩින් තිබෙන ශක්තිමත් නීතියක් අපිට අවශ්‍යයි. ඒ අනුව තමයි අපිට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කිරීමේ හැකියාව ලැබුණේ. ඒ අනුව තමයි අපිට මාතර වැඩකරන ආර්.ඩී.ඒ. (RDA) නිලධාරියා බදුල්ලට යවන්න පුළුවන්කම ලැබුණේ. ඒ අනුව තමයි මාතර ප්‍රාදේශීය සභාවේ උපකරණ බදුල්ලේ වැඩ කරන්න යවන්න පුළුවන්කම ලැබුණේ.
ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා, කිසිසේත්ම ව්‍යවස්ථාව හෝ පනත් උල්ලංඝනය කළේ නෑ. අපි බැලුවේ මේ ව්‍යසනයට මුහුණ දීම සඳහා වඩාත් යෝග්‍ය පනත කුමක්ද, වඩාත් යෝග්‍ය නීතිය මොකක්ද කියලයි. අපි කල්පනා කරා වඩාත් යෝග්‍ය නීතිය මහජන ආරක්ෂක පනත කියලා. ඒකට විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහ නායකයන්ගේ සහායත් ලැබුණා, මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.
මේ මහජන ආරක්ෂක පනත කිසිසේත්ම ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් උල්ලංඝනය කිරීම සඳහා උපයෝගී කරගන්නේ නෑ. මා දැක්කා විශාල ආන්දෝලනයක් තුඩු දෙනවා යම් ප්‍රකාශයක් පිළිබඳව. කිසිසේත් හිතන්න එපා මාව හෝ අපේ අමාත්‍යවරුන්ව විවේචනය කිරීම් අපි ගණන් ගනීවි කියලා. අවලාද අදාළ වෙන්නේ නෑ. මට පෞද්ගලිකව ගත්තොත් අවුරුදු පහළොවක් තිස්සේ කියන අවලාද තියෙනවා. ඒකට සාමාන්‍ය නීතියේ ක්‍රියාමාර්ග තියෙනවා. මට ඕන විදිහට ලේක් හවුස් එකින් අවලාදයක් ගැහුවොත් මම උසාවියට ගියා, මට ලක්ෂ දහයක වන්දියක් ගෙව්වා. ඔය විදිහට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මගේ මුදල් පිළිබඳව අවලාදයක් ගැහුවොත්, අධිකරණයෙන් සමාව ගත්තා. ජනවාරි මාසෙත් එක්කෙනෙක් සමාව ගන්න ඉන්නවා. ඒක තමයි සාමාන්‍ය නීතිය. අපි කිසිසේත්ම මෙම නීතිය උපයෝගි කරගන්නෙ නෑ එවැනි දේ සඳහා.
හැබැයි මෙම නීති උපයෝගි කරගන්නවා ජනතාව බියවද්දන්න, ජනතාව නොමග යවන්න, මේ සාමකාමී තත්ත්වය අවුල් කිරීම සඳහා කටයුතු කරන අයට එරෙහිව. ව්‍යසනකාරී ප්‍රජාව ඇතුළේ යම් ගැටුම්කාරී ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීම සඳහා කවුරුහරි උත්සාහ කරනවා නම්, එය මේ ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා අපි කරන සැලැස්මට බාධාවක්. ඒ පැත්තෙන් පමණයි අපි මේ නීති උපයෝගී කරගන්නේ. එමෙන්ම කිසිසේත්ම ජනතාවගේ අදහස් ලිවීමට, අදහස් කීමට, මඩ අවලාද වලට මෙම නීති පාවිච්චි කරන්නේ නැහැ.
නමුත් මේ ව්‍යසන තත්ත්වයෙන් අපේ රට මුදවා ගැනීම සඳහා දරන ක්‍රියාමාර්ග වියවුල් කරන්න ඉඩ දෙන්න බැහැ. එක් මන්ත්‍රීවරයෙක් කිව්වා "ගම්පොළ දාහක් මැරුණා" කියලා එලියට ගිහින් කිව්වොත් නඩු දානවා කියලා. අද රට කුලප්පු කරවන්න බැහැ. ගම්පොළ දහසක් මිය ගියා කියල මෙතුමා කෑගහලා කියනකොට, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා ඉන්න පුළුවන්. හැබැයි ගම්පොළ ප්‍රදේශයේ ජීවත්වන පුරවැසියන් මොන තරම් බියට පත් වෙයිද? මොකක්ද කල්පනා කරන්නේ? ඒ වගේම ගම්පොළ ආශ්‍රිතව ඉන්නේ මුස්ලිම් ජන ප්‍රජාවක්. කට්ටිය කල්පනා කරනවා මුස්ලිම් ප්‍රජාවට අඩු සැලකිල්ලක් තියෙනවා කියලා. පුළුවන් නම් එලියෙ ගිහින් කියන්න. අන්න ඒවට නම් මේ නීති උපයෝගි කරගන්නවා. මම කියනවා, අපට අවශ්‍යව තිබෙන්නේ ඉතාමත් සාමකාමී, ප්‍රවේශම් සහගත මැදිහත්වීමක් මේ රට ගොඩ නැගීම සඳහා.
පාර්ලිමේන්තුවේත් මම දැක්කා 26 වැනි දා වගේ, 27 වගේ පාර්ලිමේන්තුව විශාල ලෙස ආන්දෝලනයට තුඩු දුන්නා, ප්‍රාදේශීය ලේකම්වරුන්ට මුදල් නිදහස් කරන්න පුළුවන්ද, මුදල් හිතු සේ පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. සමහරු කියන්න පටන් ගත්තා රාජ්‍ය සේවය අකර්මන්‍ය වෙලා තියෙනවා කියලා, රාජ්‍ය නිලධාරීන් බයයි කියලා. මේවා බොරු. සමහරු කිව්වා රාජ්‍ය නිලධාරීන්ට මොනවා හරි වුණොත් ඒගොල්ලො පෙනී හිටිනවා කියලා. මම කියන්නම්, මේ ව්‍යායාමයේ දී සද්භාවයෙන් මේ කාර්යයන් කිරීම සඳහා මැදිහත් වුණ හැම නිලධාරියෙක්ම අපි ආරක්ෂා කරගන්නවා.
ලංකාවේ පළමු වතාවට අපි ප්‍රාදේශීය ලේකම්වරයෙකුට ලක්ෂ 500 දක්වා වියදම් කිරීමේ බලයක් දුන්නා. දිස්ත්‍රික් ලේකම්වරයෙකුට ලක්ෂ 1000 දක්වා (මිලියන 100) වියදම් කිරීමේ බලය දුන්නා. අමාත්‍යංශ ලේකම්වරයෙකුට ලක්ෂ දහස දක්වා වියදම් කිරීමේ බලය දුන්නා. ඇයි? අපි විශ්වාස කරනවා නිලධාරීන් මෙවැනි ව්‍යසනයකදී විශාල අල්ලස දූෂණය කරමින් අයතා ලෙස උපයා ගනීවි කියලා අපි හිතන්නෙ නෑ. අපි මේ රාජ්‍ය සේවය විශ්වාස කළා. ප්‍රබල ලෙස විශ්වාස කළා. එහෙම නැතිව රටක් ඉස්සරහට ගෙනියන්න බැහැ.
හැබැයි අපට විවේචනයක් එනවා. කාත් එක්කද? පරණ දේශපාලන බළල් අත් එක්ක එකතුවෙලා කරපු විනාශයන් තියෙනවා. ඒවාට අදාළ නීතිමය ක්‍රියාමාර්ග කරා යාවි. ඇයි අපි එහෙම නිදහසක් දුන්නේ? දැන් අපි දන්නවා අපිට ගුවන් තොටුපල වේගයෙන් ක්‍රියාත්මක කරගන්න ඕනකම තිබුණා. වරාය වේගයෙන් සක්‍රිය කරගන්න ඕනකම තිබුණා. හැබැයි ගුවන්තොටුපොළේ සේවකයින්ට එන්න බැරිනම්, වරාය සේවකයින්ට එන්න බැරිනම්, අපි ලේකම්වරයාට බලයක් දෙනවා ඔබගේ නිලධාරීන් ආසන්න හෝටලයක රඳවා ගන්න වියදම් දරන්න කියලා. ග්‍රාමසේවක මහත්මයාටත් රුපියල් පනස් දහසක් වියදම් කිරීමේ බලය දුන්නේ ඇයි? මේ ව්‍යසනයේ දී සාම්ප්‍රදායික චක්‍රලේඛ, සාම්ප්‍රදායික නීති තිබිය යුතුයි, හැබැයි මෙවැනි ව්‍යසනයකදී අපි කොටු වෙන්න ඕනෑ නැහැ කියලා අපි සියල්ල නිදහස් කර දුන්නා, පුරවැසියන්ට සහන සැපයීම සඳහා අවශ්‍ය කාර්යයන් කරන්න.
ඊළඟ අපේ ප්‍රධාන මැදිහත්වීම බවට පත්වුණේ දැන් තත්වය පිළිබඳවයි. විශේෂයෙන්ම අපි දන්නවා තාමත් විශාල පිරිසක් අවතැන් කඳවුරුවල ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් අවතැන් වූ පවුල් පනස්පන්දහසක්, එක්ලක්ෂ හතලිස් හතක් වගේ වාර්තා වුණා. ලක්ෂ 4 කට ආසන්න ප්‍රමාණයක්, සමහරවිට හාරදාහකට අවශ්‍ය පවුල් ප්‍රමාණයක් නැවත තියෙන තැන්වල ඉන්නවා. පුරවැසියන්ගේ ඉල්ලීම් නිසා අපි ඉතා වේගයෙන් නිවාස ස්ථාන, විදුලිය සහ අනෙකුත් සන්නිවේදන මාර්ග සකස් කරලා ඒ ගොල්ලන්ට එතෙන්ට යන්න පුළුවන් වෙන වටපිටාව හදලා දෙනවා.
අපි කල්පනා කරනවා, පූර්ණ හානි වෙලා තියෙන නිවාස දැනට පන්දහස් එකසිය හැට පහක් (5,165) පමණ වාර්තා වෙනවා. ඒ වගේම අර්ධ නිවාස හානි වාර්තා වෙනවා පනස් හත් දහස් තුන්සිය දොළහක් (57,312). ඒ වගේම ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් මේ ව්‍යසනයට ගොදුරු බවට පත්වෙලා තිබෙනවා. ඒක සැලකිය යුතු ප්‍රමාණයක්. අපේ ආර්ථිකයට දරා ගන්න බැරි, ආර්ථිකයට ටිකක් ඔරොත්තු නොදෙන තත්ත්වයක් මතුවෙලා තිබෙනවා.
අපි දන්නවා අපේ රටේ ආර්ථිකය තියෙන්නේ හොඳම තැනක නොවන බව අපි කවුරුත් දන්නවා. අපේ රටේ ආර්ථිකය බාහිරින් එන කුඩා කම්පනයටත් ඔරොත්තු දෙන්න බැහැ. අභ්‍යන්තර කම්පනයටත් ඔරොත්තු දෙන්න බැහැ. අපි මේ ආර්ථිකය ඉතාමත් මැනවින්, සීරුවෙන් කල්පනා කරමින් ඉස්සරහට යන ගමනක් මේ යන්නේ. හැබැයි සමහර වියරු මනසක් තියෙන අය කුරිරු බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා. අපේ ආර්ථිකය ගැන කුරිරු බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නවා.
ඔබට මතක ඇති, අපේ ආසන්නයේ යුද්ධයක් මතුවෙනවා, යුද්ධයක් ඇතිවිය හැකියි කියලා ආන්දෝලනයට තුඩු දුන්නා. ඒ වෙලාවේදී කුරිරු බලාපොරොත්තුවක් තිබුණා කොළඹට බෝම්බ දායි කියලා. නැවත මැදපෙරදිග කලාපයේ යුදමය තත්වයක් වාර්තා වුණු අතර තෙල් මිල ඉහළ යයි, ගෑස් මිල ඉහළ යයි, ආර්ථිකය කඩා වැටෙයි කියලා කුරිරු බලාපොරොත්තුවක් තිබුණා. එසේම එක්සත් ජනපදය විසින් ඔවුන්ගේම ප්‍රතිපත්තිවලට අනුරූපව බදු ප්‍රතිශතයන් තීරණය කළාම, කුරිරු බලාපොරොත්තුවක් තිබුණා කර්මාන්ත කඩා වැටෙයි, අපනයනයන් කඩා වැටෙයි, ලක්ෂ තුනහමාරක හතරකට රස්සා නැති වෙයි කියලා. අන්න ඒ කුරිරු බලාපොරොත්තුව තමයි මේ ගංවතුරෙනුත් පෙන්නුවේ.
සමහර මන්ත්‍රීවරුන්ට මම ස්තුතිවන්ත වෙනවා. විපක්ෂයේ වුනත් සද්භාවයෙන් මේකට මැදිහත්වීම ගැන. අපිට කතා කළ මන්ත්‍රීවරු ඉන්නවා. අපිට පණිවිඩයක් දුන්න මන්ත්‍රීවරු ඉන්නවා. "සමහර තැන්වල මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, මොකක් හරි කරන්න" කියපු මන්ත්‍රීවරු ඉන්නවා. හැබැයි මේ ඇතුළෙත් කුරිරු මනසකින් යුතු, වියරු බලාපොරොත්තුවෙන් ජීවත් වෙන මන්ත්‍රීවරු ගැන මේ රට ලජ්ජා විය යුතුයි. මේ හැමදෙනාම මේ අයගේ කතිරෙන් පාර්ලිමේන්තු ආපු අය. තමන්ව මේ පාර්ලිමේන්තුවට එවන්න වැඩකරපු, කතිරෙ ගහපු පුරවැසියන් ඉන්නවා. හැබැයි මන්ත්‍රීවරුන්ගේ අභිලාෂය මොකක්ද? "ගම්පොළින් දාහයි" කියනවා. මොකක්ද මේ? එවැනි කුරිරු මනසට ඉඩ දිය යුතුද?
ඒ නිසා මම දන්නවා, විශේෂයෙන්ම ගත්තොත් එවැනි බාහිර බලපෑමකට හෝ කම්පනයට ඔරොත්තු දීමේ හැකියාවක් නෑ අපේ ආර්ථිකයට. ඒ වගේම මෙවැනි අභ්‍යන්තර ව්‍යසනයක් අපේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරන බව අපි දන්නවා. මොකද අපි සීරුවෙන් ආර්ථිකය ගොඩනගමින් ඉන්න අවස්ථාවක් මේක. එක්දහස් නමසිය හැත්තෑ හතෙන් පස්සේ අඩුම අයවැය හිඟය වාර්තා කරන්නේ මේ දෙදහස් විසිපහ (2025) වසරේ. හැත්තෑ හතෙන් පස්සේ අවුරුදු හතළිස් අටකට පසුව ලංකාවේ අඩුම අයවැය හිඟය මේ 2025 වාර්තා කරමින් නැගිටිමින් ඉන්න රටක් අපි.
දෙදාස් හතෙන් පසුව ලංකාවේ වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කරනවා. ආසන්න වශයෙන් 16.6% ක් තිබුණා. මේ අවුරුද්දේ අපි 15.9% ක ආදායමක් වාර්තා කරමින් සිටිනවා. 1977 අයවැය හිඟය 4.5% යි. මේ අවුරුද්දේ අයවැය හිඟය 4.35% දක්වා අඩු වෙනවා. අපි නැගිටිනවා. ආදායම් වැඩි වුණා. පොලී අනුපාතික දීර්ඝ කාලයක් තනි ඉලක්කමේ තියාගෙන ඉන්න අපි සමත්වී තිබෙනවා. අපේ අපනයන ආදායම වර්ධනය වෙමින් තිබෙනවා. අපේ සංචාරක ආදායම් වැඩිවෙමින් තිබෙනවා. අපේ විදේශ සංක්‍රාම වැඩිවෙමින් තිබෙනවා. පිරිස මම හිතනවා අපි ඉතාමත් ශක්තිමත්ව නැගිටිමින් ඉන්න වෙලාවක්.
එතන මම දැක්කා මේ පාර්ලිමේන්තුවේ දිගටම කරුණු ඉදිරිපත් කළා ආණ්ඩුව වියදම් කරලා නැහැ කියලා. අපි අයවැය ලේඛනය ඉදිරිපත් කෙරුවේ මාර්තු මාසයේ විසි එක්වනදා. අයවැය සම්මත කර ඒ හා සමාන ලෙසම පළාත් පාලන මැතිවරණයක් තිබුණා. ඒ මැතිවරණය වුණේ මැයි මාසයේ 6 වැනිදා. බාධාවන් තිබුණු නිසා රටට වියදම් කරන්න පටන් ගන්නේ මැයි මාසයේ 6 වෙනිදා සිටයි. අනෙක් හැම අයවැය ලේඛනයකටම ජනවාරි පළවෙනිදා සිට වියදම් කිරීමේ හැකියාව ලැබුණා. අපිට වියදම් කිරීමේ හැකියාව ලැබුණේ මැයි මාසයේ. එහෙම වියදම් කළත් අපේ ප්‍රාග්ධන වියදම් කොයි මට්ටමේ ද තියෙන්නේ?
මම කියන්නම්. 2021 නොවෙම්බර් මාසය වෙනකොට ප්‍රාග්ධන වියදම් සියයට 41.9 යි. 2022 දී 43.1% යි. 2023 දී 37.4% යි. 2024 දී 41.2% යි. 2025 වන විට 45.6% යි. ඒ අනුව 2021 න් පසුව, මැයි මාසයේ ආරම්භ කරලා වැඩිම ප්‍රාග්ධන වියදම් දරපු වර්ෂය බවට පත් වෙලා තිබෙනවා. මේ දෙසැම්බර් මාසයේ ගෙවීමට නියමිතව තිබුණු විශාල බිල් අගයකින් ප්‍රාග්ධන වියදම තවත් වැඩි වන බවට විශ්වාස කෙරෙනවා. අපි ඒ අතින්, වසර ගණනාවකට පස්සේ නැගිටිමින් තිබුණු රාජ්‍යයක්.
හැබැයි අපිට නැගිටින්න තිබුණු රාජ්‍යයට මේ එල්ල කළ ප්‍රහාරය යම් ප්‍රමාණයක බලපෑමක් ඇති කරනවා. අපි රාජ්‍ය සේවක වැටුප් වැඩි කරලා තිබෙනවා. අපි රාජ්‍ය සේවයට හැත්ත හයදාහක් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. ඉන් දොළොස් දහස් ගණනක් ම තියෙන්නේ උපාධිධාරීන්. මා කියන්නේ ඔවුන්ට ඉතාමත් හොඳ තරග විභාගයකින්, ඉතාමත් හොඳ ඉදිරි අනාගතයක් පිළිබඳව රැකියාවට අවතීර්ණ වෙන්න පුළුවන්. උපාධිධාරීන් දොළොස් දාහකට දැනටමත් සුදුසුකම වන රැකියා දොළොස්දාහක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ හැම කෙනාම අද රස්සාවට වාඩි උනොත් එයාට අද වැඩක් තියෙනවා, උසස්වීම් තියෙන අනාගතයක් තියෙනවා. අපි හදලා තියෙනවා.
එලෙස අපි නැගිටිමින් ඉන්න වෙලාවක තමයි අපිට මේ ප්‍රහාර එල්ල වුණේ. ඒක සැලකිය යුතු බලපෑමක් අපිට ඇති කරමින් තිබෙනවා. ඒ වගේම මා දැක්කා අපේ ආදායම් ඉලක්ක ගැන කියනකොට බොහෝ අය අපිට කිව්වා, අපි මේ ඇතිවෙනකම් බදු ගහලා තමයි මේ ආදායම් ඉලක්ක සපුරාගත්තේ කියලා. මම කියන්න කැමතියි 2024 තිබුණු බදු අඩු කරලා තියෙන්නේ. අපි 2025 සඳහා වාහන ආනයනය හැරුණුකොට වෙන අමතර බදු පනවලා නෑ.
පැරණි ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී තිබුණු ආදායම් ඉලක්කයක් තිබුණා. ඒ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා තිබුණු බදු වලට අමතරව තව බදු යෝජනා වෙලා තිබුණා. ඩිජිටල් සේවා බද්ද පසුගිය අප්‍රේල් මාසේ ඉඳන් ක්‍රියාත්මක වෙන්න තිබුණා. දේපළ බද්ද අප්‍රේල් මාසේ ඉඳන් ක්‍රියාත්මක වෙන්න තිබුණා. එහෙම තමයි පැරණි ආණ්ඩුව මේ 15.2% ක ආදායම් උපයාගන්න සැලසුම් කර තිබුණේ.
අපි මොකද කළේ? ඩිජිටල් සේවා බද්ද අඩු කළා. පැනවීම ලබන අවුරුද්දේ අප්‍රේල් දක්වා කල් තිබ්බා. දේපල බද්ද පනවන්න නියමිතව තිබුණා, අපි 2026 පනවන්නෙත් නෑ. අපි නැවත ඒක සමාලෝචනය කරමින් ඒ ගැන කල්පනා කරන්න 2027 දී කියලා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දීලා තිබුණේ. එකඟතාවකට ඇවිත් තියෙනවා. අලුත් බදු පනවන්නේ නැහැ, තියෙන බදු ඉවත් කළා. අපි ඊළඟ බජට් එකෙන් බදු ප්‍රමාණය අඩු කරන්න අඩු කරලා දුන්නා. කිරි ආශ්රිත නිෂ්පාදන සහ යෝගට් වල බද්ද මුළුමනින්ම ඉවත් කරලා දුන්නා. එතන මම දැක්කා මෙතන ගොඩක් මන්ත්‍රීවරු කෑගහනවා "බදු ගහලා, බදු ගහලා තමයි එකතු කරගත්තේ" කියලා.
මම හැම දෙනාටම කියන්න කැමති වාහන හැරුණුකොට අන් සියලු බදු 2024 ට වඩා අඩුයි. 2024 පැනවූ බදු වලින් සමහර බදු අපි අයින් කරලා තිබුණා. ඒ නිසා අපේ ශක්තිය බවට පත්වෙලා තිබුණේ ඉතාමත් හොඳ බදු කලමණාකරනයක් අපි සකස් කර තිබීමයි. ඒ නිසා තමයි අපිට පළමු වතාවට ආදායම් ඉලක්ක අභිබවා යන, අපි අපේක්ෂා කරපු ආදායම අභිබවා යන ආදායමක් අපට ලබා ගත හැකිව තිබුණේ. අපේ රේගු දෙපාර්තමේන්තුවේ ආදායම ගිය අවුරුද්දට සාපේක්ෂව 153% කින් වැඩිවෙලා තිබෙනවා. අපේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම හා සමාන ලෙස, සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම 118% කින් වැඩි වෙනවා.
අපි අසීරුවෙන් බිඳ වැටී තිබුණු රාජ්‍යය ගොඩනගමින් තිබෙනවා. අන්න ඒ ගොඩනැගෙන වෙලාවෙදි තමයි අපිට මේ ආර්ථික බලපෑම් එල්ල වුණේ. දැන් මොකද කරන්න ඕන? මේ ආර්ථික බලපෑම හමුවේ අපිට පුළුවන්ද මේ ව්‍යසනයට පත් වුණු ජනතාවට "ඉවසන්න" කියලා කියන්න? අපිට කියන්න පුළුවන් ද "අපි වැල් පාලමේ ගමන් කරමින් තිබෙන්නේ, ඒ හින්දා සද්ද නැතුව ඉන්න" කියලා? අපිට බැහැ, අපි එහෙම ආණ්ඩුවක් නෙවෙයි. ඒ නිසා අපි උත්සාහ කරන්නේ මොකක්ද? මේ ආර්ථිකයේ අර්බුදයක් තිබෙන වෙලාවක දී ආර්ථිකයට ගනු ලබන කවර හෝ කුඩා හෝ වැරදි තීරණයක් ආර්ථිකයට බරපතළ හානියක් සිදු කිරීමේ අනතුරක් තිබෙනවා. පොඩි වැරැද්දක් භයානක ප්‍රතිඵල ගෙන දෙනවා.
ඒ භයානක ප්‍රතිඵල තමයි 2022 රාජ්‍ය ආදායම 8.8% ක් වුණේ. එය ලංකා ඉතිහාසයේ අඩුම ආදායම බවට පත් වුණා. කුඩා වැරදි මාරාන්තික ප්‍රතිඵල ගෙන දෙනවා. මෙවැනි බිඳවැටුණු ආර්ථිකයකට, අසීරුවෙන් ගොඩනැගෙන ආර්ථිකයකට කුඩා හානියක් බරපතල බලපෑමක් ඇති කරනවා. ඒක අපි තේරුම් අරන් තියෙනවා. හැබැයි එය ඉතා හොඳින් කල්පනා කරමින් අපේ රටේ ජනතාව බලා ගැනීමේ වගකීමක් අපට තිබෙනවා.
ඒ බලාගැනීමේ වගකීම ඉටුකිරීම වෙනුවෙන් මා කියන මේ කිසිවක්, මේ කිසිදු දෙයක් අපි කිසිසේත්ම ආර්ථිකය අනතුරට හෙළලා, මේ කම්පනය මත හැඟුම්බරව ගන්න තීන්දු නෙවෙයි. අපි දවස් ගණනාවක් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ ඒ අමාත්‍යාංශයේ කණ්ඩායම් කැඳවලා සාකච්ඡා කරා කොහොමද ජනතාවට සහනයක් දෙන්නේ කියලා, ආර්ථිකය අපි සකස් කර තිබෙන සැලසුමට බාධා නොවන පරිදි.
සමහර අය ඉදිරිපත් කරන්න පටන් ගත්තා මේ අයවැය ලේඛනය නතර කර අලුත් අයවැය ලේඛනයක් ගේන්න කියලා. අපි ඊට සූදානම් නෑ. මේ අයවැය ලේඛනයේ අපි සංවර්ධන ඉලක්කයක් තියෙනවා. මේක නිකන් දත්ත එකතුවක් නෙමෙයි. අපි අයවැය ලේඛනය ඉදිරිපත් කරලා කිව්වා, මේ අය වැය ලේඛනය සකස් කරලා තිබෙන්නේ යම් ආර්ථික උපායමාර්ගයක් සම්පූර්ණ කර ගැනීමේ අරමුණින්. අපි මේ 2025 සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය අපේ රට තිරසාර ලෙස ආර්ථික සංවර්ධනය අත්පත් කරගැනීම සඳහා සකස්කොට තිබෙන න්‍යාය පත්‍රයේ කොටසක්. අපි ඒක නතර කරන්නේ නෑ.
හැබැයි ඒ අය වැය ලේඛනයේ යම් කොටස්, අපි කල්පනා කරන ප්‍රමුඛතාවය අනුව මේ ව්‍යසනයට යොදවා ගන්න පුළුවන්ද කියල අපි කල්පනා කළා. මහාමාර්ග අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන මුදල් වලින් අතර බිලියන 40 කට ආසන්න ප්‍රමාණයක්, ඒකෙත් අපි කුඩා පාරවල් හදන්න මිලියන 24,000 දක්වාත්, මාර්ග සංවර්ධන අධිකාරියට සහ පළාත් සභාවලට කුඩා පාරවල් හදන්න මිලියන පහළොස් දාහක් වෙන් කර තිබෙනවා. පාරවල් ප්‍රතිසංස්කරණ කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට වෙන්කර තිබෙන මුදල් වලින් බිලියන 40 ක් මේ ආපදාවට ලක් වූ මාර්ග සංවර්ධනයට යොදාගැනීමේ හැකියාව තියෙනවා. පළාත් සභාවලටත් අපි කියලා තියෙනවා වෙන්කළ මුදල්වලින් යම් ප්‍රමාණයක් මේ ව්‍යසනයට පත් වුනු ප්‍රදේශවල පාරවල් සංවර්ධනය කරන්න යොදන්න කියලා.
එකෙන් අපි අයවැය ලේඛනය අවුල් කරන්නේ නෑ, ඒ ආර්ථික උපාය මාර්ග සකස් කරගැනීම එසේම තබා ගනිමින් යම් මුදල් ප්‍රමාණයක් ප්‍රමුඛතාවය මත මෙතෙන්ට යොදවන්න කල්පනා කර තිබෙනවා. ඒ අතර ඒ ඔක්කොමත් එක්ක මේ ජනතාව බලා ගන්න ඕනා. පලවෙනි පියවර අපි කරේ මොකක්ද? අර වියළි සලාකයේ ගාන වැඩි කළා. මං දැක්කා ඊයේ හෝ අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වේගයෙන් කෑ ගහනවා "මේ රුපියල් තුන්සීයෙන් ජීවත් වෙන්න ඕන කොහොමද?" කියලා. හැබැයි තිබුණේ කීයද? සාමාජිකයන් හතරක් යුත් පවුලකට තිබුණේ තුන්දහස් දෙසීයයි. සතියකට. අපි 8,400 දක්වා වැඩි කළා. පස් දෙනෙකුට වැඩි පවුලකට තිබුණේ තුන්දාස් හයසීයයි. අපි 11,500 දක්වා වැඩි කළා. තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි කරලා තියෙනවා.
අපි දන්නවා සතියකට තුන්දාස් ගාණකින් ජීවත් වෙන්න බැහැ. ඒකයි අපි වැඩි කළේ. හැබැයි මෙතන ඉඳන් මං දැක්කා කතාකරනවා, තුන්දාස් ගාණ දීපු මන්ත්‍රීවරු "ඇයි මේක මෙහෙම කරන්නෙ?" කියලා අහනවා.
ඊළඟට විශේෂයෙන් ගත්තොත්, අද අපි රුපියල් බිලියන 50 ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබෙනවා.
මේ රුපියල් බිලියන 50ක මුදල ලබාගැනීම සඳහා අපට අලුතින් ණය ගැනීමේ වුවමනාවක් හෝ ණය සීමාව වැඩි කර ගැනීමේ වුවමනාවක් නැහැ. දැනටමත් අපි වෙන් කළ මුදල් ප්‍රතිපාදන තිබෙනවා. ඒ අනුව බිලියන 50 ක පරිපූරක ඇස්තමේන්තුව අපි ඉදිරිපත් කර තිබෙනවා.
මේ වනවිටත් අපි දිසාපතිවරුන්ට දැනුම් දී තිබෙනවා, තමන්ගේ ප්‍රදේශවල කවර හෝ ගැටලුවක් තියෙනවා නම් අපිට කියන්න, මුදල් එවන්න අපි ලෑස්තියි කියලා. ඒ අනුව රුපියල් මිලියන 10,500 කට ආසන්න ප්‍රමාණයක් දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වනවිටත් නිදහස් කර තිබෙනවා. ලංකාවේ කවදාවත් මෙහෙම වෙලා නෑ. මතක තබාගන්න, ඉතා අසීරු ආර්ථිකයක් තිබෙන වෙලාවක මිලියන දස දහස් පන්සීයක් මේ වන විටත් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ඉල්ලීම් අනුව නිදහස් කර තිබෙනවා.
අපි අද පාර්ලිමේන්තුවෙන් ඉල්ලනවා තව බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරලා දෙන්න කියලා. අපි ළඟ තව බිලියන 22.2ක් (දෙවිසි දශම දෙකක්) තිබෙනවා. ඒ සියල්ල එකතු වූ විට බිලියන 72.2ක් අප සතුව තිබෙනවා. දෙසැම්බර් මාසය අවසන් වීමට තිබෙන ඉදිරි දින විසි පහ තුළ වියදම් කිරීමට මේ මුදල ප්‍රමාණවත්. ඊට වඩා මුදල් මං හිතන්නේ ප්‍රමාණවත් වෙන්නේ නෑ, මොකද දෙසැම්බර් මාසයට තියෙන්නේ දින 25යි.
මේ බිලියන 72.2 අපි වියදම් කරන්න අපේක්ෂා කරන්නේ කුමකටද? මම කියන්න කැමතියි.
දැනටමත් අපි හදිසි ආපදා තත්වය පහව යාමත් සමඟ, ආපදාවෙන් බලපෑමට ලක්වූ පවුල්වලට තම නිවාස පිරිසුදු කරගැනීම සඳහා රුපියල් විසිපන්දාහක දීමනාවක් ලබා දී තිබෙනවා. හැම අවතැන්වූ, ගංවතුරට හසු වූ හැම නිවසකම රුපියල් විසිපන්දාහ දෙනවා. ඉස්සර දුන්නේ දහදාහයි. ඒ වගේම ගෙවල් දොරවල් විනාශ වෙලා තියෙනවා. ලිපක් ගන්න ඕන, මෙට්ටයක් ගන්න ඕන, නැවත ජීවිතය ආරම්භ කරන්න ඕන. ඒ සඳහා නිවසේ අයිතිය නොසලකා (සමහර වෙලාවට කුලී නිවාස වෙන්න පුළුවන්), එක් නිවසකට (ඒකකයකට) එකවරක් පමණක් ගෙවන රුපියල් පනස්දාහක දීමනාවක් දෙන්න තීරණය කළා. මේ හැම නිවසකටම අර විසිපන්දාහේ දීමනාව අද සහ හෙට දින ඇතුළත ලබා දෙනවා. අපි අද කැබිනට් මණ්ඩලය රැස්වෙලා මේ චක්‍රලේඛය සම්මත කරනවා. අද රාත්‍රියේ චක්‍රලේඛය නිකුත් කරනවා. ඒ අනුව ඒ මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න පුළුවන්.
ඊළඟට අපි අපේක්ෂා කරනවා නායයෑම් නිසා අවතැන් වූ පිරිසක් ඉන්නවා. පන්දහස් ගණනක් නිවාස හානි වෙලා තියෙනවා. ඔවුන්ව අපි අවතැන් කඳවුරේ ඉන්නවා නම් සියලු පහසුකම් දීලා බලාගන්න කැමැතියි. හැබැයි සමහරවිට ඔවුන් අවතැන් කඳවුරේ ඉන්න කැමති නැති වෙන්න පුළුවන්. පොදු ස්ථානයක ඉන්න කැමති නැති වෙන්න පුළුවන්. එහෙම අයට තමන්ගේ නිවාස නැති නිසා, නිවාස වලට යා නොහැකි පවුල් වෙත මාස තුනක කාලයක්, එනම් 2024 දෙසැම්බර්, 2025 ජනවාරි සහ පෙබරවාරි මාස තුන සඳහා කුලී පදනම මත නිවසකට යාම සඳහා දීමනාවක් දෙනවා.
පවුලේ සාමාජිකයන් දෙදෙනෙක් නම් රුපියල් 25,000යි, සාමාජිකයන් දෙදෙනෙකුට වඩා වැඩි නම් රුපියල් 50,000 බැගින් ලබා දෙනවා. අවතැන් කඳවුරේ ඉන්නත් පුළුවන්, නැත්තං මේ රුපියල් 50,000 අරගෙන කුලී නිවසකට යන්නත් පුළුවන්. දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි යන මාස 3 සඳහා අඛණ්ඩව මේ පනස් දහස ලබාදෙනවා. මේ ජීවත්වන පුරවැසියන්ට දියුණු උපායමාර්ග සකස් කරගන්නකම් මේ සහනය ලැබෙනවා. අද ඊට අදාළ චක්‍රලේඛයක් නිකුත් කරනවා.
ඊළඟට, ආපදාවෙන් බලපෑමට ලක්වූ වී සහ බඩඉරිඟු වැනි ධාන්‍ය වර්ග වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් එක්ලක්ෂ පනස්දහසක දීමනාවක් ලබා දෙනවා. අපේ අපේක්ෂාව වෙන්නේ මේ කුඹුරු යළි වගා කරන්න ඕනා. ආසන්න වශයෙන් ගත්තොත් දැනට වාර්තා වන විදිහට හෙක්ටයාර් එක් ලක්ෂ තිස් දහසක් පමණ (කෘෂිකර්ම ලේකම් තුමා ඊයේ කිව්වට අද වාර්තාව අනුව) හෙක්ටයාර් එක්ලක්ෂ හැටදාහක් පමණ හානියට පත් වෙලා තිබෙනවා.
තාමත් යන්නේ මහ කන්නය. මේවා පැළ ගොයම තිබුණේ. මාසෙකට වඩා අඩු ගොයමකට සාමාන්‍යයෙන් ගෙව්වේ අක්කරයට රුපියල් දහසය දහසක් හෝ හතළිස් දහසක් වගේ ප්‍රමාණයක්. නමුත් අපි තීරණය කළා මේ හෙක්ටයාර් එක්ලක්ෂ හැට දහසම යළි වගා කරන්න අපට අවශ්‍යයි කියලා. මා දැක්කා ගොඩක් අය ඉදිරිපත් වෙලා "හාල් හිඟයක් ඇති වෙයි" කියනවා. අපි ඒකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ඕන. බිත්තර වී ප්‍රශ්නයක් තියෙනවා නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා බිත්තර වී ටික එකතු කරගන්න කියලා. සාමාන්‍යයෙන් බිත්තර වී කිලෝ එකක් රුපියල් එකසිය පනහක් පමණ වෙනවා. හෙක්ටයාරයකට බිත්තර වී කිලෝ සීයක් විතර අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ හෙක්ටයාරයකට බිත්තර වී සඳහා රුපියල් පහළොස් දහසක් විතර ඕන වෙනවා. ඒ නිසා අපි මේ ලබා දෙන රුපියල් එක්ලක්ෂ පනස් දහසෙන් බිම් සකස් කරන ශ්‍රම කුලිය ගෙවන්නත්, ජීවත් වෙන්නත් පොඩි ගාණක් ඉතුරු වෙනවා. අපි උත්සාහ කරනවා මේ එක්ලක්ෂ හැට දහසම නැවත වගා කරන්න. සමහරවිට තැන් කිහිපයක් තියෙනවා වගා කරන්න බැරි, අපි ඒ ගැන බලමු. හැබැයි පළමුකොටම හෙක්ටයාරයකට එක්ලක්ෂ පනස්දාහ දෙනවා.
ඒ වගේම හැමදාමත් මෙවැනි ව්‍යසනවලදී එළවළු ගැන කල්පනා කරන්නේ නෑ. එළවළු වගාව කරන්නේ කුඩා ගොවිබිම් ප්‍රමාණයකයි. ඒ නිසා එළවළු වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ලබා දෙනවා. දැන් මුදල් ටික වෙන් කරනවා. අද සිට චක්‍රලේඛ නිකුත් කරනවා. අපේ අමාත්‍යාංශයේ නිලධාරීන් සමත් වෙන්න ඕනා එළවළු සහ කුඹුරු නැවත වගා කරන්න. අපේ අපේක්ෂාව වෙන්නේ මේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනගන එකයි. අපි නිකං දෑත් කම්මුලට තියාගෙන "අනේ අපොයි" කියලා බලන් ඉන්න ආණ්ඩුවක් නෙවෙයි. අපි මේ ආර්ථිකය සූදානම් කරන්න ඕන, බිඳ වැටුණු තැනින් යළි නැගිට්ටවන්න ඕන. නැගිට්ටවන්න නම් කෘෂිකර්මාන්තය ප්රමුඛයි. සාමාන්‍යයෙන් වියළි කලාපවල යල මහ තිබුණට උඩරට කලාපයේ යල මහ කියලා නෑ, හැමදාම වගා කරනවා. ඒ නිසා අපි ලක්ෂ දෙකක දීමනාවක් දෙනවා. ඔවුන් වගා කරන භූමි ප්‍රමාණය අනුව ඔවුන්ට ඒ මුදල් ලබාගන්න පුළුවන්. යළි වගා කරන්න කියා අපි ජනතාවගෙන් ඉල්ලනවා. අපේ රාජ්‍ය නිලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා ඉතා වේගයෙන් මේ සංඛ්‍යා දත්ත හොයාගෙන මේ ගොවි ජනතාවට සහන ලබා දෙන්න කියලා.
ඊලඟට විශේෂයෙන්ම, ආපදාවෙන් බලපෑමට ලක් වූ සත්ව පාලන ගොවිපොළවල්. අපිට ප්‍රශ්නයක් තියෙනවා, ඇත්තටම අපට ඉතා හොඳ ලියාපදිංචි කිරීමේ ක්‍රමයක්, සතුන්ගේ ප්‍රමාණය පිළිබඳ දත්ත ක්‍රමයක් අපට අවශ්‍යයි. හැබැයි අපට එහෙම ක්‍රමයක් නෑ. නමුත් පශු වෛද්‍ය කාර්යාලයේ සත්ව ගොවිපොලවල් ලියාපදිංචි කරලා තියෙනවා. අන්න ඒ පශු වෛද්‍ය කාර්යාලවල ලියාපදිංචි කළ, හානියට පත් සෑම සත්ත්ව ගොවිපළකටම (කුකුළු ගොවිපළක් හෝ සූකර ගොවිපොළක්) නැවත පටන් ගන්න රුපියල් ලක්ෂ 2 බැගින් දීමනාවක් ලබා දෙන්න තීරණය කර තිබෙනවා. නැවත ආර්ථිකයට පණ දෙන්න අපි ඒක කරන්න ඕන.
ඒ වගේම අපි ඊයේ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර පිළිබඳ සාකච්ඡාවක් කළා කර්මාන්ත ඇමතිතුමා සහ නියෝජ්‍ය ඇමතිතුමා සමග. ඔවුන් අපිට පැකේජ් එකක් ඉදිරිපත් කළා, "මයික්‍රෝ (ක්ෂුද්‍ර) අයට මෙහෙම දුන්නොත් ඇති, සුළු අයට මෙහෙම දුන්නොත් ඇති, ටිකක් ලොකු අයට ලක්ෂ එකහමාරක් දුන්නොත් ඇති" කියලා. නමුත් අපි තීරණය කළා කුඩා, මධ්‍යම, ලොකු භේදයකින් තොරව ලියාපදිංචි වී ඇති සෑම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක්ම නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ලබා දෙන්න.
පටන් ගන්න අපිට අවශ්‍ය අමතර සහාය මොකක්ද? අපි හාල්මැස්සෝ වගේ බලන් ඉඳල හරියන්නෙ නෑ. අපි පණ දෙන්න ඕන. මල් වගා කරන කෙනෙක් හිටියා නම්, මල් ටික ගහගෙන ගිහිල්ලා නම් මල් වගාවට හයිය දෙන්න ඕනේ. අපි දෙන ලක්ෂ දෙක සමහරවිට ගහගෙන ගියපු දේපළ තරම් නොවටිනා වෙන්න පුළුවන්. හැබැයි මේක ගන්න ලේඛන හැදුවොත් "මල් ගස් ගානට මෙච්චරයි" කියලා, ඕක හොයන්නේ කොහොමද? ඒ නිසා රෙජිස්ටර් කරපු හැම දෙනාටම, ආපදාවට ලක් වෙලා තිබෙනවා නම් ලක්ෂ 2 ක දීමනාවක් දෙනවා.
ඒ වගේම අද මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කරනවා බැංකු මට්ටමින් යම් ණය සහනයක් (moratorium) එම ව්‍යාපාරිකයන්ට ලබා දෙන්න. ඒ වගේම අපි රක්ෂණ සමාගම් එක්ක සාකච්ඡා කර තිබෙනවා. අපි දන්නවා රක්ෂණ සමාගම්වල පොඩි වචනයක් අල්ලගෙන එල්ලෙනවා. නමුත් අපි ඒවා දැනට මුදල් අමාත්‍යාංශයට කැඳවමින්, රක්ෂණ සමාගම් කැඳවමින් මෙම රක්ෂණ වාරික ගෙවීම සඳහා සහන ලබා දීමට කල්පනා කරමින් තිබෙනවා.
ඒ වගේම නැවත ගොඩනැගීම සඳහා මේ 2025 අයවැයෙන් අපි මිලියන අසූ දාහක් වෙන් කර තිබෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය දෙන සහන ණය යෝජනා ක්‍රම සඳහා. තරුණ අයට, සුළු මධ්‍ය පරිමාණ අයට, කාන්තාවන්ට මේ ආදී විවිධ යෝජනා සඳහා මිලියන අසූදාහක් තියෙනවා. අන්න ඒ මිලියන 80න් වැඩි ප්‍රමාණයක් ප්‍රමුඛතාවයෙන් මේ බිඳ වැටුණු කර්මාන්ත ගොඩනැංවීම සඳහා ණය ආධාර ලෙස ලබාදීම ගැලපෙනවා කියලා මම කර්මාන්ත අමාත්‍යාංශයට යෝජනා කරන්න කැමතියි. එතකොට අපට යළි මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගා සිටුවන්න පුළුවන්කම තිබෙනවා.
ඒ වගේම ධීවර බෝට්ටු. අපේ ආර්ථිකයේ විශාල බලපෑමට ලක්වුණු ධීවර බෝට්ටු සියල්ලම රක්ෂණය වෙලා නැති ප්‍රශ්නයක් තියෙනවා. ලියාපදිංචි වෙලා තියෙන ඕනෑම ධීවර බෝට්ටුවක් පූර්ණ හානියට පත් වෙලා තියෙනවා නම්, මුහුදු යන්න බැරිනම්, අපි හැම බෝට්ටුවකටම රුපියල් ලක්ෂ හතරක දීමනාවක් දෙන්න යෝජනා කරනවා. අපි මේ පරිපූරක ඇස්තමේන්තුවෙන් ඒ මුදල් වෙන් කරලා දෙනවා.
ඊලඟට විශේෂයෙන්ම, ආපදාවට ලක්වූ පාසල් සිසුන්. ලක්ෂ තුනහමාරක් පමණ වන පාසල් සිසුන් ඇතුළු දරුවන්ට ඊළඟ වසර ආරම්භ කරන්න ඕනා. බෑග්, පොත්පත් ඔක්කොම දිය වෙලා තියෙන්නේ. ඒ නිසයි මම තීරණය කළේ ආපදාවට ලක්වුණු හැම පාසල් දරුවෙකුටම රුපියල් පහළොස්දාහක දීමනාවක් භාණ්ඩාගාරයෙන් ලබා දෙන්න. ඊට අමතරව රුපියල් දහදාහක දීමනාවක් ජනාධිපති අරමුදලින් ලබා දෙනවා. ඒ දෙකම එකතු කරපුවාම රුපියල් විසිපන්දාහක දීමනාවක් ආපදාවට පත් වුනු ළමයෙකුට නැවත පහසුකම් සහිතව පාසල් යාම සඳහා ලබා දෙනවා.
ඊට අමතරව දැනටමත් අපි පාසල් ළමුන්ට සපත්තු වවුචර් ලබා දෙනවා. ළමයි 200 ට වඩා අඩු පාසල් වලට අපි රුපියල් 6,000 ක දීමනාවක් ලබා දෙනවා. ඒ දීමනාවට කිසිදු බලපෑමක් නෑ. ඒ අයට ඒක ඒ විදිහටම දෙනවා. එතකොට සමහර දරුවන්ට රුපියල් තිස් එක් දාහක් විතර ලැබේවි. අපි දෙන්න ඕන අපේ දරුවන්ට මේවා. ඒක තමයි අපි ආර්ථිකයක් හදලා මුදල් සංචිත එකතු කරගෙන තියෙන්නේ. මා දැක්කා මේ පාර්ලිමේන්තුවේ හැම වෙලාම ඇහුවා "ඇයි මේ මුදල් සංචිත?" කියලා. අපි ශක්තිමත්ව ව්‍යසනයකට මුහුණ දෙන්න පුළුවන් තරමේ නගා සිටුවීමක් කරලා තිබෙනවා. අපි දන්නවා අපිට මීට වඩා යන්න පුළුවන්, හැබැයි මීට වඩා යන්න තරම් අපි තාමත් ආර්ථිකය එතනට ගෙනල්ලා නෑ. මේ තිබෙන ආර්ථිකය හා සමානව මේ සහන අපිට ලබා දෙන්න සැලසුම් කර තිබෙනවා.
ඊලඟට විශේෂයෙන්ම ගත්තොත්, ආපදා බලපෑම් හේතුවෙන් හානි වී ඇති ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා හානිපූර්ණය. ව්‍යාපාර ගොඩනැගිලි හානි වෙලා තියෙනවා. ඒවගේ යම් තක්සේරුවක් අපට අවශ්‍යයි. ඒ නිසා ඒකකයකට උපරිම ලක්ෂ 50 දක්වා හානිපූර්ණ දීමනාවක් දෙන්න අපි කටයුතු කරනවා. ව්‍යාපාර නැවත ආරම්භ කරන්න, ගොඩනැගිල්ල නැවත යථා තත්වයට පත් කරන්න හානියට ලක් වෙලා තියෙන ප්‍රමාණය අනුව ලක්ෂ පනහක් දෙනවා.
ඊළඟට, ආපදා බලපෑම් හේතුවෙන් පූර්ණ වශයෙන් හානි සිදු වී ඇති, පදිංචි වීමට නොහැකි නිවාස සඳහා නව නිවසක් ඉදිකර ගැනීමට ලබා දෙනු ලබන දීමනාව. නාය ගිහිල්ලා තියෙන ගෙවල්, ගංවතුරට ගහගෙන ගිය ගෙවල් තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්සර දුන්නේ කොච්චරද? සාමාන්‍යයෙන් දුන්නේ ලක්ෂ 12 යි, එහෙම නැත්නම් ලක්ෂ 25 යි. අපි මේ සැරේට පමණක් (පසුව ආවොත් ආයෙ බලමු) නිවසක් අහිමි වුණු අයට නිවස ඉදිකර ගැනීම සඳහා ලක්ෂ පනහක් ලබා දෙනවා.
සමහරු තමන්ට තිබුණු නිවසට වඩා, සමහර විට ලක්ෂ පනහට වඩා අධික වටිනාකම් සහිත නිවාස නැති වෙන්න පුළුවන්. සමහර විට ලක්ෂ 50 කට අඩු වටිනාකම් තියෙන නිවාස නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපිට මේ මොහොතේ ඒවා ගණනය කරන්න බැහැ. ගහගෙන ගිහිල්ලා ඉවරයි. ඒ නිසා අපි ලක්ෂ පනහක දීමනාවක් දෙනවා නිවසක් ඉදිකර ගැනීම සඳහා.
ඉඩමක් නැත්නම් මොකද කරන්නේ? දැන් ලක්ෂ පනහක් දීලා නාය ගිය කෙනාට ඉඩම නෑනේ. එහෙම නැත්තං අවදානමට ලක්වෙලා තියෙනවා නම්, නැවත අවදානම් කලාපවලට යන්න දෙන්නේ නෑ. අපි උපරිම අවදානම් විශේෂ කලාප වලට මේ සෙනසුරාදා ඉරිදා ගිහිල්ලා ඒ පළාත්වල රජයේ ඉඩම් දෙනවා. හෙට අපි මාතලේ යනවා, ඊට පස්සෙ අපි නුවරඑළිය බදුල්ල යන්න කල්පනා කරනවා. ඒ පළාත්වල තමයි ඉඩම් ප්‍රශ්නෙ තියෙන්නෙ. අපි දිසාපති තුමා හමුවෙලා රජයේ ඉඩම් තීන්දු කරනවා. ඔය රජයේ ඉඩමක් දෙනවා නම්, ගෙයක් හදාගන්න ලක්ෂ 50 දෙනවා. රජයේ ඉඩම් නැත්නම්, ඉඩමක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 50 දක්වා අමතර දීමනාවක් ලබාදෙනවා. ගේ හදන්න දීපු ලක්ෂ 50 ට අමතරව ඉඩමටත් ලක්ෂ 50ක් දෙනවා. එතකොට ඉඩමයි ගේයි දෙකම ගියානම් රුපියල් කෝටියක් හම්බවෙනවා. ඇයි? මේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්න අපි හැමදෙනාම එකතුවෙලා මේ ජනතාව බලා ගන්න ඕනකම තිබෙනවා.
ඊළඟට, ආපදා බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් නිවාස හානි වෙලා තියෙනවා නම්, ඒවා පිළිසකර කර ගැනීම සඳහා ගෙවනු ලබන දීමනාව. පොඩි පොඩි දීමනා දුන්නේ ඉස්සර, තහඩු දෙකක් දාගන්න රුපියල් පන්දාහක්, බිත්තියක් හදාගන්න රුපියල් දෙදාහක් වගේ. හැබැයි අපි මේ පාර ආපදාවට පත් වෙලා තියෙන නිවාසයකට උපරිම ලක්ෂ 25 දක්වා ඒ ගෙවල් යළි ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා මුදලක් දෙනවා. අපි හිතනවා ඒක ලක්ෂ 10, 15, 20, 25 කියලා කාණ්ඩ හතරකට කඩන්න. තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙන්නේ ඇයි? ඒ තහඩුවක් යන්න තරම් එතැන නිවසක් ඉතිරි වෙලා නෑ. ඔවුන්ට අපි දන්නවා මේ පළාත්වල තියෙන ප්රශ්නය. ඒගොල්ලන්ට අපි නැවත නිවස ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා දායකත්වය දෙන්න ඕන. හිටපු තැනටම නෙවෙයි, හිටපු තැනට වඩා ටිකක් උඩට ඔවුන්ව ගන්න ඕන.
ඊළඟට අපි ආපදාවට ලක් වෙලා මියගිය අයට, මේක මුදලින් තීන්දු කරන්න බැහැ, නමුත් මියගිය ඥාතීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක දීමනාවක් ලබා දෙන්න තීරණය කර තිබෙනවා.
මේ සඳහා අපි 2025 වසර සඳහා රුපියල් බිලියන 72.2ක් අපේක්ෂා කරනවා. 2026 වසර සඳහා රුපියල් බිලියන 500ක් පමණ (පරිපූරක ඇස්තමේන්තුවක් මගින්) අපේක්ෂා කරනවා. අපි හිතනවා අපේ ණය සීමාව වැඩි කරගන්නේ නැතුව මේ රුපියල් බිලියන 500 හොයාගන්න පුළුවන් වේවි. ඒ ගැන හැකියාව අපිට තියෙනවා. ඒ නිසා අපි ණය සීමාව ඉදිරිපත් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවට. අපි කිසිසේත්ම පාර්ලිමේන්තුවට දැන් ඉදිරිපත් කර තිබෙන ණය සීමාව වැඩි කරන්නේ නෑ. අපි ඉදිරිපත් කළ ණය සීමාව තමයි රුපියල් බිලියන තුන්දාස් අටසීය. මගේ අයවැය කතාවේදී කිව්වා මේ තුන් දහස් අටසියයේ ණය සීමාව බිලියන 60 කින් අඩු කරන්න කියලා. හැබැයි අපි අයවැයට අදාළ යෝජනාව අද සංශෝධනය කරන්නේ, බිලියන 60 කින් අඩු කරන්නේ නැතුව ණය සීමාව බිලියන 3800 ම තබාගත යුතුයි කියලා අපි තීරණය කළා.
ඊළඟට, අද අපි සම්මත කරන 2025 අයවැය ලේඛනය ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ ඉදිරිපත් කළ අයවැය ලේඛනයට තමයි අපි පරිපූරක ඇස්තමේන්තුවක් ගේන්න බලාපොරොත්තු වෙන්නේ. රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක්. තමා කලින් කියන ලද ගොඩක් යෝජනා අපි ඇතුළත් කර තිබෙනවා.
එතකොට අපිට ප්‍රශ්නයක් පැන නැගුණා. දැන් අපි මේ වන විටත් අපි කවුරුත් දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය යෝජනා ක්‍රමය ඇතුළේ අපි ඉන්නේ. මම දැක්කා මෙතන ගොඩක් අය කෑ ගහනවා "මේ ගිවිසුමෙන් අයින් වෙන්න, අළුත් ගිවිසුමක් යෝජනා කරන්න" කියලා. ඒ ගිවිසුම් එහෙම හිතුමතේ යෝජනා කරන්න පුළුවන් දේවල් නෙවෙයි. විපක්ෂ නායකතුමා, සභානායකතුමා එහෙම කියනවා. මේවා එහෙම දේවල් නෙවෙයි. මෙම ජාත්‍යන්තර ගිවිසුම් යම් නිර්ණායකයක් මත, එළඹෙන ලද එකගතාවයන් මත පදනම් වෙලා තියෙන්නේ. මුදල් අමාත්‍යතුමාට හෙට දවස ගැන හිතුමතේ තීරණ ගන්න බැහැ.
එකඟතාවයන් කඩන්නත් බැහැ, කඩන්නත් මොකද කරන්න ඕන? එකඟතාවයන් බිඳින්නත්, වෙනස් කරන්නත් සමාලෝචනයක් අවශ්‍යයි. මා දැක්කා මෙතන කෑ ගහල කියනවා "අපිට බැරි නම් එයා කතා කරන්නලු". අනේ ප්ලීස් එපා. අපහාස කරනවා නෙවි, මේ හැම කොන්දේසියක්ම, එකඟතාවක්ම අපේ එකඟතාවන්ට ඇතුළතින් කුමක් මතද තීරණය වෙන්නේ? මේ තියෙන ජාත්‍යන්තර එකඟතාවයන් ගැන යම් මූලධර්මයක් මත එකඟ වෙලා තියෙන්නේ. නැවත එකඟතාවන් බිඳිනවා නම් සමාලෝචනයට යන්න ඕන.
දැන් අපි 6 වැනි සමාලෝචනය සහ පස්වැනි සමාලෝචනය අවසන් කරලා තියෙන්නේ. අපි නිලධාරි මට්ටමේ එකඟතාව (Staff Level Agreement) අත්සන් කරලා තියෙන්නේ. ඒක එළඹෙන පහළොස් වැනිදා ඒගොල්ලන්ගේ අධ්යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබාදීමට සැලසුම් කර තිබුණා. හැබැයි දැන් තත්ත්වය වෙනස්. අපි කලින් එළඹුණු නිලධාරී මට්ටමේ එකඟතාවකට වඩා වෙනසක් රටේ ඇතිවෙලා තියෙනවා. වෙනසක් ඇතිවෙනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට යෝජනා කරලා තිබෙනවා, සහ අපි අතර කතාබහක් සිදු වී තිබෙනවා, මේ දෙසැම්බර් මාසයේ අධ්යක්ෂ මණ්ඩලයට දාන්නැතුව ජනවාරි හෝ පෙබරවාරි දක්වා කල් තියන්න. අපි එකඟයි. හේතුව, දෙසැම්බර් මාසයේ අපට ලැබීමට තිබෙන ඩොලර් මිලියන 337 ක (ආසන්න වශයෙන්) වාරිකයක් තිබෙනවා. අපි සාකච්ඡා කරමින් තිබෙනවා එම වාරිකය වැඩිකරගන්න. වාරිකය වැඩිකරගන්න නම් අපිට සාකච්ඡාවක් අවශ්‍යයි, කාලයක් අවශ්‍යයි.
මේ තනි පුද්ගලයෙක් මුදල් දෙනවා නෙවෙයි, මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටවල් වලින් එක් රැස් කර ගත් මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඒ මුදල් වියදම් කිරීමට ඔවුන් ඒ රාජ්‍යයන්ට බැඳී තිබෙනවා. දැන් ගංවතුර ගැලුවා කියලා අපේ ගාන වැඩි කරන්න කිව්වට එහෙම කරන්න බැහැ. යම් සමාලෝචන ක්‍රියාවලියක් අවශ්‍යය. ඒ නිසා මේ දෙසැම්බර් මාසයේ පහළොස්වන දා ලබාදීමට නියමිතව තිබුණු වාරිකය, උපරිම පෙබරවාරි දක්වා කල් යාවි. අපි ජනවාරි මාසයේ නිලධාරි මට්ටමින් සාකච්ඡා පටන්ගෙන, පෙබරවාරි මාසයේදී අපට නිදහස් කරගන්න පුළුවන් වේවි. අපි වාරිකය වැඩි කිරීම පිළිබඳ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.
හැබැයි එහෙත් අපි ක්ෂණික ඩොලර් අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ නිසා අපි ක්ෂණිකව අරමුදල් සපයා ගැනීම සඳහා ලෝක බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන දෙසීයක (200 Million USD) සහනයක් අපි ඉල්ලලා තිබෙනවා. මෙම ණය සහනය අපට මේ මාසයේ ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඔවුන් ඵලදායී ප්‍රතිචාර දක්වාවි කියන බලාපොරොත්තුව අපිට තිබෙනවා.
එතකොට අපි එහෙම ඒ හා බැඳුණු ලෙස, මා දන්නවා දැන් අපි සාකච්ඡා කළා ආසියානු සංවර්ධන බැංකුවත් (ADB) එක්ක. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නැවත නගා සිටුවීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීම වෙනුවෙන් අපි ඒ දිශාවෙන් ඒ ජාත්‍යන්තර සංවිධාන එක්ක කතා කිරීමේ කටයුතු කරමින් යනවා.
හැබැයි අපිට පරිපූරක ඇස්තමේන්තු අපි සකස් කරලා තිබෙනවා. පරිපූරක ඇස්තමේන්තු මුදල අපි තීරණය කර තිබෙනවා. හැබැයි ඒ ව්‍යාපෘතියට අපිට නම් කරගන්න ඕනේ, අපිට කාලයක් අවශ්‍යයි. ඒ කාලයක් අවශ්‍ය නිසා තමයි අද අපිට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමේ හැකියාවක් නෑ. අපි අපේක්ෂා කරනවා දහනම වෙනිදා පාර්ලිමේන්තුවේ දී මේක සම්මත කරගන්න. මම හිතනවා හැම විපක්ෂ මන්ත්‍රීවරයෙක්ම ඒ පරිපූරක ඇස්තමේන්තුව සඳහා සහාය දේවි කියලා.
ඒ නිසා වෙනදා අයවැය ලේඛනයෙන් පස්සේ පාර්ලිමේන්තුව ජනවාරි මාසයේ රැස් වුණත්, මේ අවුරුද්දෙ මං හිතනවා දෙසැම්බර් මාසයේ දිනක රැස්වෙන්න වේවි. මම හිතනවා දැනට තියෙන විදිහට අපි ජනවාරි 6 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා තමයි දැනට එකඟතාව පළ කර තිබෙන්නේ. නමුත් අග්‍රාමාත්‍යතුමාට පුළුවන් හදිසි තත්වයක් යටතේ පාර්ලිමේන්තුව කැඳවන්න. පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න න්‍යාය පුස්තකයට ඇතුළත් විය යුතුව තිබෙනවා. ඊට අනුරූප වන දින සකස් කරලා දාන්නම්. මා මේ කියන පරිපූරක ඇස්තමේන්තුව සම්මත කළ දින කොළඹ පාර්ලිමේන්තුව රෑ එළි වෙනකම් හරි කමක් නෑ අපි සම්මත කරගමු. මොකද අපිට අවශ්‍ය මුදල් ප්‍රමාද වෙන්න අවශ්‍ය නැත්තේ.
අපිට විතරයි තියෙන්නේ ජනවාරි පළවෙනිදා ඉඳන් වැඩ කරන්න. ප්‍රමාද වෙන්නත් බැහැ, අපි ජනවාරි පළමු දිනෙන් පස්සට යන්නත් බැහැ. ඒ නිසා අපි හදලා දෙන වැඩසටහන ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම්වල විශාල බිඳ වැටීමක් ඇති වෙලා තිබෙනවා. යටිතල පහසුකම් සංවර්ධනය කරන්න ඕනේ. ඒකට අවශ්‍ය මා කලින් කියූ පරිදි මුදල් ප්‍රතිපාදන අපි වෙන් කරගන්න ඕන.
පාරවල් ගත්තොත් පාලම් හතළිහකට ආසන්න ප්‍රමාණයක් මුළුමනින්ම විනාශයට පත්වෙලා තිබෙනවා. මේ වන විට අපි පාලම් දොළහකට ආසන්න ප්‍රමාණයක් ගොඩනගලා තිබෙනවා. තව පාලම් ටිකක් ගොඩනැගීම සඳහා සැලසුම් සකස් කළා, ඉතා ඉක්මනින් අපි අවසන් කරගන්න පුළුවන්. දෙසැම්බර් 31 වන විට පාලම් තිහක් අවසන් කිරීම සඳහා දැනට සැලසුම් සකස් කර තිබෙනවා. මොකද යළි මෙම මාර්ග පද්ධති අතර සම්බන්ධය අපි හදන්න ඕන. ඒ සකස් කරගැනීම වෙනුවෙන් දැනටමත් මාර්ග සංවර්ධන අධිකාරිය ඉතාමත් විධිමත් සැලැස්මක් සකස් කර තිබෙනවා.
ඒ විධිමත් සැලසුම් අනුව අපිට හැකියාව තියෙනවා මේ බිඳවැටී තිබෙන මාර්ග පද්ධතිය සංවර්ධනය කරන්න. පාලම් කඩා වැටිලා තිබෙනවා, දැනටමත් අපි සැලකිය යුතු ප්‍රමාණයකින් මේ සම්බන්ධතා අපි හදලා තියෙනවා. හැබැයි සමහර පාරවල් තියෙනවා, අපි දැක්කා ඒ පාරවල් වලට අපිට ළඟා වෙන්න බැරි තරමේ ප්‍රශ්න මතුවෙලා තිබෙනවා. ඒ නිසා අපි මෙම මාර්ග පද්ධති ඉතා ඉක්මනින් පිළිසකර කර ගත යුතුයි.
විදුලි බලය ගත්තොත්, ආරම්භයේදී 58% ක් වගේ තිබුණේ. දැන් 97% - 98% කට ආසන්න ප්‍රමාණයකින් විදුලිබලය ලබාදෙන්න අපි සමත්වෙලා තිබෙනවා. හැබැයි අපිට විශේෂයෙන්ම ගත්තොත් අපි දන්නවා 132kV සම්ප්‍රේෂණ පද්ධති බිඳ වැටිලා තියෙනවා මහියංගනයේ දී. ඒ නිසා මොකද වෙලා තිබෙන්නේ අම්පාර, මඩකලපුව ආදී ප්‍රදේශවලට සහ මහියංගණය ආදී ප්‍රදේශවලට විදුලි සැපයුම ඇණහිට තිබෙනවා. එසේම ප්‍රතිසංස්කරණය කළ යුතුයි. නමුත් දැනට අපි 33kV යටතේ විදුලිය අඩු ධාරිතාවකින් යුතු විදුලිය ලබාදෙමින් තිබෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් නෑ. ඒ විදුලිය සැපයීම සකස් කරගැනීම සඳහා අපි වෙහෙසෙමින් කටයුතු කරනවා. මම හිතන්නේ විදුලිය සතියක් දෙකක් ඇතුළත මුළුමනින්ම අපි සම්පූර්ණ කරන්න පුළුවන්.
ඒ වගේම සන්නිවේදන පහසුකම් 94% ක් මේ වන විට සම්පූර්ණ කර තිබෙනවා. ඉතුරු සන්නිවේදන පද්ධති අපි සම්පූර්ණ කර දෙන්න පුළුවන්. ඊළඟට ජල ප්‍රවාහන ජල පද්ධති, ඒවා කඩා වැටිලා තිබුණු ඒවා ප්‍රතිසංස්කරණ සැලසුම් හදලා තිබෙනවා. ඒ නිසා අපිට අවශ්‍යයි ඉතා වේගයෙන් මේවා යථා තත්වයට පත් කරන්න. සමහර රේල් පාරවල් තිබුණා, තාමත් අපට සැලසුම් හදා ගන්න කවදා අවසන් කරන්න පුළුවනිද කියලා බලන්න වෙනවා. හැබැයි හැකි හැම දෙයක්ම විවෘත කරනවා.
අපිට අවශ්‍ය මොකක්ද? මේ බිඳ වැටුණු, මේ ව්‍යසනයට මුහුණ දුන්නට පස්සේ අපි ඒ ව්‍යසනය හමුවේ කටයුතු කරන්නේ කෙසේද යන්නයි. සමහර අයට මේ ව්‍යසනය "විහින් කරගත්තු එකක්" කියලා කියනවා. එහෙමනම් කරුණාකරලා නඩුවක් දාන්න. අපි ඒ පිළිබඳව කිසිම අවධානයක් යොමු කරන්නේ නෑ. අපේ ප්රමුඛ අවශ්‍යතාවක් බවට පත්වෙලා තිබෙන්නේ බිඳ වැටුණු ජන ජීවිතය නගාසිටුවන්නයි. හැම කෙනාටම හැමදාම අවතැන් කඳවුරේ ඉන්න බෑ. හැම කෙනාම තමන්ගෙ ජීවිතේ හෙට මොකක් වෙයි ද, අද මොකක් වෙයිද කියල අවිනිශ්චිතව ජීවත් වෙන්න බෑ.
ඒ නිසා අපේ අපේක්ෂාවන් අතරින් පළමු එක තමයි මේ ජනතාවගේ ජීවිතය යළි යථාවත් කිරීම. ඒ සඳහා තමන් යෝජනා හදලා තියෙන්නේ. දෙවනුව ආර්ථිකය. මේක ආර්ථිකය චලනය වෙන්න පටන්ගන්න ඕන. කුඹුරු ටික වගා වෙන්න ඕන, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පටන් ගන්න ඕන, බැංකු පද්ධතිය සක්‍රීයව වැඩ පටන් ගන්න ඕනා, ව්‍යාපාරිකයන්ට බැංකු ණය ගන්න ඕන, ආර්ථිකය ගමට ගලා ගෙන යන්න ඕන. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ටික ගොඩ ගන්න ඕන. එහෙමයි අර්බුදයකට මුහුණ දෙන්නේ.
මම දැක්කා හිටපු නායකයෙක් කියනවා "විපක්ෂය ආපදා කළමනාකරණ කමිටුවක් හදනවා" කියලා. කමිටුව රැස්වෙන දිනයක් වත් දන්නේ නෑ. මේවා නිකන් "බහින කලාවට බාල්දි" වගේ වැඩ. රටක් ගැන වගකීමෙන් වැඩ කරන ලෙස අපි සියලු සැලසුම් හැදුවා. දිවා රෑ නොබලා මේ පිළිබඳ අපි සැලසුම් හදමින් වැඩ කරමින් තිබෙනවා.
ඊළඟ ප්‍රධාන ප්රශ්නය තමයි, අපි මේකට යාන්ත්‍රණයක් ඇතුළුව දරුවන්ව බේරාගැනීම සඳහා කලින් කිව්වෙ ව්‍යසන කළමනාකරණ පනත හරහා යන්නත් පුළුවන්, එහෙම නැත්නම් අපිට මහජන ආරක්ෂක පනත හරහා යන්නත් පුළුවන් කියලා. අපි තෝරාගත්තේ මහජන ආරක්ෂක පනත හරහා මේකට යන ප්රවේශයයි.
දැන් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා, අපි කැබිනට් මණ්ඩල තීරණයක් ගත්තා නැවත ගොඩනැංවීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් හදන්න. ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ අරමුදල් එක්රැස් කිරීම සඳහා කමිටුවක් හදනවා. මම දැක්කා මේ පාර්ලිමේන්තුවේ කෑ ගහනවා "මේ අරමුදල් වියදම් කිරීම ජාවාරම්කාරයින්ට දීලා" කියලා. මේ අරමුදල් එක්රැස් කිරීම සඳහා පමණයි ඒ කමිටුව. තාමත් මෙම අරමුදල, ඒ කියන්නේ ගිණුම (Account) තියෙන්නේ මහා භාණ්ඩාගාර ලේකම්වරයා යටතේයි. මුදල් බැර වෙන්නේ අපේ ඒකාබද්ධ අරමුදලට. ඒකාබද්ධ අරමුදලට බැර වෙන මුදල් වියදම් කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය ඕන. අරමුදල් එක්රැස් කර ගැනීමේ කමිටුව නෙවෙයි මුදල් වියදම් කරන්නේ. ඒක තේරුම් ගන්න බැරි මහත්වරුන්ට මම කියන්න කැමතියි, අපි ව්‍යවස්ථාපිත අරමුදලක් හදනවා නම් නව මූල්‍ය කළමනාකරණ පනත අනුව හිතු හිතූ විදියට අරමුදල් හදන්න බැහැ.
අලුත් නීතියක් ආවා. අරමුදලක් පිහිටවූවොත් පාර්ලිමේන්තු පනතක් මගින් විය යුතුයි. ඇයි එම නීතිය ගෙනාවේ? සුනාමි අරමුදලට වෙච්ච දේවල් දැකලා. මට මතකයි මුදල් ඇමති රවී කරුණානායක මැතිතුමා ඉන්න කාලේ ඔය අරමුදල් ඔක්කොම භාණ්ඩාගාරයට පවරා ගන්න උත්සාහ කළා. මොකද හැම වෙලාම මෙම අරමුදල් ඉතාමත් අගතිගාමී ලෙස උපයෝගී වෙලා තියෙනවා. ඒ නිසා මූල්‍ය කළමනාකරණ පනත අනුව අරමුදලක් පිහිටුවිය හැක්කේ පනතකින්, මේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතුව විතරයි. ඒක ව්‍යවස්ථාපිත අරමුදලක් විය යුතුයි. ඒක වැදගත් නීතියක්.
දැන් මෙතන මම දැක්කා ආණ්ඩුව මේ නීතිය නැතුව අරමුදලක් හදලා කියලා කියනවා. අපි අරමුදලක් හදලා නෑ. අපි අරමුදල් එක්රැස් කරගැනීම සඳහා කණ්ඩායමක් පත් කර තිබෙනවා. අපි අරමුදලට එක්රැස් කිරීම ආකාර කිහිපයක් කල්පනා කරලා තියෙනවා. එකක් විදෙස් රටවල් එක්ක අපේ සබඳතාවන් හරහා අරමුදල් එක්රැස් කිරීම. ඒ නිසා තමයි ඒ කමිටුවේ විදෙස් කටයුතු අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල්වරයෙක් නියෝජනය කරන්නේ. එයා තමයි විදෙස් රටවල් එක්ක සම්බන්ධීකරණය බාරගන්නේ. ඊට පස්සෙ ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යූ.එන්.ඩී.පී (UNDP) වැනි ආයතන සමග කටයුතු කරන්න මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිතුමාත්, මුදල් අමාත්‍යාංශ ලේකම් තුමත් ඒ ආයතනය නියෝජනය කරනවා.
ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් මුදල් එක්රැස් කිරීම සම්බන්ධීකරණය කරන්න තමයි අපි ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් මැදිහත් කළේ. ඊළඟට ආධාර ලබා දෙනවා ව්‍යාපාර සහ ව්‍යාපාර අතර සබඳතාවය (B2B) මත. අපේ වාණිජ මණ්ඩලය වෙනත් රටක වාණිජ මණ්ඩල අතර සබඳතාවක් ගොඩනගා ගැනීම සඳහා, ඒ වාණිජ මණ්ඩල හරහා ආධාර ලබාගන්න නම් අපේ වාණිජ මණ්ඩල නියෝජිතයෙක් සිටිය යුතුයි. ඒක තමයි ක්‍රිෂාන් බාලේන්ද්‍ර මැතිතුමා නියෝජනය කරන්නේ. ඔවුන් තමයි ඒ වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා නියෝජනය කරන්නේ. අරමුදල් එක්රැස් කරගැනීම සඳහා මොකක්ද එහි ඇති වැරැද්ද? ඊළඟට විවිධ ව්‍යාපාර සංගම් තියෙනවා. නැව් සමාගම්වල ඒජන්තයන් ඉන්නවා. ඒගොල්ලනුත් මුදල් යම් ප්‍රමාණයක් එකතු කරගෙන සහයෝගය දක්වනවා. ඒ අනුව තමයි කමිටුව හැදුවේ.
හැබැයි ඒ කමිටුවට හිටපු ඇමතිවරයෙක් කෑගහනවා "ජාවාරම්කාරයෙක් නේද?" කියලා. එතුමා හිටියානම් හොඳයි. එතුමා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලේ, 2018 දී හන්තානේ බංගලාව (ජන වසමට අයිති) සමන්ත විද්‍යාරත්න ඇමතිතුමා යෝජනා කරන පරීක්ෂණය අනුව, ඒක දුන්නේ තමන්ගේ බෑණාට. මාසික කුලිය ලක්ෂයයි. 2048 වෙනකම් දුන්නා, අවුරුදු තිහකට. එතුමා අරමුදල් එනකොට "ජාවාරම්කාරයෝ" වගේ කියලා මෙතන කෑ ගහනවා. එතුමාට මම කියන්නෙ, හන්තානයේ ජනවසමට අයිති බංගලාව තමන්ගේ බෑණාට ලබා දුන්නේ මොන පදනමින්ද කියලා කියන්න.
ඒ විතරක් නෙවෙයි, එයා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බස් මිලදී ගැනීමේ ගිවිසුම් අහෝසි කළේ කොහොමද? එය අහෝසි කරන ඇමති කවුද? මේ "ව්‍යාපාරික ජාවාරම්කාරයෝ" කියලා කෑ ගහන ඇමතිවරු තමයි ඒවා කළේ. ඒ ගිවිසුම කැන්සල් කිරීම නිසා ඩොලර් මිලියන එකසිය දහඅටක් ($118 Million) දඩ මුදල් අපට ගෙවන්න සිදු වුණා. ඒක කැන්සල් කරන්න අපට ගුවන් යානා නැහැ. ඒ අහිතකර ගිවිසුම් වලට යන්න සිදුවුණු ඒ ඇමති වෙලා මෙතන කියනවා "ජාවාරම්කාරයෝ මේකට දාලා" කියලා.
මේ අරමුදලේ දැනට ඒකාබද්ධ අරමුදලටයි මුදල් යන්නේ. මේ පාර්ලිමේන්තුවට තමයි මෙම මුදල් පිළිබඳ බලය තියෙන්නේ. හැබැයි මෙතන කුරිරු ආසාවක් තියෙනවා, ඒ අරමුදල ගැන සැකය හදන්න, "ජාවාරම්කාරයෝ ඉන්නවා" කියලා පෙන්නන්න. මොකද්ද උවමනාව? මේ අරමුදල ශක්තිමත් වෙන්න ඉඩදෙන්න හොඳ නෑ. බලය පිළිබඳ නිසි ආසාවකින් පෙළෙන මේ මන්ත්‍රීවරයා තමන් නොකළ දේ ගැන කෑ ගහනවා. එයා කියන දේ සාධාරණද? අරමුදල ගැන සැකයක් හදන්න ඕන.
පුරවැසියන් ආණ්ඩුව විශ්වාස කරලා තියෙනවා. ඒ නිසා මුදල් ගලා එනවා. බාහිර පුද්ගලයන් මීට කලින් කිව්වේ මොකක්ද? "ආණ්ඩුවට දෙන්න එපා වෙන වෙන අයට දෙන්න" කියලා. මේ දවස්වල හැම තැනම කියන්නේ මොකක්ද? "වෙන වෙන අයට දෙන්න එපා, ආණ්ඩුවට දෙන්න" කියලා. මම දැක්කා ගංගාරාමෙ නායක හාමුදුරුවන් ප්‍රසිද්ධියේ කිව්වා "ආණ්ඩුවට දෙන්න, වෙන අයට දෙන්න එපා" කියලා. එම ආණ්ඩුව කෙරේ විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය තමයි මේ අරමුදල ශක්තිමත් කරන්නේ. මේ අයගේ අපේක්ෂාව වුණේ මොකක්ද? ඒ විශ්වාසය බිඳින්න. කුරිරු ආසාවකින් පෙළෙන බව මේකෙන් පෙන්නුම් කරනවා.
ඒ නිසා අපි ඉතාමත් ශක්තිමත් යාන්ත්‍රණයක් හදනවා මේ තත්වයට මුහුන දෙන්න. අපි ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවලා, මීට අදාළ ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, ඒ වගේම ව්‍යාපාරික සංවිධාන සහ මහජන ව්‍යාපාර නියෝජනය කරන පිරිසක් ඊට ඇතුළත් කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ ඒකක හතක් හදනවා.
1. අරමුදල් එක්රැස් කිරීම.
2. යළි ගොඩනැගීමේ සැලැස්ම (Recovery Plan) හදන එක.
3. ඉදිකිරීම් පිළිබඳව (මාර්ග සංවර්ධන අධිකාරිය, ප්‍රධාන වශයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය භාර ගනී).
වාරිමාර්ග දෙපාර්මේන්තුවට ඉක්මණින් පණ පොවන්න ඕන. මහ කන්නය ආරම්භ කරන්න මෙම වාරිමාර්ග වැඩ ටිකක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් අපි දන්නවා ඇලහැර අමුණ ගැන. ඇලහැර අමුණ හදනකම් අපිට ගිරිතලේ වැවේ වතුර ප්‍රමාණවත් වන්නේ සති දෙකකට වගේ කාලයකට පමණයි. ඒ නිසා ඉක්මනින්ම ඇලහැර අමුණ හදන්න ඕන. මොරගහකන්දෙන් එන වතුර අපි යවන්න ඕන. අද ඇලහැර අමුණ හදන්නේ හමුදාව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එකතුවෙලා, ස්වෙච්ඡා සේවයක් ලෙසයි. අපි විශ්වාස කරනවා දවස් කිහිපයක් ඇතුළත හදලා අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. මේ මොහොතෙත් වැඩ. ගොවියෝ ඇවිල්ලා වැඩ කරනවා ඇලහැර අමුණ හදන්න.
මහාමාර්ග ඉදිකිරීම පිළිබඳව ඉතා හොඳින් මෙහෙවීම සඳහා අනු කමිටුවක් පත් කරනවා. ජනාධිපති ලේකම් යටතේ සන්නිවේදන කමිටුවක් (Communication Unit) අවශ්‍යයි අපිට මේ කතාව රටට සහ ජාත්‍යන්තරයට ගෙනියන්න. ආදී වශයෙන් යුනිට් හතක් අපි හදනවා. දැනට අපි නිවාස ගොඩනැගීම සඳහා තව එකක් හදනවා. මේවා ක්‍රියාත්මක වෙන්නේ තියෙන රාජ්‍ය යාන්ත්‍රණ හරහා, නමුත් සැලසුම් ටික හදන්න ඕන.
මං ආරාධනා කරනවා එතන ඉන්න අයටත් මේක අපි හදමු කියලා. අපි යෝජනාවකින් අපිට හදන්න ලෑස්තියි. හැබැයි අපිට නම් ජනාධිපති කාර්ය සාධක බලකාය විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. අපි ඉතා ඉක්මනින්, දැන් අපි අද රාත්‍රී එකතුවෙලා නීතිඥ කණ්ඩායම් එක්ක සාකච්ඡා කරලා, ඉතා ඉක්මනින් අපි මේකට "විශේෂ විධිවිධාන පනතක්" මේ පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කරගන්නවා. මේ තත්වයෙන් ගොඩ ඒම සඳහා අවුරුදු දෙකක තුනක ප්ලෑන් එකක් අපිට අවශ්‍යයි. මේ ව්‍යසනය දෙස බලන්න. විශාල ව්‍යසනයක් සිදුවී තිබෙන නිසා අවුරුදු තුනක වත් අඩුම තරමින් අඛණ්ඩ සැලැස්මක් අපිට අවශ්‍යයි. ඒ සැලැස්ම සඳහා අවශ්‍ය විශේෂ විධිවිධාන පනතක් අපි ගේන්න සැලසුම් කර තිබෙනවා. ඒ නිසා අපේ ප්ලෑන් එක වෙන්නෙ "රිබිල්ඩ් ශ්‍රී ලංකා" (Rebuild Sri Lanka) එකක් උඩට ගන්න ඕන. මේක ගොඩගැනීම සඳහා අවශ්‍ය සැලසුම් ටික සකස් කර තිබෙනවා.
ඊළඟට විශේෂයෙන්ම ගත්තොත්, මම ඔබතුමාලගේ අවධානය යොමු කරන්න කැමතියි අපිට ස්ථාවර සැලසුම් අවශ්‍යයි කියලා. මේක මේ විදියට යන්න බෑ. ස්ථාවර සැලසුම් සකස් කර ගැනීමේදී මම හිතනවා, විශේෂයෙන්ම අපේ ගුවන් බලඝණය ඉතාමත් දුප්පත්. අපේ හෙලිකොප්ටර් අවුරුදු හතකට වඩා ආසන්න කාලයක් බිම නතර කරලා තියෙන්නේ. හෙලිකොප්ටරයක කාලය මනින්නේ අවුරුදු වලින්. ගතවෙන හැම මොහොතක්ම අපිට හානියක්. අවුරුදු හතක් තිස්සේ අපේ හෙලිකොප්ටර් බලඝණය බිම පත් කරලා තියෙනවා.
ඒ නිසා අපි එම්.අයි. සෙවන්ටීන් (Mi-17) කියන හෙලිකොප්ටර් හතක් පහක් සමග, මේ වන විට ටෙන්ඩර් කැඳවලා ප්‍රසම්පාදනය අවසන් කරලා තියෙනවා. ඒවා අලුත්වැඩියා කරන්න කලින් කරන්න තිබුණු ඒවා. අපි ඇවිල්ලා ටෙන්ඩර් කැඳවලා හෙලිකොප්ටර් පහක් නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දැනටමත් අපි ටෙන්ඩර් ප්රදානය කරලා ඉවරයි. ඊලඟට බෙල් 212 (Bell 212) කියන හෙලිකොප්ටරයත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කරලා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ටෙන්ඩර් ප්රදානය කර තිබෙනවා. තව එම්.අයි. සෙවන්ටීන් හෙලිකොප්ටර් හතක් බිම තියෙනවා. ඒ හතම දැන් අපි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙන්නේ. මාස දෙකක් ඇතුළත අපිට ඒක නැවත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරන්න පුළුවන්.
එතකොට අපේ හෙලිකොප්ටර් බලඝණය තව 12 කින් වැඩි වෙනවා. එහෙමයි රටක් මුහුණ දෙන්න ඕනා ව්‍යසනවලට. කෑ ගහන එක නෙවෙයි, අපි මේවා කලින් දැකලා අපි බැලුවා හෙලිකොප්ටර් බලඇණිය දුබලකම ගැන. අපි අපේ ගුවන් හමුදාවට ගෞරව කරන්න ඕන. ඔවුන්ගේ ජීවිත පිළිබඳ අවදානම නොතකා මේ ගුවන් යානා ගෙනියනවා මිනිසුන් බේරා ගනිමින්. හැබැයි වටිනා ගුවන් යානා, හෙලිකොප්ටර් විශාල ප්‍රමාණයක් අවුරුදු ගණන් බිම තිබුණා. අපි හදනවා. මේ ව්‍යසනය ආපු ගමන් නෙවෙයි අපි මේක පටන් ගත්තේ. ව්‍යසන අපි කරන දෙයක් නෙවෙයි. ඒකයි මම කිව්වේ දැනටමත් Mi-17 පහක සහ Bell 212 හෙලිකොප්ටරයක දැනටමත් ප්‍රසම්පාදන ක්‍රියාවලි අවසන් කර තිබෙනවා. ඉතුරු හතේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පටන් අරන් තියෙනවා.
එදා අපේ බලඝණයට අලුතින් කියන්නේ, ප්‍රතිසංස්කරණය කරපු හෙලිකොප්ටර් දොළහක් එකතු වෙනවා. ඊළඟට මිග් (MiG) ප්‍රහාරක යානා හතරක් ඊශ්‍රායලයට අලුත්වැඩියා කරන්න දීලා තියෙනවා. මේ දෙසැම්බර් මාසය වෙනකොට ඒ අලුත්වැඩියා කටයුතු අවසන් කරලා ලංකාවට මිග් ප්‍රහාරක යානා හතරම නැවත ලබාගැනීමට නියමිතයි. අපි අපේ ගුවන් බල ඇණිය ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන් ඉන්න නිසා තමයි අපි රාජතාන්ත්‍රික සබඳතා හරහා ඉතාමත් හොඳ දියුණු ගුවන් යානා ඉල්ලලා තියෙන්නේ. ඇමරිකන් එක්සත් ජනපදයෙන් C-130 කියන හොඳ ගුවන් යානයක් අපිට මේ දවස්වල පරිත්‍යාග කරනවා. ඕස්ට්‍රේලියාවෙනුත් පරිත්‍යාග කරනවා. ඇයි අපිට උවමනා වුනේ? මේ යුද්ධ කරන්න නෙමෙයි. මෙවැනි ව්‍යසනයකට ශක්තිමත් ගුවන් බල ඇණියක් අවශ්‍යයි. ඒ බල ඇණිය ගොඩනැගීම සඳහා අපි මේ ව්‍යසන එන්න කලින්ම මේ අවුරුද්ද තුළ තීන්දු අරන් තියෙනවා.
ඊළඟට අපේ ප්‍රාදේශී සභා සහ නගර සභාවලට බැකෝ නෑ, ට්‍රැක්ටර් නෑ, මෝටර් ග්‍රේඩර් නෑ. කොහොමද මේ විෂයට මුහුණ දෙන්නේ? අපි මේ ප්‍රශ්න දැක්කා. දැකලා මේ අයවැය එන්නත් කලින්ම, මේ ව්‍යසන එන්න කලින්ම අපි ප්‍රාදේශීය සභාවට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර රාශියක් ගේන්න කෝටි 770ක් වෙන් කරලා, දැන් ප්‍රසම්පාදන කටයුතු අවසන් කරලා තියෙන්නේ. දැන් ටෙන්ඩරය ප්රදානය කරන්නයි තියෙන්නේ. තව මාස දෙකක් තුනක් යනකොට අපේ ප්‍රාදේශීය සභාවලට අවශ්‍ය බැකෝ යන්ත්‍ර, මෝටර් ග්‍රේඩර් යන්ත්‍ර ගේනවා. අපිට ඕන මොකක්ද? අපි කොහොමද මේවට මුහුණ දෙන්නේ ප්‍රාදේශීය සභා නගර සභාවට බැකෝ එකක්, මෝටර් ග්‍රේඩර් එකක් නැතුව? අද නුවර දිසාපති තුමා කථා කළා. බැකෝ යන්ත්‍ර අටක් විතර වෙන කොහෙවත් නෑ කියලා. අද අපි උත්සාහ කරනවා හොයලා දෙන්න. ඒ ප්‍රාදේශීය සහ නගර සභා ඔක්කොම අඩපන වෙලා තියෙන්නේ. අපි එම ආයතන ගොඩ නගමින් තියෙන්නේ.
ඒ නිසා තමා කෝටි හත්සිය හැත්තෑවක් මේ 2025 අයවැයෙන් වෙන් කරලා, ටෙන්ඩර් කැඳවා අවසන් කරලා දින ප්රදානය කරන්නේ. ඉක්මනින්ම දෙසැම්බර්, පෙබරවාරි, මාර්තු වෙනකොට ඒ මෝටර් ග්‍රේඩර්, බැකෝ යන්ත්‍ර ඔක්කොම ගෙනත් ස්ථාවර කරලා, මෙවැනි ව්‍යසනයකට මුහුණ දීමේදී වන අපහසුතා වලක්වන්න අපි කටයුතු කරනවා.
ඊළඟට, මෙවැනි ව්‍යසනයක් ඇති වීම වලක්වන්න ඕන. නාය යාම්. අපේ රට මේ ගංගා අසබඩ මේ ගෙවල් ඇති වුණේ කොහොමද? මේ කඳු මුදුන්වල නිවාස ඇතිවුනේ කොහොමද? මොන ප්‍රාදේශීය සභාද අනුමැතිය දුන්නේ? මේවාට අනුමැති අවශ්‍යයි, NBRO එකේ අනුමැතිය අවශ්‍යයි. ඒ කිසිදු අනුමැතියක් නැතුව කොහොමද ලැබුණේ? අද කඳු මුදුන්වල නිවාස ගොඩනැගිලා තියෙනවා. ගඟ අසබඩ නිවෙස් ගොඩනැගිලා තියෙනවා.
පහුගිය කාලේ අපේ රටේ ට්‍රෙන්ඩ් (Trend) එකක් ආවා කන්දක් මුදුනේ ගෙයක් හදාගන්න එක, වැවක් අසබඩ නිවසක් හදාගන්න එක, ගඟක් අසබඩ නිවසක් හදාගන්න එක. ඒක නිකම් ධනවත් භාවයේ ලක්ෂණයක් වගේ වුණා. මේ ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා මුළු ගං ඉවුරු යටවෙලා තියෙනවා, කඳු බර වෙලා තියෙනවා. මේ වගේ මිනිස්සු ගැන අපි මොකද කරන්නේ? අපි දැඩි නීති සම්පාදනය කරනවා. යළි ලංකාවේ වැව් තාවුලු විනාශ වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඉතාමත් ශක්තිමත් වෙනවා. මතක තබාගන්න, යළි කිසිදු අනවසර තැනක අපේ රටේ නිවසක් ඉදිකර ගන්න දෙන්නෙ නෑ මම. කොලොන්නාවට සිද්ධ වුණේ ඒකයි. ගලාගෙන එන වතුර පාරවල් කොළොන්නාවේ කී දවසක් යට වුණාද? කවුද අවසර දුන්නේ ඒවා හදන්න? බලාගෙන හිටියා. පොඩි ගාණක් දීලා අවසර ගන්න එක, සභාපතිගේ ඥාතියෙක් වීම, සභාපතිට කැන්වසින් ගියපු කෙනා වීම වගේ හේතු මත මෙහෙම තත්වයක් ඇති වුණේ.
මේවායින් මුදවා ගන්න ඕන. අපි ආසියානු සංවර්ධන බැංකුවට (ADB) මේ ගැන කතා කළා. ආසියානු සංවර්ධන බැංකුව අපට එකඟතාව පළ කරනවා. අපි ඉල්ලලා තියෙනවා මේ මධ්‍ය කඳුකරයේ ඇත්ත තත්වය නිරීක්ෂණය කරලා දෙන්න කියලා. සමහර වාර්තා පළවෙනවා මධ්‍ය කඳුකරය ගැන බයයි කියලා. ඒ නිසා අපි ඒ වාර්තාව අනුව, අංශක පනහකට වඩා බෑවුම වැඩි ප්‍රදේශවල ජීවත්වෙන අය ඉවත් කරලා යළි වන වගාව ඇති කරන්න ඕන. අපි එම ඉඩම් සහ දේපළවලට ආණ්ඩුවෙන් වන්දි දීලා පවරා ගන්න කටයුතු කරනවා.
මේ රට යළි ප්‍රතිස්ථාපනය කරන්න ඕන. මහා සාරවත්, වටිනාකම් සහිත මධ්‍ය කඳුකරය අපි ඇස් ඉදිරිපිට නාය යමින් තිබෙනවා, ඇස් ඉදිරිපිට මිනිස් ජීවිත බිලි ගනිමින් තිබෙනවා. ඇස් ඉදිරිපිට මහා ඛේදවාචකයකට මුහුණ දෙමින් තිබෙනවා. අපි රන්ටැඹේ හැදුවා, හැබැයි වතුර තියෙන්නේ දින 152 ට ආසන්න ප්‍රමාණයකට. රන්දෙණිගල හැදුවා, වතුර දින 148 කට ආසන්න ප්‍රමාණයකට. රොන් මඩවලින් පිරිලා. කඳු ගලාගෙන ගිහින් සෝදලා දාලා තියෙන්නෙ. බලාගෙන හිටියා. මේ රට තවදුරටත් බලාගෙන ඉන්න සූදානම් නෑ.
ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ විපක්ෂයේ හැම දෙනාගේම, වෙන මොකුත් නෙවෙයි, මේක සත්කාර්යයක්, මේ රටේ ජාතික කාර්යයක්. මේක නැවත අපේ රට මෙවැනි ව්‍යසනවලට, මේ වහින එක අපිට නතර කරන්න බැහැ, සුළි කුණාටු අපිට නතර කරන්න බැහැ. හැබැයි මේ වගේ වෙන හානි අපට නතර කරන්න පුළුවන්. ඒ වගේම ජීවිත බිලිගැනීම නතර කරගන්න පුළුවන්. එම නතර කිරීමට අවශ්‍ය ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් හදන්න අපි සැලසුම් කරලා තිබෙනවා.
ඒ වගේම අපේ ලෝක බැංකුව දැනටමත් ප්‍රකාශයට පත් කර තිබෙනවා, දැනට ගොඩක් අධීක්ෂණය කරමින් ඉන්නවා. දෙසැම්බර් 15 වෙනකොට අපේ මේ හානිය පිළිබඳව දළ තක්සේරුවක් දෙන්නම් කියලා. සම්පූර්ණ එක දෙන්න මාස තුනක් වත් යාවි. හැබැයි දෙසැම්බර් 15 ට පෙර හානියේ තරම දළ වශයෙන් දැනගන්න පුළුවන්. එවැනි හානියක් අපේ රටට ඔරොත්තු දෙයිද? අපේ ජාතියට ඔරොත්තු දෙයිද? ඔරොත්තු නොදෙන හානියක්. ඒ නිසා මම හිතනවා ස්ථාවර සැලැස්මකට අපි යායුතුව තිබෙනවා. මෙම ප්‍රශ්නයට විසඳුම් සොයා ගැනීම සඳහා.
ඊළඟ විශේෂයෙන්ම මා යෝජනා කරන්නේ, දැන් අපි මෙතැනින් එහාට යන්නේ කොහොමද? මළමිනී මත නැගලා දේශපාලනය කරන්න ලෑස්තිද? කුරිරු බලාපොරොත්තුවෙන් දේශපාලන කරනවාද? විනාශයක් උදේ රාත්‍රී ප්‍රාර්ථනා කරන මනසකින් දේශපාලන කරනවාද? ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්ණ දේශපාලන පිටියේ බේරගන්න. ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්න ආර්ථිකය කඩා වට්ටමින් බේර ගන්න උත්සාහ කරන්න එපා. ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්න ජනතාවගේ ජීවිත විනාශ කරමින් බේර ගන්න උත්සාහ කරන්න එපා. ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්න දේශපාලනිකව බේරගන්න අපි ලෑස්තියි. බලය ඡන්දෙන් ගන්න. ඒකට තියෙන්නේ ඊට වඩා මාවතක්.
මේගොල්ලන්ට ඒකට අවශ්‍ය මනස ලෑස්ති කරගෙන ඉන්නවා. "හෙට වැටේ... අනිද්දා වැටේ ද?..." අසල්වැසි රටවල යුද්ධ පටන් ගත්තාම, මැදපෙරදිග වැටෙනකොට, ඇමෙරිකන් තෙල් ප්රශ්නය එනකොට වැටේවි කියලා හිතුවා. දැන් ගංවතුරෙන් වැටේවි කියලා හිතනවා. මොකක්ද වෙලා තියෙන්නෙ මන්දා. සමහර අය ලියනවා "අන්තර් පාලනයට සූදානම් වන විපක්ෂයක්" ගැන. අන්තර්වාර ආණ්ඩුවක් ලෑස්ති වෙලාලු. මේ පාර්ලිමේන්තුවේ තමයි බලය තියෙන්නේ. මේ මූල්‍ය බලය. අපි කිසිසේත්ම මේ පාර්ලිමේන්තුවට පටහැනිව අපි මූල්‍ය බලය උපයෝගී කර ගැනීමේ හැකියාවක් නෑ.
සමහර අය කියනවා ජනාධිපතිවරයාට ඒ බලය නෑ කියලා. අපි පාර්ලිමේන්තුවට යටත්ව අපේ මූල්‍ය බලය ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ. අපි මේ ව්‍යවස්ථාවට යටත්ව පාලනය කරමින් තිබෙන්නේ. මේ ව්‍යවස්ථාව කැඩුවයි කියල අධිකරණයෙන් තීන්දු ලබපු අය ව්‍යවස්ථාවක් ගැන අපිත් එක්ක කතා කරනවා. වැරදිකරු වෙලා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලෙන් තීරණය කර තියෙනවා. ඒ අය ඇවිත් අපිට ව්‍යවස්ථාවේ පාඩම් කියලා දෙනවා.
මම කියන්නේ ඒ කුරිරු මනස ගැනයි. කුරිරු මනස තියෙන ඒ නායකයාට කියන්නෙ, අනේ ඔය පැරණි රොඩු බොඩු ටික එකතු කර කර දඟලන්න එපා. කෑම පාර්සල් 10ක් බෙදනවා කොලොන්නාවේ. මම ඉල්ලන්නේ මේ ව්‍යසනය දේශපාලනිකව පාවිච්චි කිරීම අත්හරින්න කියලා. මම ආරාධනා කරනවා, අපි මේ පාර්ලිමේන්තු සාම්ප්‍රදායික "ආණ්ඩුව - විපක්ෂය" බෙදීමෙන් අයින් වෙලා, අවුරුදු තුනක් හතරක් ජාතික සභාවක් ලෙස වැඩ කටයුතු කරමු කියලා. මම ඉල්ලනවා ජාතික සභාවක් ලෙස, ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන මේ මොහොතේ දේශපාලන ප්‍රශ්න සහ දේශපාලන පොරපිටිය බේරගමු කියලා. නුගේගොඩ රැස්වීමක් තියලා බේරගන්න දේශපාලන ප්‍රශ්න.
හැබැයි ඒකට කවුරුහරි ජනාධිපති කෙනෙක් එරෙහිව ඒ පිළිබඳ මෙතන තියෙන ජාතික සභාව මොකක්ද? අපි පොදු න්‍යාය පත්රයකට මේ ව්‍යසනය හමුවේ වත් එමින්, මේ රටම පත්වී තිබෙන ව්‍යසනයෙන් ගොඩනැගීම සඳහා අපි සමත් වෙන්නේ නැත්නම්, මම අහනවා "මේ පාර්ලිමේන්තුවට ඇවිත් මොකටද තමුන්නාන්සේලා?" කියලා. මොකටද එව්වේ? තමන්ගේ වරප්‍රසාද වෙනුවෙන් ද? තමන්ගේ බලයක් වෙනුවෙන්ද? තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන්ද?
පොදු ජනතාවගේ වුවමනාවෙන් එනවා කියලා කල්පනා කරන හැම මන්ත්‍රීවරයෙකුටම මං ආරාධනා කරනවා ජාතික සභාවක් ලෙස වැඩකටයුතු කරන්න. ඉතිරි අවුරුදු 2, 3, 4 ක් යනකන් අපිට මේ ප්රශ්නය තිරසාර ලෙස විසඳාගත හැකියි.
ඒ වගේම අපේ කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට ආරාධනා කරනවා. මා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔවුන්ට. සමහර අයට ව්‍යාපාරිකයන්, "ජාවාරම්කරුවන්" ලෙස පෙනුනේ මොකක් නිසාද? ඒගොල්ලෝ හිතන් හිටියේ ව්‍යාපාරික ලෝකය ඒගොල්ලන්ගෙ ලෝකෙ කියල. ටිකක් හිතන්න, ඒගොල්ලන්ගෙ මිතුරන්ගේ කරට අත දාගෙන හිටපු ලෝකෙ කියලා. දැන් ඒකට මොකද වෙලා තියෙන්නේ? නෑ. ඉතාම සද්භාවයෙන් කටයුතු කරන ආණ්ඩුවකට එම ව්‍යාපාරික ප්‍රජාව ඉතාමත් ශක්තිමත් සහාය දෙනවා. එතකොට අර අයට හිතෙන්නේ "අපේ ලෝකෙට අපි ඇතුල් උනා" කියලයි. ඒ අය හිතුවෙ නෑ අපි ලෝකෙට එයි කියලා. මහා විද්වතුන්ට මෙතන අපහාස කරනවා. ස්වෙච්ඡාවෙන් වැඩ කරන මිනිස්සුන්ට, සතයක් ගන්නේ නැති මිනිස්සුන්ට ඇවිල්ලා උදේ හවා පහර දෙනවා.
ඔවුන් අපේක්ෂා කළේ නෑ එවැනි පිරිස් ජාතික ජන බලවේගයේ මේ ආණ්ඩුවේ, මේ ජනතාව වෙනුවෙන් කරන කාර්යයට ස්වේච්ඡාවෙන් මැදිහත් වෙයි කියලා. ඒ කොළඹ තොටිල්ල නේද? ගැස්සෙනවා, හිතපු නැති ලෝකෙකට ඇතුල් වෙලා තිබෙනවා. හිතපු නැති ව්‍යාපාරික කණ්ඩායම් සහාය දෙමින් තිබෙනවා, න්‍යාය පත්‍ර සකස් කරමින් තිබෙනවා. ස්වෙච්ඡාවෙන් අපේ රටේ ඉහළම ක්ෂේත්රයේ විද්වතුන්, බුද්ධිමතුන් මේ ආණ්ඩුවට මැදිහත් වෙමින් තිබෙනවා. ඒක හමුවේ ඇතිවූ දිගු අපේක්ෂා භංගත්වයට පත්වෙලා තිබෙනවා. ඒ අපේක්ෂාභංගත්වයේ වේදනාව තමයි මේ පිට වෙන්නේ.
මම දැක්ක නිරන්තරයෙන් ඇවිල්ලා හාන්ස් විජේසූරියට, දුමින්ද හුලංගමුව මහත්මියට, එහෙම නැත්තං අපේ ගුවන් තොටුපල සහ ගුවන් සේවා සභාපති ගනේගොඩ මහත්මයාට, ආණ්ඩුකාරතුමාට, හනීෆ් යූසුෆ් මහත්මයාට පහර දෙනවා. මොකක්ද වෙලා තියෙන්නේ? ඒකට හේතුව, ඒවා ඒගොල්ලන්ට අයිති ලෝකය කියලා හිතාගෙන හිටපු නිසා. නෑ, හැම පුරවැසියෙක්ම යහපත් ආණ්ඩුවකදී තමන්ගේ දැනුම, තමන්ගේ කාලය ස්වේච්ඡාවෙන් වැඩ කරන්න සූදානම් කියලා තෝර ගත්ත මිනිස්සු ඉන්නවා. මම තවත් ආරාධනා කරනවා තමුන්නාන්සේලාට, ඒකට රට සූදානම් වෙලා තියෙන්නේ. ඒක තමයි මේ සංඥාවන් ඔක්කොම පෙන්වන්නේ.
ඒ නිසා අපි ආරාධනා කරන්නේ තමුන්නාන්සේලා මේ සඳහා එන්න. කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන්, බුද්ධිමතුන්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාට අපි ආරාධනා කරන්නේ මේ ව්‍යසනය හමුවේ එකතු වෙන්න කියලා. ඒක ඉතාමත් වේදනාකාරී ව්‍යසනයක්, කණගාටුදායක ව්‍යසනයක්. එහෙත් ඒ ව්‍යසනය හමුවේ අපි අලුත් පාරක් තෝරා ගමු. අපි හැමදෙනාම එක්වෙලා මේ රාජ්‍ය යහපත් රාජ්‍යයක් බවට පත් කර ගැනීම සඳහා මැදිහත් වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා.
බොහොම ස්තුති සභාපතිතුමනි.
වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය - ශීර්ෂ 116 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා, ගරු කථානායකතුමනි. විසර්ජන පනත් කෙටුම්පතේ දහනවවැනි සහ දාහත් වැනි පිටුවේ විසිදෙවැනි අප්‍රේල් ඉවත් කර, ඒ වෙනුවට පහත සඳහන් අයිතම ආදේශ කළ යුතුය.
මූලධන: රුපියල් බිලියන දෙකයි, මිලියන 250 යි.
Comments
Post a Comment
Your comment will be visible after approval