compensation-of-up-to-one-crore-rupees-for-cyclone-victims

 දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තම නිවාස මෙන්ම ඉඩම් ද අහිමි වූ පුද්ගලයින් සඳහා වන්දි වශයෙන් රුපියල් කෝටියක මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව අනාවරණය කළේය.



ආපදා තත්ත්වය හමුවේ පූර්ණ වශයෙන් හානි වී, නැවත පදිංචි වීමට නොහැකි තත්ත්වයේ පවතින නිවාස වෙනුවෙන් නව නිවසක් ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා දීමට නියමිත අතර විපතට පත් ජනතාවට ඉඩම් නොමැති අවස්ථාවකදී රජය මගින් ඉඩමක් ලබා දීමට කටයුතු කරනු ඇත.


රජය සතුව ලබා දීමට ඉඩම් නොමැති වුවහොත්, නිවස ඉදිකිරීමට ලබා දෙන දීමනාවට අමතරව ඉඩමක් මිලදී ගැනීම සඳහා ද තවත් රුපියල් ලක්ෂ 50ක් දක්වා දීමනාවක් ලබා දෙන බව ජනාධිපතිවරයා පවසා සිටියේය.

ආපදාවට ලක්වූ නිවාස නැවත පදිංචියට සුදුසු පරිදි පිරිසිදු කර ගැනීම වෙනුවෙන් මීට පෙර ප්‍රතිපූර්ණය කිරීමේ පදනම මත ලබා දුන් රුපියල් 10,000ක මුදල වෙනුවට, මෙවර රුපියල් 25,000ක මුදලක් සියලු දෙනාටම ලබා දීමට පියවර ගෙන තිබේ. මීට අමතරව නිවසේ අයිතිය පිළිබඳව සැලකිල්ලට නොගෙන, අදාළ නිවසේ පදිංචිකරුවන්ට අත්‍යවශ්‍ය මුළුතැන්ගෙයි උපකරණ මිලදී ගැනීම සඳහා එක් නිවසකට එක් වරක් පමණක් හිමිවන රුපියල් 50,000ක දීමනාවක් ලබා දීමට ද රජය කටයුතු සලසා ඇත.




නිවාස අහිමි වී අවතැන් කඳවුරුවල රැඳී සිටින ජනතාවට ඉන් ඉවත්ව කුලී නිවසක ජීවත් වීමට අවශ්‍ය නම්, ඒ සඳහා මසකට රුපියල් 25,000 බැගින් මාස තුනක කාලයක් සඳහා දීමනාවක් ලබා දීමටත්, අවශ්‍ය නම් එම කාලය මාස හයක් දක්වා දීර්ඝ කිරීමටත් තීරණය කර තිබේ. එමෙන්ම නිවාස සහ ජීවනෝපාය යන දෙකම අහිමි වූ පවුල්වල සාමාජිකයන් දෙදෙනෙකු සිටී නම් මසකට රුපියල් 25,000ක් ද, සාමාජිකයන් දෙදෙනෙකුට වඩා සිටී නම් මසකට රුපියල් 50,000ක් ද වශයෙන් ඉදිරි මාස තුනක කාලය සඳහා ලබා දෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.