ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වීමට මත්තෙන් ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් ශ්‍රී පාදස්ථාන උඩමළුවට පහළින් පිහිටි මහගිරිදඹ ප්‍රදේශයේ නායයාම් අවදානමක් මතුව ඇති බැවින්, එම තත්ත්වය මග හැරෙන තෙක් හැටන් මාර්ගය ඔස්සේ බැතිමතුන් පිවිසීම සීමා කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) නිර්දේශ කර තිබේ.
අදාළ ස්ථානයේ හටගෙන ඇති භූ අස්ථාවරත්වය පරීක්ෂා කිරීම සඳහා එම සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් විසින් ක්ෂේත්‍ර නිරීක්ෂණයක් සිදු කර ඇති අතර, එහිදී පවතින අවදානම අවම කර භූමිය ස්ථාවර කිරීම සඳහා යෝජනා හයක් ඉදිරිපත් කර ඇත. විශේෂඥ වාර්තාවට අනුව, අස්ථාවර වී ඇති පඩිපෙළ කොටස ආශ්‍රිතව කොන්ක්‍රීට් හෝ ගල් බැම්මක් ඉදිකළ යුතු අතර, නාය ගිය කොටසට තවදුරටත් ජලය ගලා ඒම වැළැක්වීම සඳහා පඩිපෙළ දෙපස අවම වශයෙන් මිලිමීටර් 300ක උසකින් යුත් බැම්මක් සකස් කළ යුතු බවට නිර්දේශ කර ඇත.
තවද, අස්ථාවර පාෂාණවල පවතින සියලුම කුස්තුර සහ පැලුම් සිමෙන්ති මිශ්‍රණයක් යොදා හොඳින් ආවරණය කළ යුතු බවත්, ප්‍රවේශ මාර්ගය හරහා සුන්බුන් ගලා ඒම වැළැක්වීම සඳහා මාර්ගයේ පහළ කොටසේ දකුණු පසට වන්නට මිලිමීටර් 500ක පමණ උසැති ආරක්ෂිත පැති බැම්මක් ඉදිකළ යුතු බවත් එම ආයතනය පෙන්වා දෙයි. මෙම ප්‍රතිසංස්කරණ නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු පවතින තත්ත්වය යටතේ හැටන් පිවිසුම හරහා බැතිමතුන් ගමන් කිරීම සීමා කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කරයි.
එමෙන්ම අදාළ ස්ථානය රාත්‍රී කාලයේදී හොඳින් ආලෝකමත්ව තබා ගැනීම සහ භූමියේ සිදුවන වෙනස්කම් පිළිබඳ නිරන්තර අවධානය යොමු කිරීම අනිවාර්ය බව ද විශේෂඥයෝ පෙන්වා දෙති. මෙම නිර්දේශිත පිළියම් යෙදීමෙන් අනතුරුව සාමාන්‍ය පරිදි වන්දනාකරුවන් සඳහා මාර්ගය විවෘත කිරීමට හැකියාව පවතින බව ද සඳහන් වේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළ ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් ප්‍රකාශ කළේ, උඩමළුවට පහළින් ගොඩගැසී තිබූ විශාල කසළ කන්දක් අධික වර්ෂාවත් සමඟ මෙලෙස පහළට කඩාගෙන ගොස් ඇති බවයි. නාය ගිය ස්ථානයේ පස් සමඟ මිශ්‍ර වූ ඉටි, පොලිතින් සහ ප්ලාස්ටික් වැනි නොදිරන කසළ රැසක් එම ස්ථානයේ දක්නට ලැබුණු බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
Comments
Post a Comment
Your comment will be visible after approval