"මේ මිනිස්සු හරිම අසරණ වෙලා ඉන්නේ, එයාලට අපි ඉන්නකම් පුළුවන් විදියට උදව් කරන්න ඕනෑ. හරිම කනගාටුදායක තත්වයක් තමයි තියෙන්නේ," යනුවෙන් සිය බිරිය අමතා අවසන් වරට පවසා තිබුණේ ආපදාවට ලක්වූවන්ට සහන සලසමින් සිටියදී අනතුරට පත් හෙලිකොප්ටර් යානයේ නියමුවා වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතාය.
එම අනතුරින් මියගිය වෙන්නප්පුව, ලුණුවිල, කිරිමැටියාන ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි මෙම විරුවා එක් දරු පියෙකු වන අතර වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකි. තමා උපන් ගම් පියසෙහිම ගංවතුරට කොටු වී ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි පිරිසක් මුදා ගැනීමට යාමේදී ඔහු පදවාගෙන ගිය හෙලිකොප්ටර් යානය හදිසි කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර, එම අවස්ථාවේදී ගොඩබිම සිටි ජනතාවට සිදුවීමට ගිය මහා විනාශයක් වළක්වා ගනිමින් යානය ගිං ඔය දෙසට හරවා ජලයට කඩා වැටීමට සැලැස්වූ බව ගුවන් හමුදා ආරංචි මාර්ග පෙන්වා දෙයි.යානය කාර්මික දෝෂයට ලක්වූ මොහොතේ, තමන් මියගියත් ගංවතුරෙන් පීඩාවට පත්ව පිළිසරණක් බලාපොරොත්තුවෙන් සිටින ජනතාවට කිසිඳු අනතුරක් වීමට ඉඩ නොතබන බවට අදිටන් කරගත් නියමු සියඹලාපිටිය මහතා, යානය ජනතාවගෙන් ඈතට රැගෙන ගොස් ගිං ඔය දෙසට හරවා තිබේ. සිය සැමියාගේ වියෝව දරාගත නොහැකිව කඳුළින් පිරුණු දෙනෙතින් යුතුව බිරිය බුද්ධිකා ලක්මිණී ගුණරත්න මහත්මිය පවසා සිටියේ ඉතා සංවේදී හදවතක් තිබූ තම සැමියා තමාටත් පුතාටත් පියවිය නොහැකි හිඩැසක් ඉතිරි කරමින් නික්ම ගිය බවයි. පුත්තලම පාලවිය ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීමට යන බව දුරකථනයෙන් පැවසූ පසු ඔහු හා සම්බන්ධ වීමට නොහැකි වූ බවත්, එදින රාත්‍රී 7.00 ට පමණ කඳවුරෙන් ලැබුණු ඇමතුමකින් සැමියාගේ වියෝව දැනගත් බවත් ඇය සිහිපත් කළාය.
නිර්මාල් සියඹලාපිටිය මහතා තම රාජකාරියට අමතරව පවුල වෙනුවෙන්ද අසීමිත කැපකිරීමක් කළ අයෙකු බව බිරිය සඳහන් කළාය. විශේෂයෙන්ම රාජකාරි නිම වූ වහාම තම පුතු පිළිබඳව සොයා බැලීමට ඔහු අමතක නොකළ අතර, පසුගිය 27 වැනිදා රාජකාරි සඳහා රත්මලාන කඳවුරට පිටත්ව ගොස් එදින සවස පවා කතා කර ආපදා සහන සේවාවල නිරත වන බව දැනුම් දී ඇත. දෙසැම්බර් 02 වැනිදා විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ උපාධි ප්රදානෝත්සවයේදී ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට ඔහු සූදානමින් සිටියද, ඊට සහභාගී වීමට නොහැකිව ඔහු දැයෙන් සමුගෙන තිබේ. රට වෙනුවෙන් තම සැමියා කළ අමිල සේවය පිළිබඳව තමා අදටත් ආඩම්බර වන බව ඇය දැඩි ශෝකය මැද පවසා සිටියාය.
සිය පුතුගේ වියෝවෙන් දැඩි කම්පනයට පත්ව සිටින මව වන විශ්‍රාමික බැංකු නිලධාරිනි විමලා වීරසිංහ මහත්මිය පැවසුවේ පාසල් කාලයේ සිටම අති දක්ෂයෙකු වූ තම දෙවැනි පුතා 2005 වසරේදී ගුවන් හමුදාවට එක්වූ බවයි. අන් අයට උදව් කිරීමට නිතරම පෙළඹුණු ඔහු, අවසන් ගමන ගියේද තමන් උපන් ලුණුවිල ප්‍රදේශයේම අසරණ වී සිටි ජනතාවට පිහිට වීමට ගොස් වීම දෛවයේ සරදමක් වැනි යැයි ඇය හඬා වැලපෙමින් ප්‍රකාශ කළාය. මියගිය නියමුවාගේ මව සහ පියා කිසිවක් කරකියාගත නොහැකිව දේහය අසල දැඩි නිහඬතාවක ගිලී සිටින අයුරු දක්නට ලැබිණි.
අනතුරට පත් බෙල් 212 යානයේ සහායක නියමුවා වූ ලුතිනන් චාමර ඒකනායක මහතා සිද්ධිය විස්තර කරමින් කියා සිටියේ, දින ගණනක් කුසගින්නේ සිටි ජනතාවට සහන සලසන මානුෂීය මෙහෙයුමක නිරතව සිටියදී මෙම අනතුර සිදුවූ බවයි. යානයේ කාර්මික දෝෂයත් සමඟ එය අඩි 20ක් පමණ ගැඹුරු ඔයකට කඩා වැටුණු අතර, තමා ඇතුළු සෙසු පිරිස දිවි ගලවා ගත්තද නියමු සියඹලාපිටිය මහතා බේරා ගැනීමට නොහැකි වූ බව ඔහු පැවසීය. යානය දියේ ගිලී තිබියදී කෝප්රල් ජයවර්ධන සමඟ එක්ව දිය යට කිමිදී සීට් බෙල්ට් එක ගලවා නියමුවා පිටතට ගත්තද ඒ වන විටත් ඔහු සිහිසුන්ව සිටි බව සහායක නියමුවා වෙන්නප්පුව පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.
අනතුර සිදුවූ අවස්ථාවේදී ප්‍රදේශයේ තරුණයින් පිරිසක් ලෑලි ආධාරයෙන් වතුරට බැස සහ තවත් පිරිසක් තාප්පයක් මත සිට කඹ විසි කරමින් නියමුවා ගොඩට ගැනීමට ගුවන් හමුදා භටයින්ට සහාය වී තිබේ.
අනතුරුව ඔහුව අසල නිවසකට ගෙන ගොස් මූලික ප්‍රථමාධාර ලබා දී 1990 සුවසැරිය ගිලන් රථයකින් මාරවිල මූලික රෝහලට රැගෙන ගියද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත. අනතුරින් දිවි ගලවා ගත් සෙසු සිව්දෙනා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙති.
වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 2005 ජුලි 05 දා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 48 වැනි ආධුනික කැඩෙට් නිලධාරි පාඨමාලාවට එක්වූ නිර්මාල් සියඹලාපිටිය මහතා, ගුවන් හමුදා විද්‍යා පීඨයේ පුහුණුවෙන් පසු නියමු නිලධාරියෙකු ලෙස අධිකාරිය ලැබීය. බෙල් 206, 212, 412 සහ එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා හැසිරවීම පිළිබඳව විශේෂ පුහුණුවක් ලබා සිටි ඔහු 2024 වසරේදී විංග් කමාන්ඩර් නිලයට උසස්වීම් ලැබූ දක්ෂ නිලධාරියෙකි. ගුවන් පැය 3,000කට වැඩි කාලයක් පියාසර කරමින් සක්‍රීය සේවයේ යෙදී සිටි අත්දැකීම් බහුල නියමුවෙකු ලෙස ඔහු ගුවන් හමුදාව තුළ පිළිගැනීමට ලක්ව සිටියේය.
දිවි පිදූ ගුවන් නියමු නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහය ඊයේ (02) අලුයම ලුණුවිල පිහිටි ඔහුගේ මහගෙදරට රැගෙන ආ අතර, ගුවන් හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ. ඊයේ දහවල් 2.00 දක්වා දේහය එහි තැන්පත් කර තිබූ අතර පසුව ඔහු අධ්‍යාපනය ලැබූ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට රැගෙන ගොස් ආගමික වතාවත් සිදු කිරීමට කටයුතු යොදා තිබිණි. අනතුරුව දේහය රත්මලාන ගුවන් හමුදා පාරේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන යාමට නියමිතව තිබූ අතර, අවසන් කටයුතු අද (03) සවස 4.00 ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
සිදුවීමට අදාළ වීඩියෝව මෙතැනින් click here

Comments
Post a Comment
Your comment will be visible after approval