වසර දෙකක් වැනි කෙටි කාලසීමාවක් තුළ නීත්‍යානුකූලව උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වූ රුපියල් කෝටි පහකට අධික වත්කම් (රු. 57,347,956.98) සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතා ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (2) නියෝග කළේය.
සැකකරු මුල් අවස්ථාවේදීම සිය වත්කම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමට කටයුතු නොකළ පුද්ගලයකු බවත්, මේ මොහොතේ ඔහු මුදා හැරියහොත් ඉදිරි විමර්ශන කටයුතුවලට බාධා එල්ල විය හැකි බවත් පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා ඒ හේතුවෙන් විත්තියේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම අයථා වත්කම් පිළිබඳ නඩු පැවරීමට හේතු ඇත්නම් ඉදිරිපත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් දන්වන තෙක්ම සැකකරු විමර්ශන සඳහා පෙනී නොසිටි බව ද අධිකරණයේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
2015 වසරේ මාර්තු මස ලැබුණු නිර්නාමික පෙත්සමක් පදනම් කරගනිමින් මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර, 2011 මාර්තු 31 සිට 2013 මාර්තු 31 දක්වා කාලය තුළ සැකකරු විසින් අදාළ මුදල නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දැක්වීය. රාගල ප්‍රදේශයෙන් කෝටි ගණනක වටිනාකමින් යුත් ඉඩමක් මිලදී ගැනීම,
'එන් බී ආර් සන්' නමින් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම, තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීම මෙන්ම හිතවතුන්ගේ ඩුබායි සංචාර සඳහා මුදල් වියදම් කිරීම සහ මියගිය සොහොයුරකුගෙන් රුපියල් කෝටියක මුදලක් ලබා ගැනීම ඇතුළු කරුණු රැසක් 2023 අංක 19 දරන දූෂණ විරෝධි පනත යටතේ ගොනුකළ මෙම චෝදනාවලට ඇතුළත් වේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, එහිදී ප්‍රකාශ සටහන් කර ගැනීමේදී තවත් වත්කම් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ පිළිබඳව සැකකරුගේ ඥාතීන්ගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිත බව විමර්ශන නිලධාරීහු සඳහන් කළහ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා කරුණු දක්වමින් කියා සිටියේ වසර දහයකට වඩා පැරණි සිද්ධියක් මුල් කරගනිමින් තම සේවාදායකයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම සිදු කරන ඉල්ලීම අසාධාරණ මෙන්ම ද්වේෂ සහගත බවයි. එසේම බැංකු ලේඛන පවා වසර පහකට වඩා තබා නොගන්නා පසුබිමක මෙවැනි පැරණි ගනුදෙනු පිළිබඳ කරුණු දැක්වීමේ ප්‍රායෝගික ගැටලු පවතින බවත්, වලපනේ ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීම සඳහා යෑමට ඇති බැවින් සැකකරුට ඇප ලබා දෙන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අල්ලස් කොමිසම මගින් කැඳවන තෙක් සැකකරු සිය වත්කම් හෙළි කිරීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී නොමැති බව පෙන්වා දුන්නේය. ඒ අනුව සැකකරුට ඇප ලබා දීමෙන් ඉදිරි විමර්ශන කටයුතු සහ සාක්ෂිවලට බාධා සිදුවිය හැකි බව නිගමනය කළ අධිකරණය, ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් විමර්ශනවල ප්‍රගතිය ලබන 16 වැනිදා අධිකරණයට වාර්තා කිරීමටත් අල්ලස් කොමිසමට නියෝග කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval